Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවසින් එළියට බසින විට හූනෙක් ශබ්ද කළහොත් අප කරන්නේ කුමක්ද? ‘අපෝ බාධයි’ ගමන නතර වෙනව. අප යන්නේ විභාගයකට නම්....ඒ ගමන නතර කළ හැකි ද? බුදු දහමේ කොතැනකවත් මෙවන් මිථ්‍යා විශ්වාස අනුදැන වදාරා නැහැ. හූනෙක් ශබ්ද කරල ඒක නොසලකා ගිය ගමන් කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද? ප්‍රතිජානන අවස්ථා හා ප්‍රතිශෝධන අවස්ථා යන දෙවර්ගය අප හොඳින් තේරුම් ගත යුතු යි
 

අප හොඳ බෞද්ධයො
අපි හොඳ බෞද්ධයො
කොහොමද බෞද්ධ වෙන්නෙ
අම්ම, තාත්තා දෙන්නම බුද්ධාගමේ
අප බොහෝ දෙනා බෞද්ධයො වෙලා තියෙන්නෙ එහෙමයි. ඇත්තටම අප සැබෑ බෞද්ධයොද? බෞද්ධයෙක් යැයි සිතු පමණින්, බෞද්ධයන් යැයි උප්පැන්න සහතිකයේ ලියැවුණු පමණින් අපට බෞද්ධයකු විය හැකි ද?

පන්සල් ගිය පමණින් එසේත් නැත්නම් පෝයට සිල් සමාදන් වී හෝ උදේ සවස බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පිදීමෙන් හෝ බෞද්ධයෙකු වීමට අපට හැකියාවක් නැහැ.

බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ වදාළේද පරම්පරාවෙන් පැවත එන නිසා හෝ න්‍යායට ගැලපෙන නිසා හෝ ආචාර්යවරුන් පැවසූ නිසා හෝ පිළිනොගන්නා ලෙසත් තමා මැනවින් සිතා බලා පිළිගත යුතු බවත් ය.

අප බෞද්ධයන් නම් දහමට අනුව දිවි ගෙවන්නේ නම් අපගේ බුද්ධියට අනුව දහමට අනුව සිතා බලා කටයුතු කළ යුතුය. බොහෝ අය අපේ සිරිත් විරිත්, එහෙමත් නැත්නම් ‘එදා ඉඳල පැවතීගෙන එන දේවල්නෙ’ මේක ලංකාවේ සංස්කෘතියනෙ කියල මිථ්‍යා විශ්වාසවල එල්ලිලා ඉන්නවා. අප සැබෑ බෞද්ධයන් නම් සැම විටම බුදුදහමට අනුව සිතා බැලීමට පුරුදු විය යුතුයි.

නිවසින් එළියට බසින විට හූනෙක් ශබ්ද කළහොත් අප කරන්නේ කුමක්ද? ‘අපෝ බාධයි’ ගමන නතර වෙනව.

අප යන්නේ විභාගයකට නම්....ඒ ගමන නතර කළ හැකිද? බුදු දහමේ කොතැනකවත් මෙවන් මිථ්‍යා විශ්වාස අනුදැන වදාරා නැහැ. හූනෙක් ශබ්ද කරල ඒක නොසලකා ගිය ගමන් කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද?

ප්‍රතිජානන අවස්ථා හා ප්‍රතිශෝධන අවස්ථා යන දෙවර්ගය අප හොඳින් තේරුම් ගත යුතුයි.

ප්‍රතිජානන යනුවෙන් අප හඳුන්වන්නේ අප බලාපොරොත්තු වූ කාර්යය සාර්ථක නොවුණු අවස්ථාවන්. ප්‍රතිශෝධන අවස්ථාවන් ලෙස හඳුන්වන්නේ බලාපොරොත්තු සාර්ථක වූ අවස්ථාවන්. ඇයි අප ප්‍රතිශෝධන අවස්ථා ගැන සොයා නොබලන්නේ. හූනෙකුට පුළුවන්ද අපගේ ජීවිතය පිළිබඳ තීරණ ලබා දෙන්න. ඒ ඒ සතුන්ගේ අවශ්‍යතා මත ශබ්ද කරාවි. සුනඛයෙක් කන් පට ගැසුවත් එය අසුබ ලෙසින් සැලකීමටත් සමහරු පුරුදු වෙලා.

