Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

භාවනාව සකසා වඩමු

ඊළඟට සමාධියට හානි කරවන කාරණා ගැන, බණ භාවනාවට හානි කරවන කාරණා ගැන සැලකිලිමත් වෙන්ට ඕනෑ. සමාධිය බලවත් වෙන්න පෙර සමාධියෙන් ප්‍රයෝජන ගන්ට උත්සාහ කළොත් සමාධියට හානි වෙන්ට පුළුවන්. ඊළඟට සමථය දියුණු කරන කෙනෙක්. ඒ සමථය බලවත් වෙන්ට පෙර විදර්ශනාවට හරවන්ට ගියොත් සමාධියට හානි වෙනව. විදර්ශනාව කරන කෙනෙක් විදර්ශනාව බලවත් වෙන්ට පෙර සමථයට හරවන්ට ගියොත් සමාධියට හානි වෙනව.

භාවනාව සකසා වැඩීම පිණිස වුවමනා කරන ඉතාම වැදගත් කාරණාව තමයි ‘ප්‍රත්‍යවේක්‍ෂා’ කිරීම කියල කියන්නෙ. ඒ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යටතේ අපි කාරණා ගොඩක් කිව්වෙමු. අන්න ඒ කරුණුත් සකසා වැඩීමට අදාළයි. අප නැවතත් මේ පින්වතුන්ට මතක්කර දෙන්ට කැමැතියි. ආරම්භයේ දීම තමන් පුරුදු කරන භාවනා මනසිකාරය වෙනස් කරන්ට එපා. යම් වචන පාවිච්චි කරනවා නම් ඒ වචන වෙනස් කරන්ට එපා. කරන භාවනාව අතර තුළ වෙන වෙන දේවල් කරන්ට යන්ට එපා. සමාධිය බලවත් වෙන්ට පෙර සමාධියෙන් ප්‍රයෝජන ගන්ට යන්ට එපා. එහෙම වුණොත් අපට බලවත් සමාධි ඇති කරගන්ට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ.

ඊළඟට අපි සමාධිය නිතර පුරුදු කරන්ට ඕනෑ. බලවත් සමාධි ඇති කරගැනීම පිණිස ඒ කාරණාවත් ඉතාම වැදගත්. සමාධියක් වඩන වෙලාවෙදී එයා සතිපට්ඨානය තුළයි වාසය කරන්නෙ. සතිපට්ඨානය තුළ වාසය කරන කොට, එයා තුළ අකුසල් දුරු වීමත් කුසල් දියුණු වීමත් සිද්ධ වෙනව.

ඊළඟට යම් බැඳීම් තියෙනව නම් ඒව ලිහෙන්ට පටන් ගන්නව. අලුතෙන් බැඳීම් හට ගන්නේ නෑ. ඉතින් අපි තියෙන බන්ධන ඉවත්කර ගන්ට වෑයම් කරන අය විදියට, හැකිතාක් සතිපට්ඨානය තුළ ම වාසය කරන්ට පෙළඹෙන්ට ඕනෑ. ඊළඟට බලවත් සමාධිය ඇති කර ගැනීම පිණිස අප හැකිතාක් සමාධිය තුළ වාසය කරන්ට පුරුදු වෙන්ට ඕනෑ. උදේ, දවල්, හවස, රාත්‍රිය මේ විදියට නිතර සමාධිය තුළ ඉන්ට දක්‍ෂ වෙන්ට ඕනෑ.

ඊළඟට සමාධියට හානි කරවන කාරණා ගැන, බණ භාවනාවට හානි කරවන කාරණා ගැන සැලකිලිමත් වෙන්ට ඕනෑ. සමාධිය බලවත් වෙන්න පෙර සමාධියෙන් ප්‍රයෝජන ගන්ට උත්සාහ කළොත් සමාධියට හානි වෙන්ට පුළුවන්.

ඊළඟට සමථය දියුණු කරන කෙනෙක්. ඒ සමථය බලවත් වෙන්ට පෙර විදර්ශනාවට හරවන්ට ගියොත් සමාධියට හානි වෙනව. විදර්ශනාව කරන කෙනෙක් විදර්ශනාව බලවත් වෙන්ට පෙර සමථයට හරවන්ට ගියොත් සමාධියට හානි වෙනව. ඊළඟ දේ තමයි ඒ සමාධිය තුළ වෙන වෙන දේවල් සිතන්ට ගියොත් සමාධියට හානි වෙන්ට පුළුවන්. සමාධිය තුළ විතරක් නෙවෙයි. අප සාමාන්‍යයෙන් ඉඳිද්දී වුණත් එක එක දේ සිත සිතා ඉන්ට එපා. වැඩක් නැති දේ සිතන්ට එපා. අද්භූත දේවල් ගැන කල්පනා කරන්ට එපා. කුසල සිතක පමණක් සිත පවත්වන්ට කියවන්න ‘චින්තා සූත්‍රය’ සතිපට්ඨානය තුළ විතරක් සිිත පුරුදු කරන්ට කල්පනා කරන්න. එක එක දේවල් සිතන එක, සමාධියට හානි කරන, ඒ කියන්නෙ සිතේ එකඟතාවයට හානි කරන දෙයක්.

