Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ආදීනව නුවණින් දකිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සැබෑ බලවතුන් කියල කියන්නෙ පීඩා රහිතව වාසය කරන්ට හැකියාව උපදවා ගත්ත අයයි. ඉතින් ඒ කරා එන්ට ක්‍රම ක්‍රමයෙන් අපට පුළුවන්කමක් තියෙයි. ටික ටික ධර්මය පුරුදු කරන්ට පුරුදු කරන්ට අපට පීඩා රහිතව වාසය කරන්ට හැකියාවක් ලැබෙනව. ඉතින් අපට ඒ අවසන් ප්‍රතිඵලයක් වශයෙන් කිසියම් ආකාරයක පීඩාවක් නොලැබෙන විදියට අපේ සිත දියුණු කර ගැනීමේ අවස්ථාවක් උදා වෙයි. ඒ සඳහා අප සිතා මතා අපේ අකුසල ස්වභාවයන් දැකල ඒව බැහැර කරල අහිංසක අය විදියට කටයුතු කරන්ට ඕනැ.

විශේෂයෙන් අප පිළිගන්ට ඕනැ, අකුසලය අප ළඟයි තියෙන්නෙ කියල. සාමාන්‍ය ලෝකේ ස්වභාවය තමයි අන් අයට ඇඟිල්ල දික් කිරීම. එසේ අපි නොකළ යුතු වෙමු. අප නිතර කල්පනා කරන්ට ඕනැ. යම් පීඩාවක් තිබුණොත් අප ළග තමයි අකුසලය තියෙන්නෙ කියල. එතකොට එයාට අහිංසක කෙනෙක් වෙන්ට පුළුවන්. එයා දන්නව රාග, ද්වේශ, මෝහ නිසා මම පීඩාවට පත් වූවෙමි කියල. ඒ නේද ඇත්ත කතාව? පීඩාවක් එනකොට සාමාන්‍ය කෙනා සිතන්නෙ මේක මට අහවලා කළා. අරය තමා මට මේ පීඩාව කළේ කියල. අන්න ඒ කල්පනාව මුළුමනින්ම අපේ පීඩාව වැඩිදියුණු කරන්ට උපකාර වෙන එකක්. හරි වැටහීමක් නැති කෙනා ඕනෑම හොඳ කෙනෙකුට වුණත් ඇඟිල්ල දික් කරනව ඔයා තමයි මට මේක කළේ කියල. ඒ මට්ටමට අපේ සිත වැටෙනව. ඒ නිසා අප රාග, ද්වේශ, මෝහ, වලට ඇඟිල්ලක් දික් කරනවා මිසක, ලෝකයේ කිසි පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කරන්ට හොඳ නැහැ. කිසි කෙනෙක් මේ දුක හදල දෙන්නෙ නෑ. ඒක තමා තුළ හට ගන්න දෙයක්. රාග, ද්වේශ, මෝහ නිසා සිදුවෙන දෙයක්. අපට ඒක හඳුනා ගන්ට පුළුවන් වෙන්ට ඕනැ. මේකෙන් නිදහස් වෙන්ට අප කළ යුතු දෙයක් තියෙනව. අන්න ඒ කළ යුතු දේ හඳුනා ගන්නටත්, ඉගෙන ගන්නටත්, ඒක කරන්නටත් අප දක්‍ෂ වෙන්ට ඕනැ.

සාමාන්‍ය මනුෂ්‍යයාගෙ ස්වභාවය තමාට පීඩාවක් එනකොට අන් අයට චෝදනා කරන එක. අන් අයට ඇඟිල්ල දික් කරන එක. එතකොට පිරිසෙන් වෙන් වෙනව. නමුත් අප කල්පනා කරන්ට පුරුදු වුණොත් මේ පීඩාව හට ගත්තෙ සිතේ. ඒක රාග, ද්වේශ, මෝහ නිසා හට ගත්ත එකක්. එහෙනම් අපිට ඒ රාග, ද්වේශ, මෝහ දුරු වුණානම් පීඩාව නෑ. එහෙනම් බණ භාවනා කරන කෙනෙක්, බණ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම පිණිස වෑයම් කළ යුත්තේ, කැමැති විය යුත්තේ රාග, ද්වේශ, මෝහ, දුරු කිරීමටයි. රාග, ද්වේශ, මෝහ, දුරු කරල බලවත් වූ කුසලයක් සිතේ දියුණු කරන්නට ඕනැ.

