Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් ඔසුවෙන් නිසැක පිළියම්

මානසික රෝග සම්බන්ධයෙන් වන ප්‍රධාන හේතුව අවිද්‍යාවයි. රාග චරිත, දෝස චරිත සහ මෝහ චරිත ආදී ඒ ඒ චරිතවලට සුදුසු චිකිත්සා විධි බුදු හිමියෝ පෙන්වා වදාරති. උන්වහන්සේ රෝගයත්, ඊට හේතුවත්, එහි සුවවීමත්, රෝගය සුව කිරීමට මාර්ගයත් ගැන දක්වති. දුක, දුකට හේතුව, දුක නැතිකිරීම හෙවත් නිවන, නිර්වාණයට මාර්ගය යන චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේ ප්‍රතිකාර ක්‍රමයයි.

සියලු දෙනාම විවිධ රෝගාබාධයන්ට ලක්වෙති. ජාති, ජරා ආදි ලෙසින් දුක්ඛ සත්‍යය පෙන්වන තන්හිදී බුදු හිමි ව්‍යාධි යනුවෙන් හඳුන්වන්නේ රෝග ය. බුදු හිමියෝ සියලුම රෝග කායික හා මානසික යනුවෙන් වෙන වෙනම පෙන්වති. සූත්‍ර ධර්ම රාශියකම විවිධ රෝග පිළිබඳ ද ඊට පිළියම් ද දේශනා කොට ඇත. කායික රෝග පිළිබඳ සල්ල, ජරා, ගිරිමානන්ද ආදි සූත්‍රයන්හි පෙනේ.

ඇස, කන, නාසය, දිව, කය , හිස, මුව, දත් ආදි නොයෙක් ස්ථානවල හටගන්නා රෝගද තවද විශේෂයෙන් සඳහන් කරතහොත් කැස්ස, ඇදුම , පීනස, ශරීරදාහ, සුළු වාත, මහා අතීසාර, කුෂ්ට , දද, අපස්මාර ආදි විවිධාකාර රෝගද පිළිබඳ පවසන ගිරිමානන්ද සූත්‍රය රෝග 48 ක් පෙන්වයි.

“ඉති ඉමස්මිං කායෙ විවිධා ආබාධා උප්පජ්ජන්ති .සෙය්යථිදං ? චක්ඛුරෝගෝ සොතරෝගෝ ඝාණරෝගො ජිව්හාරෝගො කාය රෝගො සීස රෝගෝ....” යනාදී ලෙසින් විස්තර වේ.
(අංගුත්තර නිකාය - දසම නිපාත - ගිරිමානන්ද සූත්‍රය )

සල්ලේඛ සූත්‍රයේ මිනිසාට වැළැදෙන මානසික රෝග 44 ක් සඳහන් වෙයි. අනුන්ට හිංසා කිරීම,සතුන් මැරීම්, අන්සතු දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම සහ තම අදහස දැඩිකොට ගැනීම යනාදි ලෙසින් පෙන්වන 44 පුද්ගල සන්තානය තුළ හටගන්නා මානසික රෝගයි.
(මජ්ඣිම නිකාය- මූලපණ්ණාසකය -සල්ලේඛ සූත්‍රය)

යම් යම් ආබාධයන්ගෙන් පෙළුණු භික්‍ෂූන් වහන්සේගේ එම රෝගි තත්ත්වයනට බුදු හිමියෝ පිළියම් අනුදැන වදාළහ. උන්වහන්සේ පෙන්වූ බෙහෙත් අතර ගිතෙල්, මීපැණි, උක්සකුරු, තලතෙල් ,වෙඬරු, කහ, ඉඟුරු, වදකහ, කටුකරෝසන, වම්මුතු ,කොහොඹ, දුම්මැල්ල, කරද ,අරළු, බුළු සහ නෙල්ලි ආදිය කියැවෙයි. කෂාය වර්ග , කල්ක, ආලේප, අඳුන් වර්ග, ඖෂධීය ධූමපානය, කැඳවර්ග මෙන්ම ශල්‍ය කර්ම, වස්ති කර්ම සහ ව්‍යායාම ආදියද ඒ ඒ භික්‍ෂූන් වහන්සේගේ යම් යම් රෝග අවස්ථාවන්හි දී පිළියම් ලෙස පෙන්වා දී ඇත.

මානසික රෝග සම්බන්ධයෙන් වන ප්‍රධාන හේතුව අවිද්‍යාවයි. රාග චරිත, දෝස චරිත සහ මෝහ චරිත ආදී ඒ ඒ චරිතවලට සුදුසු චිකිත්සා විධි බුදු හිමියෝ පෙන්වා වදාරති. උන්වහන්සේ රෝගයත්, ඊට හේතුවත්, එහි සුවවීමත්, රෝගය සුව කිරීමට මාර්ගයත් ගැන දක්වති. දුක, දුකට හේතුව, දුක නැතිකිරීම හෙවත් නිවන, නිර්වාණයට මාර්ගය යන චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේ ප්‍රතිකාර ක්‍රමයයි.