ඊළඟ කාරණය තමයි, සමථය පමණක් එක දිගටම වඩනවා නම්, ඒක සමාධියට හානි කරන කාරණාවක්. විදර්ශනාව පමණක් එක දිගටම වඩනවා නම්, ඒක සමාධියට හානි කරන කාරණාවක්. ඊළඟට ,ආශ්‍රව ක්‍ෂයවීම පිණිස උපදවා ගන්නා වූ සමාධිය එක දිගට වඩනවා නම්, ඒක සමාධියට හානි වෙන කාරණාවක්. ඒ නිසා ඒ සමාධීන් සමබර කරල වඩන්ට පුරුදු වෙන්ට ඕනෑ. දක්ෂ වෙන්ට ඕන. ඊළඟ එක තමයි, ඉන්ද්‍රිය ධර්ම සමකර වඩන්නෙ නැතිකම, ඒක සමාධියට හානියන් වෙන්ට පුළුවන්. ඒ නිසා අප ඉන්ද්‍රිය ධර්ම සම කරල වඩන්ට පුරුදු වෙන්ට ඕන. ඊළඟ එක තමයි, ඉන්ද්‍රිය අසංවරය සමාධියට බලවත් සේ හානි පමුණුවන දෙයක්. ඊළඟට ගෞරවය නැතිකම, සමාධිය කෙරෙහි ගෞරවය නැතිකම, ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිනම්, ඊළඟට යම් ගුරුවරයෙක් ඇසුරු කරගෙන හෝ වේවා, යම් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කරගෙන හෝ වේවා! ඉගෙන ගත්තා නම්, අන්න ඒ අය කෙරෙහි ගෞරවය නැතිනම් බණ භාවනාවට බලවත් හානි සිද්ධ වෙනව. කියන්න හත්ථි සාරිපුත්ත සූත්‍රය.’ඊළඟට විශේෂයෙන් හානි පමුණුවන්නා වූ ධර්මයන් කෙරෙහි අවධානය යොමු කරගෙන, ඒ ධර්මයන් හඳුනාගෙන ඒවා බැහැර කර ගන්ට දක්‍ෂ වෙන්න. මේ කරුණු සමහර විට එක පාරට ගෝචර නොවෙන්ට පුළුවන්. අවිෂය වෙන්ට පුළුවන්.

නමුත් අප කල්පනා කරනවා ඉදිරියේ දී කාටත් මේවයින් ප්‍රයෝජනයක් තියෙයි. ඒ වගේම යම් වීරියක් උපදවා ගැනීම පිණිසත් මේ කාරණා ඔබට උපකාර වෙයි. ඒ වගේම යම් සතුටක් ප්‍රබෝධයක් ඇතිකර ගැනීම පිණිස මේ කාරණා ඔබට උපකාර වෙයි. ඒ කාරණා අදට නෙවෙයි සමහර විට අනාගතයේ දී ඔබට මහත් සේ ප්‍රයෝජනයක් තියෙයි. ඒ නිසා අද ඉගෙන ගත් මේ කරුණු හොඳින් මතක තියාගෙන, බලවත් වූ සමාධි ඇති කර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගෙන, මේ කරුණු ගෞරවයෙන් යුක්තව ඇසුරු කරත්වා කියල අපි බලාපොරොත්තු වන්නෙමු.

මේවා අමතක වුණා කියල නැත්නම් තේරෙන්න නෑ කියල බලයක් ඇති කර ගන්ට එපා. අප ඉතාම කෙටියෙන් තමා ඒ කරුණු සඳහන් කළේ. විශේෂයෙන් ඒ ගැන බය ඇති කර ගන්ට එපා.

ගෞරවයක් උපදවා ගන්ට ඒ කාරණා සම්බන්ධයෙන් අපට අවස්ථාව තියෙනව කියන කාරණාව තේරුම් ගන්ට. එතකොට සතුටු සිතින් වාසය කරන්ට පුළුවන් වෙයි. ඒකෙන් අදහස් කරන්නෙ කලබල කර ගැනීම නෙවෙයි.

අහිංසක අය විදියට ගමන පටන් ගන්න කෙනාටත්, ගමන යන කෙනාටත් බලවත් තැනකට යන්ට පුළුවන්. අහිංසක නොවන කිසි කෙනෙකුට බලවත් තැනකට යන්න බෑ. එදත් ඒක බැරි වුණා අදත් බෑ, හෙටත් බෑ.

යම් කෙනෙක් අහිංසක නොවන්නෙ අකුසල් තුළින්. යම් කෙනෙක් අහිංසක වෙන්නෙ කුසල් තුළයි.අපේ සිත දැඩි වෙනව නම් ඒක කුසලයක් නෙවෙයි අකුසලයක්. ඒ නිසා අප කවුරුත් අහිංසක අය බවට පත් වුණොත් අපට පුළුවන් කමක් තියෙයි මේ ධර්මයන් හොඳින් පුරුදු කරගෙන සැබෑම බලවතුන් බවට පත්වෙන්ට.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.