Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අභියෝග ජය ගත යුත්තේ කෙසේ ද?

සමාජයේ ජීවත්වන ඕනෑම තරාතිරමක කෙනෙකුට නිරන්තරයෙන්ම පැමිණෙන ප්‍රධානම සිද්ධාන්තයක් ලෙස අභියෝග හඳුන්වන්න පුළුවන්. අභියෝග නැති කෙනෙක් මේ ලෝකයේ සිටිනවා නම් එය අඤ්ඤාණ වූ කියමනකි. පුද්ගලයන් වශයෙන් තනි තනිවත්, පුද්ගල කණ්ඩායම් වශයෙනුත්, ගම් වශයෙනුත් නගර වශයෙනුත් රට රාජ්‍ය වශයෙනුත් අභියෝගවලට මුහුණ දීමට සිදුවීම ස්වභාවික දෙයකි.

මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව විමසා බැලීමත් එම අභියෝග, ධර්මානුකූලව ජය ගැනීමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙම ලිපිය තුළින් විග්‍රහ කෙරේ. මේ ලෝකයේ වඩාත්ම අභියෝගවලට ලක් වූ යම් චරිතයක් තිබේ නම් ඒ අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ චරිතයයි. උන්වහන්සේට බෝධිසත්ව අවධියේ සිටම එල්ල වූ සියලු අභියෝග උන්වහන්සේ ජය ගත්තේ ධර්මයෙන්මය. “ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” යන උතුම් බුද්ධ දේශනාවෙන් ඉගැන්වෙන්නේ ධර්මානුකූලව ජීවත් වන පුද්ගලයාට ධර්මයේ රැකවරණය ලැබෙන බවයි. මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන කරුණුවල ඇති භාවිතාව හා නිරවද්‍යභාවය පිළිබඳ ගම්‍යමාන වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තිබෙන පුද්ගලයන්ටය. වෙනත් වචනවලින් කියන්නේ නම් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ටය. සාමාන්‍ය හුදු පෘථග්ජන මානසිකත්වයෙන් යුතු පුද්ගලයා යමක් දෙස බලන ආකාරයත් කල්ප ගණනාවකින් ලොවට පහළවන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් දෙස බලන ආකාරයත් අතර විශාල වෙනසක් තිබේ. උන්වහන්සේ ඒ පිළිබඳව විමසන්නේ සමකාලීන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ආදී තත්ත්වයන් මත පමණක් පිහිටා නොවේ. උන්වහන්සේ එය හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද න තුළ සිට සංසාරික වශයෙන් විමර්ශනය කරනු ලබයි. එවිට එම ප්‍රශ්නයේ හෝ අභියෝගයේ යථා ස්වරූපය වටහා ගැනීමටත් එයට සුදුසු විසැඳුම ඉදිරිපත් කිරීමටත් උන්වහන්සේට හැකි වෙයි. එම විසැඳුම තාවකාලික විසැඳුමක් නොවේ. එය සදාකාලික විසඳුමකි.

සමාජයේ ජීවත්වන විට අපට එල්ලවන ප්‍රධාන අභියෝග අතර අන් අය අපට වෛර කිරීම, ඊර්ෂ්‍යා කිරීම, අපව අභිභවා යාමට උත්සාහ කිරීම, අප පරාජයට පත් කිරීමට උත්සාහ කිරීම, අපට පහරදීම, වධ හිංසා පැමිණවීම, නින්දා අපහාස කිරීම, පරුෂ වචන වලින් බැණ වැදීම, බොරු චෝදනා ඉදිරිපත් කිරීම, තම බල පුළුවන්කාරකම් පෙන්වීම, තම බසට අවනත කර ගැනීමට උත්සාහ කිරීම, කෛරාටික කම්වලින් රැවටීමට උත්සාහ කිරීම, සමහර විට අතින් පයින්, පොලු මුගුරු අවි ආයුධ ආදියෙන් පහරදීම, යුද්ධ කිරීම, බලවත් රටක් දුබල රටකට ආර්ථික සම්බාධක පැනවීම, දුබල රටවල් තම අභිමතයට අනුව ක්‍රියා කළ යුතුයි යන කුහක ප්‍රතිපදාවෙන් කටයුතු කිරීම වැනි දේ සිදුවිය හැකියි. ප්‍රශ්නය හෝ අභියෝගය කුමක් වුවත් ඒ භාග්‍යවතුන් වහන්සේ මේවාට හේතුව ලෙස හෝ හේතු ලෙස හඳුනාගත්තේ මනසේ ඇති අතෘප්තිකර ආශාව හෙවත් විවිධ ආකාරයෙන් පැන නගින පුද්ගලයා සසරට බැඳ තැබීමට හේතුවන තණ්හාවයි. විශේෂයෙන්ම බල ලෝභය ආදී කරුණු මේ සඳහා බලපාන අතර කර්මය හා කර්මඵලය පිළි නොගැනීම නිසා පුද්ගලයා හෝ පුද්ගලයන් ඉහත සඳහන් පාපී ක්‍රියාවල යෙදේ. කර්මඵලය පිළිබඳව සැබෑ අවබෝධයක් තිබෙන ආර්ය ශ්‍රාවකයෝ, අතින් ඉහත සඳහන් පාපී ක්‍රියාවක් පහසුවෙන් සිදු විය නොහැකිය. සංසාරය පිළිබඳව සැබෑ අවබෝධයක් තිබෙන අයෙකු ඉහත සඳහන් භයානක අකුසල තත්ත්වයන් තමාගේ ජීවිතයට බද්ධ කර නොගනී. එයට හේතුව යම් දිනක තමා විසින් සිදු කරනු ලබන එම පාපී ක්‍රියාව තමා කරා පැමිණ අනන්ත දුක් විපාක ලබා දෙන හෙයිනි. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුරනිකාය ආදී දුගති සහගත ස්ථානවල ඉපදී දුක් විපාක විඳින්නට සිදු වෙයි.

