Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිහි ගෙදර ධර්මාවබෝධයට බාධාවක් නොවේ

ධර්මයේ පිහිට රැකවරණය ආරක්ෂාව ලබා ගැනීම ගිහි පැවිදි හැමෝටම අයිතියි. නමුත් ගිහියාගේ ප්‍රතිපදාව සහ පැවිද්දාගේ ප්‍රතිපදාව වෙනස්. ගිහි හා පැවිදි දෙපක්ෂයට ම තිබෙන්නේ එකම නිවන් මාර්ගය යි. නමුත් එහි ගමන්කරන රටාවත් වේගයත් වෙනස් විය හැකියි. ගිහියාට ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩියි. නමුත් අප ගිහි ජීවිතයේ සිට ධර්මය අවබෝධ කරන්න බැරි යැයි සිතන්නේ ගිහි ජීවිතයේ දී නිවන් මාර්ගයට පැමිණීමට බාධා වැඩි නිසයි. ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩි කියා. තවත් ආකාරයට කියනවා නම් කෙනෙක් ගමනක් යනවා විශාල බරක් කර තබාගෙන. තවත් පුද්ගලයෙක් ඒ ගමනම යනවා ඔහුට කිසිදු බරක් නැහැ. විශාල බරක් ඔසවා ගෙන යන පුද්ගලයාගේ ගමන හෙමින්. බරක් නැති පුද්ගලයා ඉක්මණින් ගමන නිමා කරනවා. එකම පාරේ දෙදෙනාගේ ගමනේ් වේගය අඩුවැඩි වෙනවා.

ධර්මයේ රැකවරණය ලැබීම ගිහි ජීවිතයේ හෝ පැවිදි ජීවිතයේ සිටීම කියල කතාවක් නැහැ. ගිහි ජීවිතයේ සිටිමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපහසු ය කියා කියනවා නම් ඒකත් පිළිගන්න බැහැ. තමා යම් ධර්මයක් ආරක්ෂා කරනවා නම් ඒ ආරක්ෂා කරන ධර්මයේ රැකවරණය තමාට ලැබෙනවා.

මූලිකවම ගත්විට ගිහියකුගේ ධර්මචාරිබව අපට තේරුම් කරන්න පුළුවන් ඔහුගේ තුන්දොර කෙතරම් සංවරද කියලා දැන ගැනීමෙන්. තුන්දොර සංවර කරගන්න කැමැති පුද්ගලයා මුලින්ම සංවර කර ගන්නවා සිත. සිත සංවර කර ගත් විට කයයි වචනයයි සංවර කර ගන්නට මහන්සි ගන්නවා. පන්සිල් රකිනවා කියන්නේ තවත් ආකාරයකට කය වචනය සංවර කර ගැනීමයි. කය වචනය සංවර වුණේ හිත සංවර කර ගැනීම නිසයි. සිතේ තිබෙන සිතිවිලි සමාධිගත කරන ක්‍රමය තමයි කය වචනය, නරක දේ හොඳ දේ කියන ස්වභාවය. ඒ නරක දේ හා හොඳ දේ කරන්නේ හිතේ ස්වභාවයෙන්. හිත පිරිසුදු කරගත් පුද්ගලයා පමණයි පන්සිල් ආරක්ෂා කරන්නේ. යමෙක් පන්සිල් රකිනවා කියන්නේ ඔහු ධර්මය තුළ ජීවත් වෙනවා කියන එකයි. ගිහියෙක් ලෙස ඔහුට ධර්මයෙන් ලැබෙන ප්‍රධානම රැකවරණය තමා සමාදන්වන නිත්‍යශීලය වන පන්සිල් ආරක්ෂා කිරීම. පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ මූලිකවම රැකෙන්නේ සිත. තමාගේ සිත රැක ගත්තොත් එය තමාට විශාල ආරක්ෂාවක්. තමාගේ සිත රැකීම තුළින් තමාට පමණක් නොව මුළු සමාජයටම ලැබෙන්නේ ආරක්ෂාවක්. තව ආකාරයකට කියනවා නම් ආරක්ෂාව නැති තැන ඇත්තේ බයයි. මිනිසුන් බයෙන් ඉන්නේ ඇයි? අප වටා සිටින පිරිස සිල්වත් නැති නිසා. සදාචාරසම්පන්න නැති නිසා. ඉන්ද්‍රිය සංවරයක් නැති නිසා. එනිසා අප පන්සිල් රකිනවා නම් තමාට මෙන්ම සමාජයටත් විශාල ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා.

