Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සසුන ආනන්දනීය කළ ආනන්ද මහ රහතන් වහන්සේ

උන්වහන්සේට ආරක්ෂාව පිණිස නිදිවරා සිටියා. රාත්‍රියට නව වතාවක් දඬුවැටි පහනක් අරගෙන තථාගතයන් වහන්සේගේ කුටිය වටේ ඇවිදීම එක් අංගයක් බවට පත්කර ගත්තා.

‘රහතන් වහන්සේ’ යන නම පවා ඇසීම සිත සනසන දෙයක්. රහතන් වහන්සේ නමක් දැක ගන්නට ලැබීම පවා ඇත්තටම වාසනාවක්. මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින් මහ පොළොව මත පා තබා ඇවිද ගිය ඒ රහතන් වහන්සේලා අයත් වන්නේ ආශ්චර්යවත් උත්තමයන්ගේ ගණයටයි.

ලෝකයේ ඒ අසිරිමත් උතුමන් බිහි වන්නේ බුද්ධ ශාසනයක පමණි. උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලු ය. සරල ය. නිදහස් ය. ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි එවන් අසිරිමත් රහතන් වහන්සේ නමක් ගැන මෙසේ සටහන් තබමු. ඒ තමා ධර්ම භාණ්ඩාගාරික ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේ.

උන්වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වන්නේ පියමතුරා (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්ව මේ කුමාරයා ඉපදුනා. ඔහුගේ නම සුමන. මේ සුමන කුමාරයාගේ පියා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයා යි. දිනක් මේ තරුණ කුමාරයා එක් ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පවත්වන්නට ගොස් එය ජයග්‍රහණය කොට නැවත පැමිණියා. ඒ කුමාරයාගේ පියා සතුටට පත්වෙලා ඔහුට කීවා ‘ඔබ කැමැති වරයක් ඉල්ලන්න’ කියා. එවිට කුමාරයා කියනවා ‘පියාණෙනි මට තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට මාස තුනක් උපස්ථාන කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. පියා එයට එකඟ, නො වූ නිසා දෙදෙනාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියේ වැඩ සිටියේ. උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සුමන නම් වූවා. උන්වහන්සේ මුණගැසී කුමාරයා තමන්ගේ අවශ්‍යතාවය පවසා සිටියා. ’එසේනම් ටිකක් ඉන්නයැයි’ පවසා ඒ හිමියෝ එතැනින් පොළොවේ ගිලිලා තථාගතයන් වහන්සේ සිටි තැනින් මතු වුණා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ‘ස්වාමිනි රජුගේ පුත්‍රයා ඔබ වහන්සේ මුණ ගැසීමට පැමිණ සිටිනවා’ කියා. ‘හොඳයි ආසනයක් පනවා වාඩිවෙන්න කියන්න’ තථාගතයන් වහන්සේ පැවසූ විට ඒ හිමියෝ නැවතත් එතැනින් පොළොවේ කිමිදී නැවතත් සුමන කුමාරයා ළඟින් මතුවුණා. මෙය දුටු මේ කුමාරයා විශ්මයට පත්වෙනවා. මේ හිමියන් අද්භූත කෙනෙක්. විශ්මිත කෙනෙක් යැයි සිතා අහනවා ‘ස්වාමිනී ඔබවහන්සේ මේ වාගේ බලසම්පන්න කමක් ලබා ගත්තේ කෙසේද’? සුමන හිමියන් වදාළා ‘සංසාරයේ මම මහත් වූ පින්කම් බොහෝ සිදුකරලයි මෙවැනි සෘද්ධි උපදවා ගත්තේ’. එවිට මේ කුමාරයාගේ සිතේ අධිෂ්ඨානයක් ඇතිවුණා මමත් මේ වගේ සෘද්ධිමත් කෙනෙක් වෙන්න ඕන කියලා. එදා සිට මේ කුමාරයා නොයෙක් ආත්මභාව ලබා බොහෝ පින්දහම් කරගෙන සංසාරය පුරාවට ආවා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ තුසිත දෙව්ලොවින් චුතව අමිතෝදන ශාක්‍යයාට පීතෘභාවය ලබාදෙමින් මනුලොව ඉපදුනා. තම ඥාති වර්ගයා මහත් අමන්දානන්දයට පත් වූ මේ කරුණ නිසා ‘ආනන්ද’ යැයි නම තිබ්බා.

ආනන්ද කුමාරයා බොහෝ සැපසේ හැදී වැඩී කාලයකට පසු තරුණ වියේදී ගෞතම සසුනේ පැවිදි වුණා. පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වුණා.

