Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මරුන් පවා පැරදවිය හැකි නොසැලෙන අධිෂ්ඨානය
 

බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පසුවන  පුරුෂයෙක් වූයේද මාරයාගේ උත්සාහය එය ව්‍යර්ථ කර දැමීමය. කෙබඳු උත්සාහයක් දැරුවද මාරයා ශීලවන්තයා ඉදිරියේ හැම කල්හිම පරාජය විය

පින් කරන අයට මාරයා නොකැමතිය. පව් රැස්කරමින් සත්වයා අපායගාමී වනු දකින මරයා ඊට බෙහෙවින් සතුටු ය. පින් කරන්නෝ සුගතිගාමි වන බැවින් අපායේ නො වැටෙත්. මාරයා ඊට නො කැමැත්තේය. පින් කැමති සත්පුරුෂයාට දුක් කරදර රෝග පීඩා ඇති කරමින් පින් කිරීමට බාධා කිරීම මාරයාගේ ස්වභාවයයි.

ලෝක සත්ත්වයා සසර දුකින් මුදවනු පිණිස බෝසතාණන් වහන්සේ ගත් උත්සාහයක් විනාශ කර දැමීමට මාරයා නිරන්තරවම උන්වහන්සේ පසුපස ගමන් කළේය.

“බෝසත්තුමනි, දුක් අනුභව කෙරෙමින් බුද්ධත්වය පතා කුමට නම් වීර්යය වඩන්නෙහිද? එය අතහැර අතට පත් චක්‍රවර්ති රාජ්‍යය ගෙන් අනේකවිධ සැප අනුභව කරනු මැනව” යි මාරයා මහ බෝධිසත්වයන් වහන්සේ අධෛර්යයට පත් කිරීමට උපක්‍රම යෙදුවේය. බුද්ධත්වය ලබා සත්ත්වයා නිවන් මගට යොමු කිරීමෙන් අපාය හිස්වනු දැකීමට මාරයා නො කැමතිවිය.

බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පසුවන යම් සත්පුරුෂයෙක් වූයේද මාරයාගේ උත්සාහය එය ව්‍යර්ථ කර දැමීමය. කෙබඳු උත්සාහයක් දැරුවද මාරයා ශීලවන්තයා ඉදිරියේ හැම කල්හිම පරාජය විය.

අතීතයේ විසූ එක්තරා සිල්වත් ගුණවත් මහතෙරුන් වහන්සේ නමක් තම අසපුව දිනපතා ඇමද එය පිරිසුදුව ක්‍රමවත්ව අලංකාර ලෙස පවත්වාගෙන ආහ. බුද්ධෝපස්ථානයෙහි මහත්වූ ශ්‍රද්ධාවෙන් දිනපතා ත්‍රිවිධ බෝධිය වන්දනා කෙරෙමින් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් කල් ගෙවූහ. දාන කතා ශීල කතාදියෙන් විහාරයට පැමිණෙන සැදැහැවතුන් තුටු පහටු කළහ. අවකාශ ලද සියලු විටෙකම උන්වහන්සේ භාවනාවේ යෙදුණාහ.

දිනපතා උදෑසන චෛත්‍ය මළුව ඇමද පිරිසුදු කොට සතුටට පැමිණ බුද්ධාලම්බන පී‍්‍රතියෙන් තෙරුන් වහන්සේ පසුවනු දිනක් මාරයා දුටුවේය. එයින් මාරයා විස්සෝපයට පත් වී “අනුමානයක් නැත.මෙම තෙරුන් මාර්ග ඵල ලබන්නට උත්සාහ ගන්නා කෙනෙක. විහාරයට යන එන්නන්ට ධර්මය කියා දී ඔවුන් ධර්මයෙහි පිහිටුවා සුගතිගාමි කොටැ නිවනට යවන්නාහ. එවිට අපාය හිස්වනු ඇත. එහෙයින් මාගේ පරමාර්ථය ඉටු නොවී මා පරාජයට පත්වන්නේය. “ මෙසේ සිතූ මාරයා උන්වහන්සේගේ සිල් බිඳ අසපුවෙන් පලවා හරින්නෙමැයි සිතා මහ තෙරුන් වහන්සේ උදහසට ලක් කොට සිත් රිදවනු පිණිස කිසියම් උපාය මාර්ගයක් කල්පනා කළේය.

උදෑසන චෛත්‍ය මළුව ඇමද පිරිසුදු කොට ඉතා අලංකාරව තබන මහ තෙරුන් වහන්සේ තුළ මහත් ශ්‍රද්ධාවක් උපදින්නේය. දිනපතා කරන මෙම සත් ක්‍රියාවෙන් ඇතිවූ සතුට උන්වහන්සේ තුළ බුද්ධාලම්බන පී‍්‍රතිය ඇති කිරීමට හේතු විය. ඊට බාධා පැමිණවීමට සිතු මාරයා, එක් උදෑසනක චෛත්‍ය මළුව ඇමැද විසිතුරුව තැබූ මහ තෙරුන් වහන්සේ එයින් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පසුවනු දැක ඒ ගැන කිපී වහාම ආවේශ විය.