ධර්මයේ පිහිට රැකවරණය ආරක්ෂාව ලබා ගැනීම ගිහි පැවිදි හැමෝටම අයිතියි. නමුත් ගිහියාගේ ප්‍රතිපදාව සහ පැවිද්දාගේ ප්‍රතිපදාව වෙනස්. ගිහි හා පැවිදි දෙපක්ෂයටම තිබෙන්නේ එකම නිවන් මාර්ගය යි. නමුත් එහි ගමන්කරන රටාවත් වේගයත් වෙනස් විය හැකියි. ගිහියාට ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩියි. නමුත් අප ගිහි ජීවිතයේ සිට ධර්මය අවබෝධ කරන්න බැරි යැයි සිතන්නේ ගිහි ජීවිතයේදී නිවන් මාර්ගයට පැමිණීමට බාධා වැඩි නිසයි. ගිහි ජීවිතයේ තිබෙන බාධා වැඩි කියා. තවත් ආකාරයට කියනවා නම් කෙනෙක් ගමනක් යනවා විශාල බරක් කර තබාගෙන. තවත් පුද්ගලයෙක් ඒ ගමනම යනවා ඔහුට කිසිදු බරක් නැහැ. විශාල බරක් ඔසවා ගෙන යන පුද්ගලයාගේ ගමන හෙමින්. බරක් නැති පුද්ගලයා ඉක්මණින් ගමන නිමා කරනවා. එකම පාරේ දෙදෙනාගේ ගමනේ වේගය අඩුවැඩි වෙනවා. ඒ වගේ තමයි ගිහියාගේ ජීවිතයේ වගකීම් වැඩිනිසා ධර්ම මාර්ගයේ ගමන සිදුවන්නේ සෙමින්.

තථාගතයන් වහන්සේ නමක් ලෝකයේ පහල වන්නේ විශේෂයෙන් කරුණු තුනක් සඳහායි. ඒ තමා මෙලොව සුව, පරලොව සුව, ලෝකෝත්තර සුව කියන කරුණු අපට කියා දීමටයි. මේ සුව ලොවට ලබාදෙන නිසායි තථාගතයන් වහන්සේ “සත්ථා දේව මනුස්සානං” කියලා වන්දනා කරන්නේ. උන්වහන්සේ දෙවි මිනිසුන් සියල්ලටම ශාස්තෘන් වහන්සේ නිසා ගිහි පැවිදි කතාවට වඩා ඉන් එහාට ගිය දෙයක් තිබෙනවා. මේ හැමෝගේම මෙලොව ජීවිත යහපත් කර ගන්න තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා.

මේ ලෝකයේ වගේම පරලොව ජීවිතය වාසනා කර ගැනීම පිළිබඳවත් මැරිලා උපදින තැන සුවපත් කර ගැනීම පිළිබඳවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. නමුත් උන්වහන්සේ ලොවට පහළ වීමේ ඉලක්කය මේ ලෝකය සුවපත් කර ගන්නටයි, මැරිලා උපදින තැන සුවපත් කර ගන්නට නොවේ. බුදු කෙනෙකු ඊට වඩා ඉතා අර්ථවත් දෙයක් උදෙසා ලොව පහළ වෙනවා.

උන්වහන්සේ මේ ලෝකයේ කරුණු කාරණා යහපත් කරන ආකාරය ධර්මය වදාරණ බව ඇත්තයි. පරලොව ජීවිතය සුවපත් කර ගැනීමට කරුණු කාරණා වදාරණ බවත් ඇත්තයි. නමුත් තථාගතයන් වහන්සේ දන්නවා මේ ලෝකයේ හෝ පරලොව හෝ ඉපදීම දුකයි කියලා. මේ නිසා ඒ උපත නැවැත්වීමට තමයි උන්වහන්සේ මඟ කියා දෙන්නේ. මේ ලොව පරලොව සුවපත් කර ගන්නවා කියන්නේ පැවැත්ම තහවුරු කර ගැනීමයි. පැවැත්මට වඩා භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැවැත්ම තහවුරු වන ආකාරය පිළිබඳව යි.

නැවැත්ම තහවුරු කරන ක්‍රියා තමයි මූලිකවම නිවනට ඉලක්ක වන්නේ. පැවැත්ම තහවුරුවන දේවල් තුළ යුතුකම් ඉෂ්ඨ කරගෙන ගුණදහම් පුරාගෙන පින්දහම් කරගෙන සංසාරයේ දිගින් දිගට යන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ලෝකයේ පහළ වෙලා මේ මාර්ගය දේශනා කරන විට ඒ මාර්ගයේ ප්‍රතිඵල ලබන ගිහි පැවිදි දෙපිරිසම ඒ ප්‍රතිලාභ තුනම ලබා ගන්න පුළුවන්.

විශාඛා සිටු දියණිය සෝවන්ඵලයට පත්වූ අයෙක්. ඇය විවාහකයි. ඒ වගේ ගිහි ගෙදර ඉඳිමින් ඉහළ මාර්ගඵල ලැබූ අයත් බුද්ධ ශාසනය තුළ සිටියා.

එනිසා අප ගිහි ගෙදර සිටියදී වුවද ගිහි ප්‍රතිපදාවත් හොඳින් රැකගෙන සිගාලෝවාද සූත්‍රය ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය ආදි සූත්‍ර වල තිබෙන කරුණු හොඳින් අධ්‍යයනය කර තමා ළඟ තිබිය යුතු ගුණ ධර්ම දියුණු කරගෙන නැති කරගත යුතු අගුණ ධර්ම අඩුකරගෙන වැඩ කරනවා නම් ධර්මයේ රැකවරණය නිරන්තරයෙන්ම වැඩෙනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.