Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කියවීමෙන් ලැබෙන්නෙ අප්‍රමාණ සුවයක්

ධර්ම දේශනාව මෙන්ම ධර්ම ශ්‍රවණ යද උතුම් මංගල කරුණක් ලෙසයි මහා මංගල සුත්‍රයේ දක්වා ඇත්තේ. ධර්ම ශ්‍රවණය පමණක් නොව බොහෝ දේ දැකීම ඇසීම කියවීම සම්පූර්ණ මිනිසකු බිහි කිරීම උදෙසා ඉවහල් වනවා.

ඇසීමට දැකීමට කියැවීමට අපට හොඳ ඤාණයක් තිබිය යුතුයි. බුදුදහමේ මූලික ලෙසින් ඤාණ මාර්ග තුනක් දක්වා තිබෙනවා. ඉන් පළමුවැන්න ශ්‍රැත ඤාණ මාර්ගයයි. දෙවැන්න තර්ක ඤාණ මාර්ගයයි. තුන්වැන්න ප්‍රත්‍යක්ෂ ඤාණ මාර්ගයයි.

ශ්‍රැත ඤාණ මාර්ගය යනුවෙන් හඳුන්වා ඇත්තේ කියවීමෙන් ඇසීමෙන් ලබාගන්නා දැනුමයි. තර්ක ඤාණ මාර්ගය යනුවෙන් දක්වා ඇත්තේ එසේ ලබාගන්නා දැනුම වර්ධනය කර ගැනීමයි.

එම මාර්ග දෙකම භාවිතා කරමින් භාවිතයට යොදා ගන්නා වැදගත්ම මාර්ගය වන්නේ ප්‍රත්‍යක්ෂ ඤාණ මාර්ගයයි. අතෙහි තිබෙන නෙල්ලිගෙඩිය ඕනෑම අතකට හරවා බලන්න අපට පුළුවන්. ඒ වගේම එය අනුභව කරන්න පුළුවන්. අනුභව කර රස කියන්න පුළුවන්. ඒ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම අප ඉතාම වැදගත් ඤාණ මාර්ගයක් ලෙස සලකනවා.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවද අපට ප්‍රධාන වශයෙන් තුනකට බෙදා දක්වන්නට පුළුවන් ඒ පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේද ශාසනය යනුවෙන්.

පර්යාප්ති ශාසනය ලෙසින් හඳුන්වන්නේ ත්‍රිපිටකය අධ්‍යයනය කිරීම කියවීම, ඉගැනීම ආදියයි. එය ක්‍රියාවට නැංවීම ප්‍රතිපත්ති ශාසනයයි.

එමඟින් ලැබෙන ප්‍රතිඵල ප්‍රතිවේද ශාසනයට අයත් වනවා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමි අරහත් යන්න ප්‍රතිවේද ශාසනයටයි අයත් වන්නේ.

බුදු දහමට අනුව පර්යාප්ති ශාසනය අධ්‍යයනයට ඉතාම වැදගත් වනවා. කියවීම, ඇසීම ආදියයි. මෙහිදී මූලික කරගෙන ඇත්තේ.

විශේෂයෙන් ඇසූ පිරූ තැන් ඇති බව සපථ කර ගැනීමට කියවීම ඇසීම අත්‍යවශ්‍ය වනවා. බහුශ්‍රැත යැයි කියන්නේ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තාටයි. මිනිසාගේ දියුණුවට ඇසූ පිරූ තැත් ඇති අයෙක් විය යුතුමයි. අපි සරල උදාහරණයක් ගෙන බලමු.

කොණ්ඩය ඇති තැනැත්තාට ඕනෑම අතකට එය ඇද තබා බැඳ ගන්නට පුළුවන්. එසේම කොණ්ඩය නැති කෙනාට එය එසේ පරිහරණය කරන්නට බැහැ. ඒ සඳහා කෘතීම දේ භාවිත කළ යුතු වෙනවා. වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දෙනවා සේම තම ශරීර අවයව සියල්ල සම්පූර්ණ කරගෙන සිටිනවා.

