Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහමින් ඉගැන්වූ සාමයික සහනශීලිත්වය

“ගෘහපති විමසා පරීක්‍ෂා තීරණය කරන්න. එසේ ක්‍රියා කිරීම ඔබ වැනි ප්‍රකට පුද්ගලයන්ට වඩාත් සුදුසු” බවයි සඳහන් වන්නෙ. එකී කියමන බුදුරදුන්ගේ සාමයික සහනශීලිතාව කදිමට පිළිබිඹු කරනවා.

ස්වකීය සාමයික ඉගැන්වීම් අන්‍යයන් වෙත බලෙන් ආරෝපණය කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. තම තමන් විසින් සිතා විමසා නිදහස් වූ නිවහල් වූ සත්‍යෙක්ෂණය නැතහොත් සත්‍යා සත්‍ය බව සොයා බැලීම තුළින් යෝනිසො මනසිකාරය (සිහි නුවණින් මෙනෙහි කිරීම) තුළින් යමක් යම් ඉගැන්වීමක් පිළිගැනීම හෝ බැහැර කිරීම කළ යුතු බව බුදුදහම තුළ පෙන්වා දෙනවා. මෙහිදී ප්‍රකට නිදසුනක් ලෙස කාලාමයන්ට දුන් සදූපදේශය සිහිපත් කරන්න පුළුවන්. ‘කාලාමයෙනි, මේ දහම් අකුසල් ය. වරද සහිතයි. නුවණැත්තන් විසින් ගර්හිතය. මේ දහම සපුරන ලද්දේ සමාදන්කොට ගන්නා ලද්දේ අවැඩ, දුක් පිණිස පවත්නේ යැයි..මේ දහම් කුසල් ය. වරද රහිතය. නුවණැත්තවුන් විසින් ප්‍රශස්තය. මේ දහම් සපුරන ලද්දේ සමාදන්කොට ගන්නා ලද්දේ අවැඩ, දුක් පිණිස පවත්නේ යැයි. තමන් විසින්ම දත යුතුය” යනුවෙන් කාලාම සූත්‍රය තුළ මෙලෙස තම තමන් විසින් නිදහස්ව නිවහල්ව සිතා විමසා ක්‍රියාකළ යුතු බව බුදුරදුන් දේශනා කළා.

මේ අනුව කිසියම් සාමයික අදහසක්, සකාරණව පිළිගැනීම හෝ බැහැර කිරීමට පුද්ගලයාට නිදහස තිබේ යැයි බුදුසමය ඍජුවම පෙන්වා දුන් බව පේනවා. බුදුන් වහන්සේ විසින් අනුදක්නා ලද සිතීමේ නිදහස වැනි දෙයක් ආගමික ඉතිහාසයේ අන්කිසි තැනක දක්නට නොලැබෙන බව ආචාර්ය වල්පොල රාහුල හිමියන් ගේ ‘බුදුන් වදාළ ධර්මය” නම් පොතෙන් සඳහන් වෙනවා.

බුදුරදුන් සමඟ වාද කරන අදහසින් පැමිණි උපාලි ගෘහපතියාගේ සාකච්ඡාව කෙළවර වුණේ ඔහු බුදුරදුන් හා එකඟවීමෙන්. කාය දණ්ඩය (කර්මය) ම ප්‍රධාන යැයි සිය ජෛන ඉගැන්වීම අනුව වාද නැගීමට පැමිණි ඔහු මනෝ කර්මයම ප්‍රධාන යැයි බුදුදහම අනුවම පිළිගත්තා. බුදුරදුන්ගේ ප්‍රශ්න විසැඳීම ගැන අතිශයින්ම පැහැදීමට පත් උපාලි ගෘහපතියා තෙරුවන් සරණ යාමට කැමැත්ත පළ කළ විට,

“අනුවිච්චකාරං ඛො ගහපති කරොහි,
අනුවිච්චකාරෝ තුම්හාදිසානං ඤාණ මනුස්සානං සාධු හොති “

මෙලෙස මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රය තුළ දැක්වූහ.