හේනක් හදන ගොවියෙක් වනාන්තරය සුද්ද කරනව. සුද්ද කරල බීජ වපුරනව. බීජ වපුරල එයා ඔහේ පැත්තකට වෙලා බලන් හිටියොත් මොකද වෙන්නෙ? ටික කලකින් ආයෙත් වනාන්තරය හැදෙනව. එහෙනම් ඒ තමා වගා කළ බෝගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට කැමැති කෙනා නිතර සෝදිසියෙන් ඉන්න ඕනැ. ඒ වගා කරපු බෝගයෙන් ප්‍රයෝජන ගන්ට කැමැති දක්‍ෂ ගොවියා ඒ වගාව රකින අතර ම හානි කරන්ට හැදෙන ඒවා සුද්ද කරනවා. අන්න ඒ වගේම තමයි බණ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්ට කැමැති කෙනා බණ භාවනා දියුණු කරන අතරම සිතේ හට ගන්නා වූ උපක්ලේශ දකිමින් බැහැර කරන්ට දක්‍ෂ වෙන්ට ඕන. ආන්න එහෙම ඒ සිතේ හට ගන්න උපක්ලේශයන් දකිමින් බැහැර කරන්ට දක්‍ෂ නොවෙන කෙනාට, සිතේ උපක්ලේශ හට ගන්න කොට එයාට සිතෙන්නේ ඒක බැහැර කෙනෙක් කළා කියල. එතකොට එයා තුළ “අඝාතය” තරහ හට ගන්නවා. අකුසලය බලවත් වෙනව.කුසල් සිත දුර්වල වෙලා යනව. බණ භාවනාව දුර්වල වෙලා යනව.

ඒක හේනක් වගා කරන ගොවියා වල් හැදෙයි කියල දන්නෙ නෑ. වල් සුද්ද කරන්නෙ නෑ. බෝගෙ දිහා බල බල ඉන්නව වගෙයි. දන්නෙම නැතුව වල් බිහි වෙනව. අන්තිමට බෝගය නැති වෙලා යනව. වල් පැළ ඉතිරි වෙනව. ඒ නිසා බණ භාවනා සාර්ථක කර ගන්ට නම් නිතර රාග, ද්වේශ, මෝහ කෙරෙහි ඇති ඇල්ම නැති කර ගන්ට ඕන. රාග, ද්වේශ, මෝහ දුරු කිරීම පිණිස අපේ සිතේ උනන්දුව තියෙන්ට ඕන. ඒ රාග, ද්වේශ, මෝහ කෙරෙහි අකැමැති සිත උපදවා ගෙන වාසය කරන්ට ඕන. රාග, ද්වේශ, මෝහ කෙරෙහි අකැමැති සිත උපදවා ගෙන වාසය කරන්නෙ කොහොමද? රාග, ද්වේශ, මෝහ දුරු කරන්නෙ කුමක් නිසාද? රාග, ද්වේශ, මෝහ දුරු කරන්ට නම්, රාග, ද්වේශ, මෝහ වල ආදීනව දකින්ට ඕනැ. ආදීනව මෙනෙහි කරන්ට ඕනැ. වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්ට කැමැති කෙනා එකෙන් හට ගන්න නරක දේවල් වල ස්වභාවය දන්නව. එයා ඒව බලනව, හැදුණොත් ඒව ගලවල දානව. අන්න ඒ වගේ බණ භාවනාව සාර්ථක කර ගන්ට නම් අප රාග, ද්වේශ, මෝහ වල ආදීනව නිතර සිතන්ට ඕන.