ඒ අයුරින්ම කියවීම නැති තැනැත්තා, ඇසීම නැති තැනැත්තා සොයා බලා අධ්‍යයනයක් නො කරන තැනැත්තා ඉතාම බරපතළ ලෙස සමාජයේ තනිවෙනවා. විශ්ව විද්‍යාලයක ශ්‍රවණය නැති සිසුන් සිටිනවාද? උපාධිධරයන් වීමට බලාපොරොත්තුව සිටිනවාද? සංඥා භාෂා මගින් උගෙන ගන්නා අය සරසවි වරම් ලබා ඇත්නම් ඒ නොගිනිය හැකි තරම් අතළොස්සක්. ආබාධිත ඇති අය කෙරෙහි අනුකම්පා කර ඔවුන්ට සහාය දැක්විය යුතුයි. එහෙත් අප තේරුම් ගත යුත්තේ ඇසීම, කියවීම මගින් පමණක් සම්පුර්ණ මිනිසකු වීමට හැකි බවයි.

බුදුදහමේ ආබාධිත කිසිදු අයකුට කිසිදු ස්ථානයක අඩු තක්සේරුවක් දක්වා නැහැ. එහෙත් සැබෑ සමාජ තත්ත්වය හා ඇසීම කියවීම නැති පුද්ගලයන්ගේ යථා තත්වය අප අවබෝධ කර ගත යුතුයි.

කියවීම නොමැති පුද්ගලයන්ට යා හැක්කේ සීමිත දුරක් පමණයි.

උසස් අධ්‍යාපනයක් ලබන්නට බැහැ. උසස් සමාජයේ පිළිගත් රැකියාවක් කරා යන්නට බැහැ. සුළු රැකියාවකට යොමුවී විවාහයක් සිදුකර ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සිදු වෙනවා.

මේ සාමාන්‍ය ජීවිතය ලෙස බුදු දහමේ දැක්වෙන අල්පේච්ඡ සරල ජීවිතය ලෙස අප වරදවා වටහා නොගත යුතුයි.

එසේ නම් පංචේන්ද්‍රියන් හොඳින් ක්‍රියාකරන අප ඇයි පොත පතකට අවධානය යොමු නොකරන්නෙ.

දැන් අලුත් තරුණ පරපුර අලුත් මතයක් ගෙන ඇවිත් තිබෙනවා. ‘අප කියවන්නේ පරිගණකයෙන් පරිගණකයෙන් හෝ දැනුම ලබා ගන්නට හැකි යමක් කෙරෙහි අවධානය යොමු කරනවානම් එයයි. වැදගත් වන්නේ. එසේ නොමැතිව ප්‍රදර්ශනාත්මකව පොත්පත් කියවීමක් අප අපේක්‍ෂා නොකළ යුතුයි. අප මාන්නයක් ඇතිකර නොගත යුතුයි.

බුදු දහමේ දැක්වෙන පරිදි අප ඕනෑම කාර්යයක් කළ යුත්තේ තමන්ටත් අනන්‍යන්ටත් එයින් වැඩක් වනවා නම් පමණයි.

නවීන උපකරණ භාවිතයෙන් හෝ අප දැනුම ලබා ගැනීමට කටයුතු කරනවාද?

ත්‍රිපිටකය, සාහිත්‍ය සොයන්නා මේ කිසිදු කටයුත්තකට අද පරිගණකය භාවිතා කරනවාද? අපේ තියෙන පොත්පත් ඉවත් කර පරිගණකයෙන් ඒ සියලුම කටයුතු කර ගත හැකිද? පරිගණකය පැමිණි නිසා කෘති පළ කිරීම ලෝකයේ නතර වී තිබෙනවාද? පරිගණකය නිසා කුමන ප්‍රකාශන ආයතනයද වැසීගොස් ඇත්තේ.

ලෝකය තුළ දිනපතාම පොත්පත් එළි දැක්වීම පොත් සාප්පු බිහිවිම වැඩි වනවා විනා අඩුවීමක් සිදුවන්නේ නැහැ.

