Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරුරට බොහෝ දුක් දුන්නේ ඇයි?

දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී අර්හත් භාවයට පත්ව සසර ගමන කෙළවර කරන්නට හොඳම අවස්ථාව තිබියදීත් සංසාරයේ අතරමං ව අනන්ත වූ දුක් වේදනා විඳින සත්ත්වයා කෙරෙහි ඇති වූ මහා කරුණාව නිසා සම්මා සම්බුද්ධත්වයට පත්ව තමන් ද දුකින් මිදී අපටද දුකින් මිදෙන්ට මග කියා දෙනු වස් අති දීර්ඝ වූ සංසාර ගමනක යෙදී අවසාන ආත්මභවයෙහි මෙබඳු අති කටුක දුක් සමුදායක් විඳින්නට පෙළෙඹුණේ ඔබ අප නිසාය

සම්මා සම්බුද්ධත්වය පිණිස මෙහෙයවනු සිත් ඇතිව කටයුතු කළ බෝසතාණන් වහන්සේ ඒ සඳහා කළයුතු යැයි සිතෙන යම් ක්‍රියාවක් වේ නම් ඒ සියලු දේ අනුගමනය කරන්නට පෙළඹුණා. සාමාන්‍ය මනුෂ්‍යයකුට කළ නොහැකි දේ බෝසතාණන් වහන්සේ සිතෙහි කිසිදු වෙනසකින් තොරව ඒ කාර්යය පිළිබඳව මනා ලෙසින් දැනුවත් ව ඒ රළු ප්‍රතිපදාව අනුගමනය කළා.

මේ දුෂ්කර ක්‍රියා කරන සමයෙහි උන්වහන්සේ බොහෝ විට වාසය කළේ කැලෑවලයි. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය මනුෂ්‍යයෙකුට යා නොහැකි ආකාරයේ ලොමුදැහගන්වන සුළු භයානක සිද්ධීන් සිදු වන කැලෑවෙහි බෝසතාණන් වහන්සේ තනිව ම වැඩ සිටියා.

අධික ලෙස සීතල දැනෙන හේමන්ත සෘතුවෙහි හිම වැටෙන රාත්‍රියන්හි අප මහ බෝසතාණන් වහන්සේ එළිමහනට වී හිම ගොඩෙහි රාත්‍රිය පහන් කළා. දවල් අධික ලෙස සීතල දැනෙන කැලෑව ඇතුළට ගොස් සිටියා. අධික ලෙස උණුසුම දැනෙන ගී‍්‍රෂ්ම සෘතුවෙහි දවල් එළිමහනට විත් අවු රශ්මියෙහි සිටිමින් සිරුරට පීඩා ගෙන දුන්නා. රාත්‍රියෙහි කැලෑවට ගොස් උණුසුමෙන් පීඩා වින්දා.

ඇතැම් අවස්ථාවක සොහොනට ගොස් නිදා ගත්තා. එසේ නිදමින් සිටින විට ඇතැම් ගොපලු දරුවන් ඇවිත් බෝසතාණන් වහන්සේගේ ඇඟට කෙළ ගැසුවා. මුත්‍රා කළා. කන් සිදුරුවලට ඉරටුවලින් ඇන්නා. එසේ කෙතරම් පීඩා ලැබුවත් ඒ පීඩා කරනා කිසිවෙකුත් කෙරෙහි නරක සිතක් උපදවා නොගෙන උපේක්ෂාවෙන් ඒ සියල්ල විඳ දරා ගත්තා.

දවසකට එක් ඩෙබර ගෙඩියක් පමණක් ආහාරයට ගන්නා බෝසතාණන් වහන්සේගේ ශරීරය අතිශයින් ම කෙට්ටු වුණා. කලුවැල් පුරුක් යම් ආකාරයකට පවතිද එලෙසින් බෝසතාණන් වහන්සේගේ අත් පා ආදී ශරීරයේ අවයව පෙනෙන්නට වුණා. කොඳු ඇට තැනින් තැන උස් පහත් වී තිබුණා. දිරූ ශාලාවක වහලයෙහි යොදන ලද වක් වූ යට ලී සෙයින් බෝසතාණන් වහන්සේගේ ඉල ඇට පේළිය උඩට යටට නැමී ගොස් තිබුණා. ගැඹුරු ළිඳෙක යටි පත්ලෙහි රැඳි දිය පෙනෙන්නේ යම් ආකාරයකට ද එලෙසින් බෝසතාණන් වහන්සේගේ ඇස් දෙක ඇතුළට කිඳා බැස තිබුණා. අමුවෙන් කපන ලද තිත්ත ලබු ගෙඩියක් අව්වේ දැමූ පසු අව්වට හසු වී වේලී ඇඹරී යන්නේ යම් සේ ද එලෙසින් බෝසතාණන් වහන්සේගේ හිසේ හම පැළී හැකිළී ගොස් තිබුණා. මේ සියල්ලම අල්ප ආහාර අනුභව කිරීම නිසා සිදුවූවා.

මේ කාලයේ බෝසතාණන් වහන්සේ උදර සිවිය පිස දමන විට කොඳු ඇට පේළිය ද කොඳු ඇට පේළිය අතගාන විට උදර සිවිය ස්පර්ශ වුණා. අල්පාහාරව සිටි නිසා උදර සිවිය හා කොඳු ඇට පේළිය එකට ඇළී තිබුණා. නිරන්තරයෙන් ම ක්ලාන්ත ස්වභාවයෙන් කල් ගත කළ උන්වහන්සේ මළපහ කරන්නට හෝ මුත්‍රා කරන්නට ගිය විට මුණින් අතට ඇද වැටුණා. එසේ වැටුණ විට ශරීරයේ රිදුණු තැන් අතින් අත ගානා විට ශරීරයේ දිරා ගිය මුල් ඇති ලෝම ගිලිහී ගියා.