බුදුන්වහන්සේ මෙසේ වදාරන සේක.

“මහණෙනි, වෛද්‍යවරු පිතෙන් ,සෙමෙන්, වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස විරේචන බෙහෙත් දෙති. මහණෙනි, මමද ආර්ය විරේචනය දෙන්නෙමි. ඒ විරේචනයෙන්, ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ එයින් මිදෙති. සෝකය, විලාපය, දුක්, දොම්නස් උපායාස ස්වභාව කොට ඇති සත්වයෝ එයින් මිදෙති. වෛද්‍යවරු පිතෙන්, සෙමෙන්, වාතයෙන් හටගත් රෝගවලට වමනය කර්මය කරවති. මම ද වමනය කර්මය කරවමි. ඒ වමනය කර්මයෙන් ජාති,ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුක් දොම්නස්, උපායාස ආදිය ස්වභාව කොට ඇති සත්වයෝ ඒවායින් මිදෙති.”

මේ ආදි වූ ප්‍රකාශ තුළින් බුදුන් වහන්සේ වෛද්‍යවරයකු ලෙස සත්වයාගේ කෙලෙස් මුල් උදුරා දැමීමට විරේචනය හා වමනය කර්මයෙන් ප්‍රතිකාර කරන බව පෙන්වා දෙති.

උන්වහන්සේ ශල්‍ය වෛද්‍යවරයකු බව පවසන්නේ, “මහණෙනි, මම රාගාදි වූ කෙලෙස් මුල්උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්මි” යනුවෙනි. “මම දහම් දෙසුව මැනැවැ’යි යනුවෙන් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සුදුසු කාලයට සේදූ අත් ඇතිව සූදානමින් සිටින ශල්‍ය වෛද්‍යවරයෙක්මි” යි යනුවෙන් ද විටෙක වදාරති.

උන්වහන්සේ විවිධ මානසික රෝගයනට විවිධ ලෙස ප්‍රතිකර්ම යෙදූ සේක. ජනපද කල්‍යාණිය පිළිබඳ සිතැතිව මානසික පීඩනයෙන් පසුවන නන්ද තෙරුන්ට රූපයේ ආදීනව වදාරන්නට නොගිය බුදු හිමියෝ දෙව්ලොව දෙවඟනන් පෙන්වා නන්ද තෙරුන්ටම කරුණු අවබෝධ කරලීමේ උපායශීලි මාර්ගයක් අනුගමනය කළහ. නන්ද තෙරුන්ගේ කාම රාගී මානසික රෝගය උන්වහන්සේ සිය උපාය කෞශල්‍යතා ඥානයෙන් සුව කළ සේක.

චුල්ල පන්ථක තෙරුන්ට පාඩම් කරන කරුණු මතක නැතිවීමේ ගැටලුව විසඳාලමින් සිවුපිළිසිඹියා සහිත රහතන් වහන්සේ නමක් බවට පත් කරන ලද්දේ සුදු වස්ත්‍ර කැබැල්ලක් ‘රජෝ හරණං’ යනුවෙන් කියමින් පිරිමැදීමට දීමෙන් අනිත්‍ය දර්ශනය ඔස්සේ සත්‍ය අවබෝධ කරවීමෙනි.

තම එකම පුතු මළ සොවින් දිව ආ කිසාගෝතමියට එක්වරම බුදුපියාණෝ මරණය කාටත් පොදුය,අඩා වැලැපීමෙන් වැඩක් නැත කියා දේශනා කිරීමක් නොකළහ. පියවි සිහියෙන් ඈත්වූ ඇයට එවැනි දහම් දෙසීමෙන් ඵලක් නොවන බව දන්නා බුදුහිමියෝ සර්වඥතා නුවණින් බලා ඇයටම ගැළැපෙන ක්‍රමයකට ධර්මාවබෝධය සඳහා මඟ පෙන්වූහ. ඇයටම තමන් මේ කරන්නේ නිෂ්ඵල දෙයකැයිද, සියල්ල අනිත්‍යයයිද වැටහීමට තුඩු දෙන සේ කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් ගෙන ඒමට යෙදවීම බුදුහිමියන්ගේ මනෝ චිකිත්සාවයි. ඒ ඒ පුද්ගලයාගේ චරිතයේ ස්වභාව අනුව ඒ ඒ පිළියම් දැක්වූහ.

සියලුම සත්වයෝ කායික රෝගාබාධයන්ගෙන්ද සියලු පෘථග්ජන සත්වයෝ මානසික රෝගාබාධයන්ගෙන්ද පෙළෙති. ලොව පහළ වූ අසහාය වෛද්‍යවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ සත්ව වර්ගයාගේ සුළු වූද මහත්වූද සියලු රෝගාබාධයන් නිෂ්ඨාවටම සුවවන්නා වූ මාහැඟි දහම් ඔසුව දී වදාරති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.