මේ මිථ්‍යා දෘෂ්ටින්ගෙන් ඈත් නොවුණූ හොත් අපට යහපත් අනාගතයක් ගොඩ නගා ගත නොහැකියි.

පන්සලකට ගිහින් අප බලාපොරොත්තු වන්නේ මොනවාද? සීලය නැත්නම් හික්මීම ඒ වගේම ශ්‍රද්ධාව වැඩිදියුණු කර ගැනීම තෘෂ්ණාවෙන් වෙන්වීම, ඒත් අප අත්හැරියා යන සිතින් යුත් නොසලකා හරින ලද දේ ගැනත් අප පසු පස එලවා යනවා.

මල් පූජා කර ඉවත්ව ගිය පසු කවුරුත් හෝ එම මල් වෙනත් ස්ථානයකට ගෙන ගොස් පූජා කළහොත් බොහෝ දෙනාට කෝප සිතිවිලි හටගනී.

’මම පූජා කරපු මල් ටික, මම වැඳලා, ඉවරත් නැහැ. එය ඇතැම්විට කලහයක් දක්වා දුර දිග යාමටද, පුළුවන. එය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ පසු අපට අයිතියක් නැහැ. මෙහිදී අප දෙආකාරයකින් වැරැදි මඟක ගමන්කර ඇති බව සිත්හි තබා ගත යුතුයි.

ඉන් පළමුවැන්න අප විසින් අත්හැර දමන ලද දෙයක් පිළිබඳව යළිත් සොයා බැලීමයි.

දෙවැන්න තමන් විසින් එය පූජා කළ පසු තමන්ට අයිතියක් නැති නිසා ඒ ගැන යළි (තමන්ට අයිති නොවන දෙයක්) සොයා බැලීමය.

තමන් පූජා කළ මල් හෝ වෙනත් ඕනෑම දෙයක් අනෙක් අයට අවස්ථාව ලබාදීම පිණිස ඉවත් කිරීමට කවුරුත් හෝ කටයුතු කළ විට පවා අප ඒ ගැන සොයා නොබැලිය යුතුය. දානයක් පිරිනැමීමෙන් පසුව වුවද අප කටයුතු කළ යුත්තේ එලෙසයි. අප යමක් දෙන්නේ ඒ පිළිබඳ ආශාව අත්හැරීමෙන් පසුවයි. අප යළින් ඒ ගැන සොයා බැලීමෙන් වන්නේ තෘෂ්ණාව යළි උපදවා ගැනීමයි. සියල්ලටම මුල්වන්නේ අපේ සිතය. ‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි ‘ චේතනාවම කර්මය බවට පත්වෙන බවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වී ඇත්තේය.

අටපිරිකර ඇතුළු පිරිකර පූජා කිරීමේදිත් අප මැනවින් ධර්මයට අනුව සිතා බැලිය යුත්තේ එහෙයිනි. ඇතැම් පිරිස් සිතා සිටින්නේ දානමය පින්කමකදී අටපිරිකරක් පූජා කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේත් නැත්නම් දානය සාංඝික නොවන බවයි. දානයක් සාංඝිකවීමට කිසිදු පිරිකරක් අවශ්‍ය නැහැ. එහෙත් දානයට අටපිරිකර පූජා නොකළ යුතු යැයි මින් අදහස් කරන්නේ නෑ.

අටපිරිකර පූජාව අටමහ කුසල් අතර දැක්වෙන උසස් පූජාවක්.

තමන් පැහැදිලි සිතින් ධාර්මිකව උපයා ගත් දානය උපසම්පදා භික්‍ෂූන් වහන්සේ සිවුනමක් උදෙසා පූජා කළේ නම් එය සාංඝික දානයක් වනවා. බෞද්ධයන් වන අප සමාජයේ විවෘතව කතා නොකළත් මාධ්‍යයෙන් පවා කතා නොකළත් අපි යථාර්ථය ඒ සැටියෙන් දැකිය යුතු වෙනවා.