මුළාව මෝහය නිසා අද ඇතැමුන් සිතන්නේ සියල්ල පරිගණකය හා සම්බන්ධව කර ගත හැකි බවයි. ඒ සඳහා සී.ඩී තැටියක් දත්ත ගබඩා කර ගෙන යා හැකි පෑනක් (Pen Drive) තිබුණහොත් පොතක් පරිශීලනයෙන් ලැබෙන සියල්ල ලැබෙන බවයි. පොතක තියෙන කරුණු පරිගණක තිරයෙන් බලා ගැනීමට හැකිවේවි. එහෙත් පොතක් පරිශීලනයේදී මනසට දැනෙන සුවය, පොතක තියෙන සිනිඳු ස්වභාවය සුවඳ පොතක් දෑතක තිබෙනු දකින අනෙක් මිනිසාගේ සිතට නැගෙන යහපත් සිතිවිලි අනෙක් ජනතාව දරුවා රැක බලා ඇති කර ගන්නා සමාජ මිනුම් දණ්ඩ. මේ සම්බන්ධව අප සිතා බැලිය යුතුයි.

සමාජයේ අන් අයගේ ප්‍රසාදය දිනාගෙන ජීවත් වීමේ වැදගත්කම බුද්ධ දේශනාවේ පැහැදිලිව දක්වා තිබෙනවා.

කීර්තිය, ප්‍රශංසා, යසස් මේ ගෞරවයන් අපට ලබාගන්නට නම් කියවීමෙන් පරිපූර්ණ විය යුතුයි. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’.

මෙය අපට නුහුරු කියමනක් නොවේ.

අප පාසලක ලබාදෙන විෂය කරුණූ පමණක් කියවීම ජීවත් වීමට ප්‍රමාණවත් නැහැ. සමාජයේ අන් අයගේ ප්‍රසාදය ලබා ජීවත් වීමට කියවීම අත්‍යවශ්‍ය වනවා. ඒ නිසා දරු දැරියන් නිරතුරුව තම මිතුරා බවට පොතක් පත්කර ගැනීම වැදගත් වනවා.

පරිගණක තිරයෙන් යමක් බැලීමේදී මනස, දෑස කය මේ සියල්ල වෙහෙසට පත් වෙනවා. තමන්ට පහසු ඉරියව්වකින් ඉන්නට බැහැ.

පොතක් කියවීමේදී මනසට ඇසට කෙතරම් විවේකයක් ලැබෙනවාද? ඒ මානසික සුවය නිරෝගී පුද්ගලයකු වීමට අපට මඟපාදනවා.

‘ආරෝග්‍ය පරමා ලාභා’ නිරෝගිකම උතුම්ම ලාභයයි. රූපවාහිනි ටෙලි නාට්‍යයක් මාස ගණන් අවුරුදු ගණන් කොටස් වශයෙන් නරඹනවා. මෙය මනසට විශාල හිසරදයක්. සතියකට වරක් විකාශනය වන මේ ටෙලිනාට්‍ය කොටස් වශයෙන් නැරඹීමෙන් අපගේ මතක ශක්තිය පවා නැතිව යනවා. අප කුඩා කළ කියවු මඩොල්දූව අඹ යහළුවෝ කතාව අපට තවම මතකයි නේද? එහෙත් ටෙලි නාට්‍යයක මොකද වුණේ මොනවද වෙන්නෙ අපට මතක නැහැ.

මේ නිසා අප නිරතුරුවම අලුත් කෘතියක් දෙස ඇස ඇර බැලීමට පුරුදු විය යුතුයි. විශේෂයෙන්ම තරුණ පරපුරට මානුෂීය ගුණාංග කරා යොමු විය හැක්කේ කියවීමෙන් පරිපුර්ණ වුවහොත් පමණයි.

මුඛ පරම්පරාගතව බුදුදහම පවා දීර්ඝ කාලයක් රැගෙන ආ නිසයි අපගේ ගුණධර්ම මෙතරම් හෝ ආරක්‍ෂා වී ඇත්තෙ.

විශේෂයෙන්ම පොතක් බලන අයකු තුළ ඇති සංයමය දෙස නෙත් ඇර බලන්න. එතැනින් නොනැවති ඔබත් ටපාතක් බලා දැනුම වඩවා ගන්න. ගුණ දහමින් පිරි අයකු විය හැක්කේ එවිටයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.