මෙලෙසින් බෝසතාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයට ආහාරවලින් වැළකුණා. විටෙක දිනකට එක තල ඇටයකින් පමණක් යැපුණා. විටෙක හාල් ඇටයකින් පමණක් යැපුණා. විටෙක මුං ඇටයකින් පමණක් යැපුණා. මේ නිසා බෝසත් සිරුර අතිශයින්ම කෘශ වී විකෘති වී ගියා. නමුත් මේ කිසිදු අවස්ථාවක බුද්ධත්වය පිණිස ඇති කරගත් ඇල්ම අඩු වූයේ නැහැ. මෙලෙසින් සසර සැරිසරන විට දීර්ඝ කාලයක් ජීවත්වීමෙන් යාග හෝම කිරීමෙන්, ගිනි පිදීමෙන් කෙලෙසුන්ගෙන් මිදිය හැකිය යන විශ්වාසය එදා සමාජය තුළ තිබුණු බවත් තමන් වහන්සේ දීර්ඝ සංසාර ගමනකදී ඒ සියල්ල සම්පූර්ණ කළ බවත් තථාගතයන් වහන්සේ වදාළා.

මේ ආකාරයට සය අවුරුද්දක් තිස්සේ තමන් වහන්සේ විසින් පුරුදු පුහුණු කරන ලද අප්‍රමාණ දුක් ගෙන දෙන අනේකවිධ වූ ප්‍රතිපදාවන් සමුදාය තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේම වචනවලින් විස්තර කර තිබෙනවා.

දීපංකර බුුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී අර්හත් භාවයට පත්ව සසර ගමන කෙළවර කරන්නට හොඳම අවස්ථාව තිබියදීත් සංසාරයේ අතරමං ව අනන්ත වූ දුක් වේදනා විඳින සත්ත්වයා කෙරෙහි ඇති වූ මහා කරුණාව නිසා සම්මා සම්බුද්ධත්වයට පත්ව තමන් ද දුකින් මිදී අපටද දුකින් මිදෙන්ට මග කියා දෙනු වස් අති දීර්ඝ වූ සංසාර ගමනක යෙදී අවසාන ආත්මභවයෙහි මෙබඳු අති කටුක දුක් සමුදායක් විඳින්නට පෙළෙඹුණේ ඔබ අප නිසා නොවේදැයි මොහොතකට කල්පනා කර බලන්න.

රජ මාලිගාවේ ඉතා රසවත්ව ආහාර අනුභව කළ බෝසතාණන් වහන්සේ බුදුබව පිණිස උපකාර වේ යැයි සිතා තමන්ගේ ම මල මුත්‍රා අනුභව කර සිරුරට දුක් දුන්නේ අප දුකින් මුදවා ගන්නට යි.

කසී සළු පිළි හැඳ පැළැඳ සිටි අප මහ බෝසතාණන් වහන්සේ විටෙක නිර්වස්ත්‍රව සිටිමින්, විටෙක ගස්වල කොළ පතුරු ආදියෙන් කරන ලද වස්ත්‍ර ද කෙස් වලින් කරන ලද වස්ත්‍ර ද සම් කැබැලිවලින් කරන ලද වස්ත්‍ර ද හඳිමින් දුක් වින්දේ අප දුකින් මුදවා ගන්නට යි.

ආරෝහපරිණාහ දේහයකින් යුක්තව, දුටුවන් නෙත් සිත් පිනවන ආකාරයේ ශරීරයක් ඇතිව සිටි අප මහ බෝසතාණන් වහන්සේ කළුවැල් පුරුක් වැනි ශරීරාංගයන් ඇතිවන ලෙසින් ශරීරයට දුක් දුන්නේ අප දුකින් මුදවා ගන්නටයි.

සෘතු තුනට ගැළපෙන සේ සකස් කරන ලද රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවල වාසය කළ බෝසතාණන් වහන්සේ මහ වනයෙහි එළිමහනෙහි මහ පොළොවෙහි සීත රැයෙහි නිදාගනිමින් ශරීරයට දුක් දුන්නේ අප වෙනුවෙන්ම යි.

මහ බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් මේ දරපු උත්සහය කැපවීම සෑම බොදුනුවෙක් ම අනිවාර්යයෙන්ම දැනගත යුතු වන්නේ එනිසාය. එසේ දැන ගැනීමට නම් උන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව, පේ‍්‍රමය වඩ වඩාත් දියුණු කරගත යුතු වෙනවා.

මෙසේ තම සිරුරට අපමණ වූ දුක්පීඩා දුන් බෝසතාණන් වහන්සේ සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවාලනු පිණිස දුක් දොම්නස් දුරලනු ශෝකපරිදේවයන් ඉක්මවාලනු පිණිස දුක් දොම්නස් දුරලනු පිණිස නුවණ වඩවනු පිණිස, නිවන සාක්ෂාත් කරනු පිණිස ඒ අත්තකිලමථානු යෝගය උපයෝගී වන්නේ නැති බව ප්‍රත්‍යක්ෂව ම අවබෝධ කර ගත්තා. තමන් බුදුබව පිණිස මෙතෙක් කල් අනුගමනය කළ ප්‍රතිපදාව දුක් සහිතවූත්, උතුමන් විසින් පුරුදු පුහුණු නො කරනු ලබන්නාවූත් අනර්ථය පීඩාව පිණිස පවතින්නාවුත් එකක් බව අවබෝධ කර ගත්තා. එය නිවනට මග නොවන බව තේරුම් ගත්තා. එනිසාම බෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අත්තකිලමථානුයෝගය අත් හැරියා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.