Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 සැනසුම ලබන්න

හීන මානය නිසාම මගේ කර්මය, මගේ දෛවය මා ලබා උපන් හැටි, දෙමව්පියො අපට යමක් ඉතිරි කළේ නැහැ. කෙතරම් හම්බකලත් ජීවත්වන්න සල්ලි මදි, දියුණුවෙන්න නිකම් බැහැ. ඒකට වාසනාව තියෙන්න ඕනෙ. මගේ අපල කාලේ” වැනි සංකල්ප තුළින් තමන්ගේ මන්දෝත්සාහිභාවය සාධාරණීය කරන්නට පුරුදු වී සිටිති. අප සුන්දර වූ ජීවිතය එබඳු අසුන්දර වූ ආකල්පවලින් කුණු කූඩයක් කරගන්න හිතන එක කොච්චර නම් අවාසනාවන්තද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ඌණෝ ලොකෝ අතිත්තෝ තණ්හාදාසෝති බො මහාරාජ කෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධෙන දුතිය ධම්මුද්ධෙසො උද්ධිට්ඨො”
(රට්ටපාල සූත්‍රය – මජ්ඣිම නිකාය)

පින්වත

ලෝවැසි ජනතාව කොතරම් භවභෝග සම්පත් තිබුණත් අසවල් දේ නැත කියා නිතරම ඌනත්වයෙන් පෙලෙති. කිසිසේත් සෑහීමකට පත් නොවී සතුටට පත් නොවෙති. තෘෂ්ණාවේ දාසයෙකු බවට පත් වී වාසය කරති.

මිනිසුන් තම ජීවිත කාලයම ප්‍රශ්න පත්‍රයක් කරගෙන විශාල ප්‍රශ්න ජාලාවකින් විකෘති වූ මිනිසුන් මානසික ආතතියෙන් ම මිය යති. ලැබූ මිනිස් ජීවිතයට විය යුත්තේ එයද?

මිනිස් ලොව ඇතුළතින් හා පිටතින් ප්‍රශ්නවලින් ගහණ වූවක් බව සත්‍යය. එහෙත් අප ඒ ප්‍රශ්නවලින් පීඩිත විය යුතු නැත. ප්‍රශ්න ජීවිතයේ අභියෝගයක් නැති නම් ඒවා ජීවිතයට අවශ්‍ය සාධකයක් ලෙසින් හිතන්න පුළුවන් නම් අපට ඒ ප්‍රශ්නවලට විසඳුම් ක්‍ෂණිකව ළඟා කර ගන්න පුළුවන් වෙයි. දුක, අසහනය, අතෘප්තිය, කෝපය ඊර්ෂ්‍යාව, උඩඟුකම වැනි සිතිවිලි පැන නැගීම මිනිස් දිවියේ සාමාන්‍ය දෙයකි. ඒ සිතිවිලි පිළිලයක් සේ උඩු දුවන්නට පෙර ඒවා පලවා හැර සුබවාදි ලෙස ජීවිතයට මුහුණ දීමට අපට උත්සාහ කරන්න හැකි වන්නේ නම් කොපමණ යහපත්ද? අප බොහෝ දුරට කරනුයේ ප්‍රශ්නයක් පැන නැගැණු සැනින් කලබල වී එය තවත් අවුල් වියවුල් කරගැනී මය.

බලන්න, හිතන්න සොබාදහම දෙස, මොනතරම් නම් සැහැල්ලුවක් තිබෙනවාද කියා. ගහ වැල, ඇළ දොළ සිහිල් සුලං පමණක් නොව කුරුල්ලන්ගේ ගී නාදයේ මිහිරි රිද්මය කොපමණ නිදහස්, නිවහල්, සැහැල්ලු බවක් තිබේද? සොබාදහමේ ඇති ඒ නිවහල් බව ජීවිතයට පාඩමක් කරගන්න පුළුවන් නම් සැහැල්ලුවෙන් අපට ජීවිතය ගතකරන්න පුළුවනි. ඒ සැහැල්ලු බව ජීවිතයට කෙතරම් ආශීර්වාදයක් වෙනවාද?