දැකීමට අපි‍්‍රය වූ අශෝභන පෙනුමක් ඇති හැඩි දැඩි වඳුරෙකුගේ වේශයක් ගත් මාරයා චෛත්‍යයට ඉහළින් ඇති ගසෙක සිට මහා ඝෝෂාවක් කරගෙන චෛත්‍ය මළුවේ බිමට පැන ගත්තේය. එසේ පැන අසංවරව බියජනක රළු හඬක් නංවමින් ඒ මේ අත දුවන්නට වූයේය.

රමණීය සෑ මළුව බිම දෑතින් හාරමින් වැලි පස් ඒ මේ අත වීසි කළේය. ගස් මත දුව පනිමින් අතු රිකිලි කඩා මළුවේ තැනින් තැන බිම හෙළුවේය. වැලි මළුවේ තැන් තැන්වල පහරමින් අපවිත්‍ර කළේය. බිම පහුරු ගාමින් තෙරුන් වහන්සේට අනතුරක් කරන අටියෙන් උන්වහන්සේ අභිමුවට කඩා පැන්නේය. වෙස්වලාගත් වඳුරාගේ නොසන්සුන් හැසිරීමෙන් තෙරුණුවෝ ත්‍රාසයටත් කෝපයටත් පත්ව උන්වහන්සේගේ ශීලය බිඳී යනු ඇතැයි මාරයා සිතුවේය.එබඳු කිසිවක් නොසිදු වූ තැන වඳුරා ඒ අසල කැලෑවට පැන ගියේය.

වඳුරාගේ මූඪ ක්‍රියාවෙන් තෙරුන් වහන්සේ තුළ කෝපයක් හට නොගත්තේය. ඉතා ඉවසිලිවන්තව පෙර පරිද්දෙන් මැ වැලි මළුව ඇමද පිරිසුදු කළේය.උපේක්‍ෂාශීලිවැ ආරාමයට ගොස් බුද්ධාලම්බන පී‍්‍රතියෙන්ම පසු වූහ.

මෙලෙස කීප වතාවක්ම වැලි මළුවට පැමිණි වඳුරා පෙර පරිද්දෙන් මැ පොළොව හාරා වැලිපස් ඒ මේ අත විසි කරමින් ගස්වල අතු රිකිලි කඩා බිම දමමින් චෛත්‍ය මළුව අපිරිසුදු කරගෙන ගියේය. ඒ සෑම අවස්ථාවක දී මැ වඳුරා ගැන තරහක්, කෝපයක් ඇති කර නොගත් තෙරණුවෝ නිහතමානීවැ උපේක්‍ෂා සහගත වැ යළි යළිත් චෛත්‍ය මළුව ඇමද පිරිසුදු කළහ. එසේ කළ උන්වහන්සේ බුද්ධාලම්බන පී‍්‍රතියෙන් ම කල් ගෙවූහ.

මාරයා තම වෑයම එයින් නතර කළේ නැත. පෙරටත් වඩා බුදු බැතියෙන් කල් යවන මහ තෙරණුවෝ දුටු මාරයා උන්වහන්සේ කෙරෙහි ඇති කරගත් කෝපයෙන් දැවෙමින් පසුවිය.

දිනක් චෛත්‍ය මළුව ඇමද පිරිසුදු කොටැ විහාරයට ගිය තෙරුන් වහන්සේ බුද්ධ වන්දනාව නිමවා සෙත් පිරිත් සජ්ක්‍ධානය කෙරෙමින් සක්මනෙහි යෙදුණේය. ඒ අතර හැඩි දැඩි මහලු කොර මිනිසෙකු තෙරුන් වහන්සේ වැඩ හුන් තැනට තරමක් දුරින් සිට රිටක් ගෙනැ බිම හාරමින් සිටිනු උන්වහන්සේ දුටුවේය. හෙතෙමෙ කවරෙක්දැයි සැක හැර දැන ගනු පිණිස ඔහු ඉදිරියට ගියද එම මහලු කොර මිනිසා තෙරුන් වහන්සේ ගැන කිසිදු තැකීමක් නොකර ඔහු කරමින් සිටි වැඩෙහිම යෙදී සිටියේය.

“බියකරු පෙනුමැති මොහු ම විසින් මීට පෙරැ දැක නැත. අවසරයක් නොමැතිවැ කිසිවෙකුටත් වැලි මළුවට පිවිසිය නොහැකිය. පැමිණෙන යමෙක් ඇත්නම් ඒ සඳහා අවසර ගත යුතුය. මා හැර වෙනත් කිසිවෙකු විහාරස්ථානයේ වාසයක් නැත. හුදකලාවේ පසුවන මගේ අවසරයකින් තොර වැ පැමිණ ඇති මොහු මනුෂ්‍යයෙකු නම් විය නොහැකිය” යි තෙරුන් වහන්සේ තුළ සැකයක් පහළ විය. විකාර රූපී මහලු කොර පුරුෂයා සමීපයට ගිය තෙරුන් වහන්සේ,

“එම්බල කොර පුරුෂය, පෙරැ කරනා ලද පවින් තොප විරූපී කොරෙකු බවට පත් වැ සිටී. එබඳු අවාසනාවන්තයකු වන තොපට මෙම චෛත්‍ය මළුව පවිත්‍රව අලංකාරව පවත්වාගෙන යාම ගැන ඊර්ෂ්‍යාවක් සිතෙන්නේ ද? නොඑසේ නම් මෙහි තැනින් තැන බිම හාරා විකාර කර අපිරිසුදු කෙරෙත්ද? එයින් තා බලාපොරොත්තු වන්නේ කුමක්ද?”