මොනවද රාග, ද්වේශ, මෝහ වල ආදීනව? රාගය සිතට ආපුවහම රාගයෙන් සිත ගිනි ගන්නව. සිත හාත්පසින් වැහිල යනව. අන්න එවිට එයාට තමාටත් සිත සුව පිණිස සිතන්ට බෑ. අනුන්ටත් සිත සුව පිණිස සිතන්ට බෑ. අන්න ඒක තමයි රාගයේ පළවෙනි ආදීනවය. ඊළඟට රාගය ඇවිදින් සිත යටවුණහම, සිත හාත්පසින් වැසුණහම සිත ගිනි ගන්නව. එතකොට මේක සුචරිතය, මේක දුශ්චරිතය කියල එයාට සිතන්ට බෑ. මේ කාය ක්‍රියාව හොඳයිද, මේ වචී ක්‍රියාව හොඳයිද කියල එයාට තෝරබේර ගන්ට බෑ. අන්න ඒක රාගයේ දෙවන ආදීනවය. ඊළඟට රාගය ඇවිදින් සිත ගිනි ගත්තහම, සිත යටවුණාම, සිත හාත් පසින් වැහිල ගියහම මේක පරාර්ථය, මේ ආත්මාර්ථය කියල තෝරබේර ගන්ට බෑ. අන්න ඒක රාගයේ තුන්වන ආදීනවය. ද්වේශයෙත් එහෙමයි මෝහයෙත් එහෙමයි. ද්වේශයෙන් සිත යට වුණාම සිත ගිනි ගන්නව. සිත හාත් පසින් වැහිල යනවා. අන්න එතකොට එයාට තමන්ටත් අනුන්ටත් සිත සුව පිණිස සිතන්ට බෑ. මේක සුචරිතය මේක දුශ්චරිතය කියල තෝරබේර ගන්ට බෑ. මේක ආත්මාර්ථය, මේක පරාර්ථය කියල තෝර බේර ගන්ට බෑ. ඒ තමයි ද්වේශයේ ආදීනවය. මෝහය ඇවිල්ල සිත යට වුණහම, සිත ගිනි ගත්තහම, සිත හාත්පසින් යට වුණහම එයාට තමන්ටත් අනුන්ටත් සිත පිණිස සිතන්ට බෑ. මේක සුචරිතය, මේක දුශ්චරිතය කියල සිතන්ට බෑ. මේක ආත්මාර්ථය, මේක පරාර්ථය කියල සිතන්ට බෑ. ඒ තමයි මෝහයේ ආදීනවය.

එතකොට රාග, ද්වේශ, මෝහ වල ආදීනව අප කල්පනා කරන්නට ඕනැ. බලවත්ව කල්පනා කරන්ට ඕන. එතකොටයි රාග, ද්වේශ, මෝහ දුරුවෙන්ට පටන් ගන්නේ. දැන් බලන්න අපි මේව කරමුද? කියල. රාග, ද්වේශ, මෝහ වල ආදීනව අප කල්පනා කරනවද? යමක ආදීනව කල්පනා නොකර ඒකෙ නිදහස් වීමක් තියෙනවද? නෑ. අප රාග, ද්වේශ, මෝහ වල ආශ්වාදයෙන් යට වෙලාද? නැද්ද ඉන්නෙ? ආශ්වාදයෙන් යට වෙලා ඉන්නව. ඒ භාග්‍යවතුන් වහන්සෙ අපට පෙන්වා දෙනව. ආශ්වාදය, ආදීනව, නිස්සරණය කියන මේ කාරණා තුනම පරිපූර්ණ වශයෙන් අවබෝධ නොකර අපට නිදහස් වීමක් නෑ කියල.

ආශ්වාදය කියන එක අපට සාමාන්‍යයි. අප කලක් තිස්සේ ආශ්වාදය තුළ ගිලිල ඉන්නෙ. ආශ්වාදයෙන් අප නිදහස් වෙන්ට නම්, ආදීනව ගැන කල්පනා කරන්නට ඕන. ආදීනව කල්පනා කරන්ට කරන්ට නිදහස්වීම සිද්ධ වෙනව. එහෙනම් රාග, ද්වේශ, මෝහ වලින් නිදහස් වෙන්ට නම්, රාග, ද්වේශ, මෝහ වල ආදීනව කල්පනා කරන්ට ඕන. රාග, ද්වේශ, මෝහ වල ආදීනව කල්පනා නොකර බණ භාවනා කරන කෙනා, ඒ බණ භාවනාවෙන් තමා මත් වෙලා යනව. ඒ සමාධියෙන් මත් වෙනව. ඒ දහම් දැනුමෙන් මත් වෙනව. ධර්මය දේශනා කරත්ම ඒකෙනුත් මත් වෙනව. මෝහය වැඩි වෙලා යනව. අන් අය මට සැලකිය යුතුයි. කියන තත්ත්වයට වැටෙනව. ඇයි ආදීනවය දන්නෙ නෑනේ. ආදීනව කල්පනා කිරීමක් නෑ. දැන් තේරුණා අපට වරදින්නෙ කොතනද කියල? අප ආදීනව ගැන කල්පනා කරන්නෙ නෑ. නිදහස් වෙන්ට සිතනව. ඉතින් වෙහෙසෙනව. අන්තිමට ආපහු ගිහිල්ල පැටලීමක තමයි අප ඉන්නෙ.ආපහු අප ඒ උගුලේම අහුවෙලා. වුවමනා දේ කරල නැහැ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.