අපගේ් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 20 යනතුරු ස්ථිර උපස්ථායකයන් වහන්සේ නමක් සිටියේ නැහැ. එක එක කාලයේදී එක එක තෙරුන් වහන්සේලා උපස්ථාන කර තිබෙනවා. උන්වහන්සේට අවුරුදු 55 වෙද්දී සංඝයා රැස්කර වදාළා මම දැන් මහළුයි. මට ස්ථිර උපස්ථායකු අවශ්‍යයි කියා. එවිට ඒ සඳහා සාරිපුත්ත මොග්ගල්ලාන, අනුරුද්ධ, රේවත ආදී රහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. නමුත් තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. එවිට ළඟ සිටි හිමිනමක් ආනන්ද හිමියන්ට කියනවා ඔබවහන්සේත් මේ සඳහා ඉදිරිපත් වන්න කියා. ආනන්ද හිමියන් පවසනවා සුදුසුනම් මට ලැබෙයි කියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා ඔබලා ආනන්දයන් උනන්දු කළයුතු නැහැ. ආනන්ද මෙය බාර ගනියි යනුවෙන්. එවිට ආනන්ද හිමියන් කියා සිටියා ස්වාමිනි එසේනම් මට වර අටක් ඉල්ලීමට අවසර දෙන්න. ඒ තමා (1) භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා චීවර ආදිය මට නොදිය යුතුයි (2) භාග්‍යවතුවන් වහන්සේට ලැබෙන ප්‍රණීත දානය මට නොදිය යුතුයි (3) භාග්‍යවතුන් වහන්සේ සිටින තැන වැඩ සිටින්නට මට නොදිය යුතුයි (4) භාග්‍යවතුන් වහන්සේ දානයට යම් ආරාධනාවක් බාර ගත්තද ඒ සඳහා නොවැඩ සිටින්නට මට අවසර තිබිය යුතුයි ඒ වගේම (5) මම විසින් යම් ආරාධනාවක් බාර ගත්තේනම් ඔබවහන්සේ එය පිළිගත යුතුයි (6) භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ඈත සිට යම් කෙනෙක් ආ විට ඔබවහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුයි (7) ධර්මය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවොත් එය අසා දැන ගැනීමට මට අවස්ථාව තිබිය යුතුයි (8) මම නොසිටිය අවස්ථාවක ඔබවහන්සේ යම් දේශනාවක් වදාළේනම් එය නැවත මට කියා දිය යුතුයි. ඔබ වහන්සේ මෙයට එකඟ වන සේක්වා කියා ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේ එයට අවසර දුන්නා. ඉන්පසු ආනන්ද හිමියන් ක්‍රම ක්‍රමයෙන් ධර්ම භාණ්ඩාගාරික බවට පත්වුණා.

උපස්ථාන තනතුර ලැබූ දිනයේ සිට තථාගතයන් වහන්සේට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් දැහැටි දඬු, උණුදිය පිළියෙල කිරීම කුටිය පිරිමැදීම සිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ තෙල් ගල්වා පා පිරිමැදීම ආදිය සිදුකළා. දහවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන සිට රාත්‍රිය කාලයේදීත් උන්වහන්සේට ආරක්ෂාව පිණිස නිදිවරා සිටියා. රාත්‍රියට නව වතාවක් දඬුවැටි පහනක් අරගෙන තථාගතයන් වහන්සේගේ කුටිය වටේ ඇවිදීම එක් අංගයක් බවට පත්කර ගත්තා.

ආනන්ද හිමියන්ගේ ජීවිතයේ අසාමාන්‍ය අද්භූත චමත්කාරයක් තිබී තියෙනවා. උන්වහන්සේ තුළ තිබූ සානුකම්පිත භාවය විශේෂ වූ දෙයක්. ගෞතම ශාසනය බැබළ වූ දීප්තියට පත්කළ අසාමාන්‍ය ගුණයන්ගෙන් ශෝභමාන සංඝරත්නය අතර ආනන්ද හිමියන්ට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. උන්වහන්සේගේ ජීවිත කතාව දෙස බලද්දීත් අපට මේ ‘සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ‘ ගුණ මුළු හදවතින්ම සිහිකර ගන්න පුළුවන් ආශ්චර්යවත් ගුණවලින් යුක්තයි. ආර්ය මහා සංඝ රත්නය පිළිබඳ සිත පහදවා ගන්නට ආනන්ද මහ රහතන් වහන්සේගේ ජීවිත කතාව අපට උපකාර වේවා.

මාත් බුදු සමිඳුන් ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නැහැ. අවුරුදු විසි පහක් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ මෛත්‍රී සිතින්මයි. මම සිටියේ උන්වහන්සේ අත හැර නොයන සෙවණැල්ල වගේ
(ථෙර ගාථා)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.