ප්‍රශ්නවලින් හෝ අභියෝග වලින් පලායෑම නියම ශ්‍රාවකයෙකුගේ ක්‍රියාමාර්ගය නොවේ. එයට සුදුසු පිළිතුරු සෙවීම හා එයට නියම ආකාරයෙන් මුහුණදීම සැබෑ ශ්‍රාවකයෙකුගේ ක්‍රියා පටි පාටියයි. වරක් අන්‍ය තීර්ථකයන් සුන්දරී නමැති තරුණිය මරා ජේතවනාරාමයේ මල් ගොඩේ සඟවා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අභූත චෝදනා එල්ල කරන අවස්ථාවේ දී ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍රියා කළ ආකාරය අප ආදර්ශයට ගත යුතු ය. උන්වහන්සේ එම ප්‍රශ්නයෙන් පළායෑමක් හෝ අභියෝගයෙන් මඟහැරීමක් සිදු කළේ නැත. ඉවසීමෙන් යුක්තව එම අවස්ථාවට උන්වහන්සේ මුහුණ දී එම අභියෝගය ඉතා සාර්ථකව ජයගත් සේක.

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාරන ලද මාර්ගය සර්වකාලීන, සර්ව භෞමික වූවකි. එබැවින් ඕනෑම කාලයකදී ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි ය. මෙහිදි එක් එක් අවස්ථා ජය ගැනීම පිළිබඳව ධම්මපදයේ ඉතා වටිනා උපදේශයක් දැකගත හැකි ය.

“අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දාතේන
සච්චේන අලික වාදිතං”

මෙම ගාථාව තුළින් අපට අභියෝග රැසක් ජය ගන්නා ආකාරය පෙන්වා දෙනවා. ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් ජය ගත යුතුයි. ක්‍රෝධ කරන්නාට අපත් ක්‍රෝධ කිරීමෙන්, ද්වේෂ කිරීමෙන්, වෛර කිරීමෙන් ජයක් ලැබිය නොහැකි ය. එබැවින් අප කළ යුත්තේ ක්‍රෝධ කරන්නාට මෛත්‍රිය කිරීමයි. ශ්‍රද්ධාව වැදගත් වන්නේ මේ අවස්ථාවේදී ය. ‘බුද්ධ වචනය’ පිළි නොගන්නා තැනැත්තා මෙහිදී පවසන්නේ අපට බැන්ණොත් අපත් බැණිය යුතු ය. අපට ගැහුවොත් අපත් ගැසිය යුතුය වශයෙනි. එනම් ක්‍රෝධ කරන්නා සමග ගැටීමක්ම ඇති කර ගැනීම තුළින් ජය ගැනීමක් පිළිබඳව ඔහු හෝ ඇය විශ්වාස කරයි. නමුත් බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාරන්නේ ක්‍රෝධ කරන්නාට මෛත්‍රිය කළ යුතු බවයි. ප්‍රශ්නය, අභියෝගය කුමක් වුවත් පිළිතුර එකක්ම වේ.

දැනට අප රටට ද්වේෂ සහගත ලෙස ඇතැම් රට වලින් අභියෝගයක් එල්ල වී තිබෙන අවස්ථාවකි. මෙයට තිබෙන ප්‍රධානම පිළිතුර නම් අපට විරුද්ධව කටයුතු කරන සියලු බලවේග වලට රටවැසියාගේ සිට සියලුම දෙනා එකට එක් වීමෙන් මෙත් සිත පැතිරවීමයි. බුද්ධ වචනය පිළි නොගන්නා තැනැත්තා මෙය කියවන විටම කල්පනා කරන්නේ මෙය විකාර, මනෝරාජික අදහසක් බවයි. නමුත් මෙම අභියෝගයට තිබෙන අද්විතීයම පිළිතුර තිබෙන්නේ මේ ක්‍රියා මාර්ගය තුළයි. අප තවමත් ප්‍රමාද නැත. ඉක්මනින් සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව අපට විරුද්ධව කටයුතු කරන සියලු දෙනාටම මෙත් සිත පැතිර විය යුතු ය. කෝටි සංඛ්‍යාත වූ පිවිතුරු මිනිස් සිතින් පතුරන එම මෙත්තානුභාවයේ බලයෙන් සියලු උවදුරු දුරුවනු නියතය.

එමෙන්ම ඉහත ගාථා රත්නය තුළින් පෙන්වා දෙන පරිදි අසත්පුරුෂයා ජයගත යුත්තේ සත් පුරුෂ කමිනි. ලෝභ කරන්නා ජයගත යුත්තේ දානයෙනි. බොරු කියන්නා ජය ගත යුත්තේ සත්‍යයෙනි. එබැවින් අප අභියෝගවලට බිය නොවී අභියෝග වලින් පළා නොගොස් ඒ බුද්ධ වචනයට අනුව ඒ අභියෝග ජය ගනිමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.