අට පිරිකරෙහි අඩංගු වන්නේ භික්‍ෂූන් වහන්සේගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන පාත්තරය, සිවුරු, අඳන ආදියයි. අද බොහෝ විට පාත්තරය භාවිතා වන්නේ නැහැ. අටපිරිකරේ ඇති බොහෝ දේ අතීතයේ මෙන් භික්‍ෂූන් වහන්සේ පරිහරණයට ගන්නේ නැහැ. උදාහරණයක් ලෙස දැලි පිහියෙන් රැවුල කොණ්ඩය කැපීම අද දක්නට අසීරුයි. මේ නිසා අටපිරිකර පූජාව උසස් පින්කමක් වුණත් වාණිජ රැල්ලත් සමඟ අටපිරිකරේ ප්‍රමිතිය බාලවී තිබෙනවා.ඇතැම් විට ඇලුමිනියම් මුට්ටි කපා පාත්තරය සේ සකස් කර තිබෙනවා.

ඒ වගේම ඇතැම් අය භික්‍ෂූන් වහන්සේගෙන් විමසා අවශ්‍ය පිරිකර පූජා කිරිමේ සිරිතක්ද තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම ස්ථානයකදී දේශනා කර නැහැ ගිහියන්ගෙන් කිසිදු පිරිකරක් ඉල්ලා ලබා ගැනීම සුදුසුයි කියා. එහෙත් ගිහියන්ට භික්ෂූන් වහන්සේට අවශ්‍ය දේ සොයා බලා පූජා කිරීම වරදක් නොවෙයි.

උදාහරණයක් ලෙස පූජා භාණ්ඩ වෙළඳ සැලකින් වටාපොතක්, පාත්තරයක් ඉහළ මිලකට මිලදී ගෙන පූජා කරනවාට වඩා පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුවකට අවශ්‍ය පොතක් ලබාදීමෙන්, විශාල අනුග්‍රහයක් භික්ෂුවට ලැබෙනවා. එපමණක් නොවෙයි ඒ පොත කියවනවා දුටුවහොත් තමන්ට දැනෙන සතුට, ඒ ආකාරයට භික්ෂූන්ට අවශ්‍ය දේ සොයා බලා පිරිකර ලබාදීමෙන්, පැවිදි ගිහි සබඳතා තහවුරු වෙනවා. එමඟින් හොඳ සමාජ සේවා ජාලයක් ඇති කිරීමටත් පුළුවන්.

සියල්ලටම මුල්වන්නේ තමන්ගේ හිත බව ඉහත අප දන්වා සිටියා. පිරිසුදු සිතින් ධාර්මිකව උපයා ගත් ධනයෙන් පුදනු ලබන සුළු දෙය වුවත් මහානිසංස ලබා ගැනීමට හේතු වනවා. මේ ආකාරයට සිත මුල් කර ගන්නවා යැයි සිතා ඇතැම් අය තමන්ගේම සිත රවටා ගන්නා අවස්ථාත් තිබෙනවා.

දානය පිළියෙල කර නිවසේ මෙහෙකරුවා අත නැත්නම් වාහනයේ රියැදුරා අත විහාරස්ථානයට යවන අවස්ථාත් අද දක්නට තිබෙනවා. ‘අපට වේලාවක් නැහැ, කොහොම හරි දානෙ ටික යැව්වනෙ’ එය ඇතැමුන්ගේ මතයයි. මෙය ඔබ ඔබගේම සිත රවටා ගැනීමක් නොවේද? හදිසි විපත්තියක්, කරදරයක් නොවුවානම් වෙලාවක් නැතැයි කීම තමන් විසින් තමන්ව රවටා ගැනීමකි.

මෙය ඇත්තෙන්ම දීම හෙවත් දානය ගැන නොදැනීමත් මුළාවත් අතර අතරමං වු ස්වභාවයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්.