“ගෘහපති විමසා පරීක්‍ෂා තීරණය කරන්න. එසේ ක්‍රියා කිරීම ඔබ වැනි ප්‍රකට පුද්ගලයන්ට වඩාත් සුදුසු” බවයි සඳහන් වන්නෙ.

එකී කියමන බුදුරදුන්ගේ සාමයික සහනශීලිතාව කදිමට පිළිබිඹු කරනවා.

බෞද්ධයෙකු වූ සන්ධාන ගෘහපතියා ද, බෞද්ධයෙකු නොවූ න්‍යග්‍රෝධ පිරිවැජියාද සමඟ බුදුරදුන් කළ කථා බහ අනුවත් උන්වහන්සේගේ සාමයික සහනශීලිතාව දැක්වෙනවා. බුදුරදුන් වනගතව සිටින්නේ ජනාවාසයෙහි සිටින පඬිවරුන්ට ඇති බිය නිසාත් එකැස් කණ දෙනක ගස් මගහරිමින් යන්නා වාගේ උන්වහන්සේ පඬිවරුන් මගහැර වනගතව ඇති බවත්, දවසක උන්වහන්සේගේ නුවණ ගස්යටම දිරා යන බව න්‍යාග්‍රෝධ සන්ධානට පැවිසීමෙන් පසුව දෙදෙනා බුදරදුන් හමුවට විත් සාකච්ඡා කරන්නට වුණා.

එකී සාකච්ඡාව කෙළවර වූ අයුරු දීඝ නිකායේ උදුම්බරික සූත්‍රයේ දැක්වෙන්නේ,

“සිය ඛොපන තෙ නිග්‍රොධ එවමස්ස, අන්තෙවාසිකම්‍යයනා නො සමණො ගොතමෙ එවමාහාති, නඛොපනෙතං නිග්‍රෝධ දට්ඨබ්බං යො එවං තෙ ආචරියො සො එව තෙ ආචරියො හොතු”

එනම් ,

න්‍යග්‍රෝධයෙනි, මා මෙතෙක් වේලා දහම් දෙසූයේ ඔබ මාගේ ශ්‍රාවකයෙකු කර ගැන්මේ අදහසින් නොවන බව සිතන්න. යමෙක් මීට පෙරැ ඔබේ ගුරුවරයා වී නම් තවදුරටත් ඔහුම ඔබේ ගුරුවරයා වේවා! ඔබ මෙතෙක් පිළිගත් දහමින් ඔබව බැහැර කරන්නටද අදහසක් මා තුළ නැත. මෙතෙක් ඔබ පිළිගත් දහම තවදුරටත් පිළිගන්න යනුවෙන් බුදුරදුන්ගේ අවවාදයයි.

එකිනෙකාට පරස්පර වූ ආගමික මතවල දැඩිව පිහිටා සිටි ආගමිකයෝ බුද්ධ කාලයේදී බහුලව සිටියා. ඔවුන් එකිනෙකා සමඟ වාදයන්හි පැටලුණා. නමුත් බුදුරදුන් කිසිවිටෙකත් කිසිවෙකුටත් එරෙහිව වාද රෝපණය කළේ නැහැ. නිබඳවම සාමයික සහජීවනය අගය කළා.

“අයං ඛො ආලාරකාලාමො පණ්ඩිතො ව්‍යත්තො මෙධාවි, දීඝරත්නං අප්පරජක්ඛජාතිතො “ යනුවෙන් මහාවග්ග පාලියෙහි දක්වන්නේ තමන් වහන්සේ මුලදීම ඇසුරු කළ ආලාරකාලාම , උද්දකරාමපුත්ත වැනි තවුසන් පිළිබඳව සඳහන් කළ අවස්ථාවක ඔවුන් අනුගමනය කිරීමට සුදුසු බවත් නැණවත් උතුමන් වන බවත් ය. බුදුරදුන් සෙසු ආගමිකයන්ට දැක්වූ සැලකිල්ල බෞද්ධ අබෞද්ධ කාහටත් මහඟු ආදර්ශයක් ලබාදෙනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.