බොහෝ දුරට ආත්ම විශ්වාසය සුන් කරගන්නා වූ අප ඍණාත්මක මානසිකත්වයෙන් හා අසුබවාදි ආකල්පවල එල්බගෙන ජීවිතේ සැහැල්ලු බව නැති කර ගන්නට ක්‍රියා කරනුයේ ජීවිතයේ වටිනාකම ගැන අවබෝධයක් නැත්තවුන්සේය. මේ හීන මානය නිසාම මගේ කර්මය, මගේ දෛවය මා ලබා උපන් හැටි, දෙමව්පියො අපට යමක් ඉතිරි කළේ නැහැ. කෙතරම් හම්බකලත් ජීවත්වන්න සල්ලි මදි, දියුණුවෙන්න නිකම් බැහැ. ඒකට වාසනාව තියෙන්න ඕනෙ. මගේ අපල කාලේ” වැනි සංකල්ප තුළින් තමන්ගේ මන්දෝත්සාහිභාවය සාධාරණීය කරන්නට පුරුදු වී සිටිති. අප සුන්දර වූ ජීවිතය එබඳු අසුන්දර වූ ආකල්පවලින් කුණු කූඩයක් කරගන්න හිතන එක කොච්චර නම් අවාසනාවන්තද?

ඉතින් අප කළ යුත්තේ කුමක්ද? අපගේ භෞතික මෙන්ම අධ්‍යාත්මික දියුණුව ඇති කර ගනිමින් පරිපූර්ණ මිනිසෙකු වීමයි. ඒ සඳහා අලසකම මුලිනුපුටා දැමිය යුතුයි.උත්සාහය අතහැර පරාජය භාර නොගත යුතුයි. දියුණු වීමේ ආශාවෙන් යුත් දර්ශනයක් අප ගොඩනගා ගත යුතුයි. අපගේ දක්‍ෂතාවයන් හඳුනාගෙන ඒ තුළින් ජීවිතයේ ඉලක්ක කරා ගමන් කළ යුතුයි. අපට ලෝකයේ දේවල් කිසි විටෙක වෙනස් කොට අපට ඕන විදිහට පවත්වා ගත නොහැකිය. අප කළ යුත්තේ ඒ දේවල් පිළිබඳ චේතනය වෙන ආකාරය විදර්ශනයෙන් දැකීමයි. එවිට කිසිදු විඳවීමක් නොවනු ඇත. ලෝකය විදර්ශනයෙන් කෙනෙකුට විනිවිදව දකින්න නම් ඔහුට උසස් බුද්ධියක් සම්පාදනය කර ගත යුතුව ඇත. සාමාන්‍යයෙන් අප තුළ පවතිනුයේ තර්ක බුද්ධියයි. ජීවිතයක සැනසුම ලැබීම තර්ක බුද්ධියෙන් කළ නොහැක. ඒ සඳහා උසස් බුද්ධියක් ඇත. එනම් ප්‍රඥාවයි . මෙය ඇතැම් මිනිසුන්ගේ අක්‍රියව පවතින්නකි. මෙම ප්‍රඥාව තුළින් පමණි. මිනිසුන්ගේ අසහනකාරි ගැටළු ගැඹුරුම මට්ටමින් විසඳගෙන සැනසීම ලැබිය හැකි වනුයේ, මිනිසා පෙළන ශෝකය වෛරය භය යන ගැටළු වලින් මුළුමනින්ම සිත නිදහස් කරනුයේ ප්‍රඥාව තුළිනි. මනස සියලු ආකාරවල මුළාවලින් මුදවා අවධි කිරීමට ප්‍රඥාවට හැකිය. අපට මතුපිටින් පෙනෙන සම්මුති සත්‍යය ඉක්මවලා පරමාර්ථ සත්‍ය දකින්න ඒ තුළින් පුළුවන. එබැවින් ඔබ ජීවිතයේ ගැටළුවලදී ප්‍රාථමික මානසිකත්වයෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකී සිට මුලින්ම කළ යුත්තේ හරයක් නොපවත්නා දේවල් ඔබ සිතෙන් අතහැරීමයි. හැම දෙයක්ම සිතෙන් අතහැරියොත් ඔබට සත්‍යය දැකිය හැකිය. ඔබ තුළ ප්‍රඥාව පහළ වූ විට ඔබට කොතැනක බැලුවත් දකින්න ලැබෙන්නේ සත්‍යයයි. ඔබට විමුක්තිය ලබා දීම කිසි කෙනෙකු විසින් හෝ කිසි දෙයක් මගින් කළ නොහැක. එය කළ හැක්කේ ඔබේම අවබෝධයටය. දක්ෂ පුද්ගලයා අනුන් දෙස බලා සිටියත් යමක් කරන්නේ අඥාන කමින් නොවේ. ප්‍රඥාවෙනි. ප්‍රඥාවන්ත ලෙස බලන කෙනෙකුට බොහෝ දේවල් ඉගෙන ගත හැකිය. අඥාන කමින් බලන අයෙකුට කළ හැකි වන්නේ වැරදි සෙවීම පමණි. ඔබට ලෝකයේ පවතින ස්වභාවය යථාරූපීව දකින්න හැකි නම් ඒ දේවල් සමඟ සම්බන්ධ වූ විට ඒවා කෙරෙහි ඇලීමක් ඇති කර නොගනී. මේ ලෝකයේ ප්‍රසන්න හා අප්‍රසන්න දේ නිරන්තරව ඒහිපස්සික (ආකර්ෂණය) ධර්මතාවය අපගේ නාමකයේ ඇති ඕපනෛක (පරිකර්ෂණය) ධර්මතාවය මතට නිරන්තර අරමුණු ලෙස ගලා ඒමක් සිද්ධ වෙමින් පවතී. ප්‍රඥාව උපදවාගත් තැනැත්තා ඒ අරමුණූ ග්‍රහණය කරගනු ලබනුයේ ඇලීමෙන් ගැටීමෙන් මුළාවෙන් නොවේ. ඒවායෙහි ඇති අනිත්‍යාදි ස්වභාවයන් දකිමින් උපේක්‍ෂාවෙනි.