’ සක්කච්ඡං දානං දේති’
(හොඳින් සකස් කර දානය දිය යුතුයි)

‘සාහත්තේන දානං දේති ‘
(තමන්ගේ අතින්ම පිළියෙල කර දානය දිය යුතුයි)

දානය දෙන්න පුළුවන් වෙන කොහෙන් හරි ගෙනැල්ල. අද කාලෙ හැටියට ඛ්යනවනං හොඳ ‘කේටරිං සර්විස්’ එකකින් ගෙනැල්ල දෙන්න පුළුවන්. ලොකු වියදමක් දරල දානය දෙනව. නමුත් දානය දීමේ නියම ක්‍රමය දන්නවානම් එහි ආනිසංස වැඩිවන අකාරය දන්නවානම් දානය දෙන පුද්ගලයන් බුදු දහමේ හඳුන්වා ඇති ආකාරය දන්නවානම් ඒ ආකාරයට දානය පූජා කරන්නේ නැහැ. බුදු දහමේ දානය පිරිනමන පුද්ගලයන් තිදෙනෙකු දක්වා තිබෙනවා. පළමුවැන්නා දාන දාස, දෙවැන්නා දාන සහාය, තුන්වැන්නා දානපතියා.

දාන දාස කියා හඳුන්වන්නේ තමන් අනුභව කරනවාට වඩා අඩු මට්ටමකින් දානය පිරිනමන තැනැත්තා.

දාන සහාය ලෙසින් හඳුන්වන්නේ තමන් අනුභව කරන පුමාණයටම දන් දෙන්නා. දානපතියා ලෙස හඳුන්වන්නේ තමන් අතින් සකස් කරල තමන් අනුභව කරන ප්‍රමාණයටත් වැඩියෙන් තමන් විසින්ම පූජා කරන තැනැත්තාටයි.

ලක්‍ෂ ගාණක් වියදම් කරල කේටරිං සර්විස් එකකින් දානය ඇණවුම් කරල රියදුරාගේ නැත්නම් මෙහෙකරුවාගේ අතේ එම දානය පන්සලට යැවීමෙන් දානපතියෙක් වෙන්න පුළුවන්ද බැරිද කියලා මේ අනුව අපට සිතාගන්න පුළුවන්.

තමන් ආහාරයට ගන්නේ පොල් සම්බෝලයි බතුයි නම් ඊට තව එක ව්‍යාංජනයක් එකතු කරල තමන් පිළියෙල කළ දානය තමන් විසින් පූජා කරනවානම් එයයි නියම දානපතියා.

කාර්යාලයකදී නම් තමන්ට පුළුවන් ආකාරයට දානය පිරිනැමීම උතුම් පින්කමක් බවත් සිහියට ගත යුතුයි.

අපේ සමාජයේ මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් බහුල නිසයි මිල මුදල් තියෙන අය දානපතියන් ලෙස වැරැදියට හඳුන්වන්නේ.දානයක් ලබාදීමේදි දානපතියන්ටයි වැඩිම ආනිසංස හිමිවන්නේ. අනෙක් තැනැත්තා ලබා දුන්නාට වඩා වැඩි ප්‍රමාණයක් නැත්නම් අනෙක් තැනැත්තා නිවසට වැඩම කරවන ලද භික්‍ෂූන්ට වඩා එක් නමක් හෝ වැඩියෙන් වැඩම කරවීම වැනි දෙයින් සිදුවන්නේ තම සිත මානයෙන් වැඩීම පමණයි. අහංකාරය, මුලාව වැනි දේ සිතෙහි හට ගැනීම නිසා දානයෙන් නියම ආනිසංස ලබා ගැනීමට පවා නොහැකිවීමට පුළුවන්.

බෞද්ධයන් යැයි ලොවට හඬ ගා කියූවත් බෞද්ධ ප්‍රතිපත්ති අප තුළ නැත්නම් අප අන්‍යාගමිකයන්ගේ හාස්‍යයට ලක්වීම නොවැළැක්විය හැකියි.

සම්බුද්ධත්ව ජයන්තිය සමරනු ලබන මේ වකවානුවේ හෝ තම මිථ්‍යාදෘෂ්ඨීන් අතහැර නියම බෞද්ධයකු ලෙස කටයුතු කිරීමට අප සැම සිතා ගතහොත් සම්බුද්ධත්ව ජයන්තියේ නියම ප්‍රතිඵල අපට ලබාගත හැකිවනු ඇත.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.