අවාසනාවන්ත පුරුෂය හේතුව මම දනිමි. මා උදහසට පත්කොටැ තොප කෙරෙහි කෝප වැ වෛරයක් ඇති කොටැ මගේ සිල් බිඳවීමටය. මීට පෙරැ තොප වඳුරකුගේ වෙසින් කිහිප අවස්ථාවක්ම මෙහි පැමිණ සෑ මළුව අපවිත්‍ර කොටැ නොයෙක් තැන පහරා විනාශයට යැවුවේය. අද මෙහි පැමිණි තොප මනුෂ්‍යයෙකු නම් නොවන්නේය.

එම්බල විරූපී මහලු කොර පුරුෂය, කියව තා මාරයා නොවේදැ”යි තෙරුන් වහන්සේ විචාල ආකාරයට අනුව ඇත්ත නොකියා මාරයාට සැඟවී සිටිය නොහැකි විය.

“එසේය ස්වාමීනි, මම මාරයා වෙමි” යි වෙස්වලා ගෙන සිටි මාරයා මහ තෙරුන් වහන්සේගේ මුහුණ දෙස බලමින් කියා සිටියේය. මාරයා, තමන් වහන්සේ වෙතැ අවනත කර ගැනීමට අදහස් කළ තෙරුන් වහන්සේ, “ මාරය, තා බුදුරජාණන් වහන්සේ පැරදවීමට පැමිණ එයින් තොපම පරදවා පලා ගියාහු නොවේදැ”යි විචාළහ. “එසේය ස්වාමිනි”යි මාරයාගේ පිළිතුර විය.

“ මාරය, තොප සුළු කොට සැළකිය හැකි කෙනෙකැ යි මම නොකියමි. පරාජය කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ වැනි ලෝකෝත්තර උත්තමයන් වහන්සේ කෙනෙකු දැක ගැනීමට තරම් මහානුභාව සම්පන්න වූ තොපට උන්වහන්සේ මැනවින් දැක පුරුදු මතකයක් ඇතැයි සිතමි. “ එසේය ස්වාමින් වහන්ස, මැනවින් දැක පුරුදු මතකයක් ඇති බව කියමි.”

“ මාරය, එසේ නම් එම සම්බුදු රුව ඒ ආකාරයෙන්ම මා ඉදිරියේ මවා පෙන්විය හැකිද? “

“පින්වත් ස්වාමීනි, රාග සිත් සහිත කෙලෙස් ඇති මා වැන්නෙකු වීතරාගී නිකෙලෙස් වූ එම සම්මා සම්බුදු රුව කෙසේ නම් මවා පෙන්වන්නෙම්ද?

මොහොතක් නිහඬව සිටි මාරයා “ස්වාමීනි, එක් අදහසක් කියමි. මහා ;ම්රු පර්වතය කැටපතක් සේ ගෙනැ ඒ තුළින් සම්බුදු රුව දකින්නට සැලැස්විය හැකියි. “ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් ගෙන් සමන්විත එම ආශ්චර්යමත් සම්බුදු රුව එම කැටපතින් දුටු මහතෙරුන් වහන්සේ.

“කෙලෙස් බර සරාගී මාරයා විසින් කැටපතින් මවා පෙන්වූ” ශ්‍රී සම්බුද්ධ ශරීරය මෙතරම් ශෝභාමත්ව බබළන්නේ නම් වීතරාගි නිකෙලෙස් ජීවමාන සම්මා සම්බුද්ධ කාය කෙලෙස බබළන්නේදැ”යි තවදුරටත් බුද්ධාලම්බන පී‍්‍රතිය උපදවා ගත්හ. මහ තෙරුන් වහන්සේ එහිදීම විදසුන් වඩා රහත් භාවයට පත්වූ සේක. උන්වහන්සේ රහත් වූ බව දැනගත් මාරයා තමන් මහ තෙරුන් වහන්සේට හසු වූහ යි එයින් මැ ලජ්ජාවට පත්වැ පරාජිතවැ කෝපයෙන් ගැහෙමින් එතැනින් පිටවැ ගියේය .

නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතු වැ බුදු ගුණ සිහිකරන පුද්ගලයෙකුට වුව ද මාරයා පරාජය කළ හැකි බව මෙයින් පැහැදිලිව පෙනෙන්නේය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.