එබැවින් ලෝභය ද්වේෂය වැනි ඉතාමත් නරක ස්වභාවයේ කෙළෙසුන් පහළ වුනත් ඒවායේ අනිත්‍ය ස්වභාවය දකිමින් ඉබේටම නැතිවීම සඳහා ඒවාට ඉඩහැර සිටීමට හැකි තරම් ප්‍රඥාවක් ඔබ තුළ තිබිය යුතුයි. යම් කැමැත්තක් හෝ අකැමැත්තක් දක්වමින් ඒවා සම්බන්ධයෙන් යම් ප්‍රතික්‍රියාවක් දැක්වුවහොත් එය ප්‍රඥාව ලෙස සැලකෙන්නේ නැත. ඒ තුළින් ඔබ කරනුයේ ඔබේ දුක තව තවත් වැඩිකර ගැනීමක් පමණි. මිනිස් සමාජයේ බොහෝ දෙනෙකු නොයෙක් අසහනයන්ට පත්වී ඇත්තේ අධ්‍යාත්මික වශයෙන් රැකවරණයක් නැති නිසාවෙනි. ඔබට අපට හදිසි කරදරයකදී, ආපදාවකදී කලබලවීමටත් හදිසි තීරණ ගැනීමටත් පෙළඹෙනුයේ ඒ අධ්‍යාත්මික රැකවරණය නොමැතිකම නිසාය. වෙසෙසින් එයට හේතු වනුයේ නිරන්තරව හිතට රැකවරණය ලබාදෙන ධාර්මික වැඩපිළිවෙලක තම ජීවිතය නොයෙදීමයි. ධාර්මික ජීවිතයක් ගත කරන්නා තුළ ජීවිත අවබෝධය ඇතිවන බැවින් මානසික පීඩනයන්ගෙන් අත්මිදිය හැකිය. භෞතික සම්පත් කොතෙක් තිබුණත් පිරිහුණු මනසකින් යුතුව නම් ඔබ සිටිනුයේ කිසි දිනෙක සැනසීමක් නම් නොලැබෙනවා ඇත.කෙනෙකු භෞතික සම්පත් හඹාගෙන යන්නේ ජීවිතයේ සතුට ඒ තුළින් උපදවා ගැනීම සැලසුම් කරගෙනය. ගිහි පින්වතෙකු භෞතික සම්පත් හඹාගෙන යෑම සාධාරණ එකකි. එහෙත් මානසික දියුණුවක් නොලබාම භෞතික සම්පත් පමණක්ම සොයා යාම සාධාරණ නොවේ. එයින් අධ්‍යාත්මික වශයෙන් ඇති වන තුවාල සුවපත් කර ගැනීමට නොහැකි වේ. ඒ නිසා ලැබූ ජීවිතය සැනසිලිදායක එකක් කර ගන්නට අධ්‍යාත්මික දියුණුව අත්‍යාවශ්‍යය. අපට ජීවිතයේ ආනන්දනීය බව උකහා ගත හැකියි. අප තුළින්ම ජීවිතයේ සැබෑ රිද්මය හඳුනා ගැනීමට උනන්දු විය යුතු වෙයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.