සරු දෙය නිසරු දෙය
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
අපේ සමාජයේ තරුණ පරපුරත් වැඩිහිටි පරපුරත් අතරේ
කිසියම් ගැටළුවක් පවතින බව පෙනෙනවා.
ඊට හේතුව තමයි වැඩිහිටියන්ට ජීවන අත්දැකීම් වැඩියි.
තරුණ පිරිසට එබඳු අත්දැකීම් අඩුයි.
මෙවැනි මතවාදීමය ගැටලු අවබෝධය සහ
අනවබෝධය අතර ඇතිවන ගැටලු
පුද්ගල ගැටුම් බවට පත් නො කර ගත යුතුයි.
සමාජයේ ජීවත්වන පුද්ගලයා තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමේදී කරනු ලබන
මූලික අවශ්‍යතා (කෑම බීම්, ඇඳුම් පැළදුම්, බේත්හේත්, ඉදුම් හිටුම්) වලට
අමතරව මිනිසාගේ බුද්ධියේ වර්ධනයක් තිබිය යුතුය. බුද්ධිමත් බවින් තොරව
අවුරුදු සියයක් ජීවත් වනවාට වඩා බුද්ධිමත් ලෙස දවසක් ජීවත් වීම වඩාත්
වටින්නේය. පුද්ගලයෙකුගේ ජීවිතයේ වඩාත් වටින්නේ මූලික අවශ්‍යතා
ඉටුකරගැනීමය. වඩා බුද්ධිමත්ව සමාජයේ කටයුතු කිරීමයි. ලෝකය පටන්ගන්නා
දවසේ පටන් මේ දක්වාම මිනිස්සු අතර පවතින ගැටළුවක් නම් බුද්ධිමත්කම සහ
මෝඩකම අතර තිබෙන ගැටළුව.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාව සහිත පුද්ගලයාට හරිදේ හරිදෙය
ලෙසත් වැරැදි දෙය වැරදි දෙය ලෙසත් තෝරා බේරා ගැනීමේ හැකියාවක් තිබිය
යුතු බවයි. එබඳු විචක්‍ෂණශීලි පුද්ගලයාට ජීවිතය පහසුයි ලෙහෙසියි. සමාජ
ප්‍රශ්න අඩුයි. ජීවිතයට මුහුණදෙන ආකාරය පැහැදිලියි. එබඳු පුද්ගලයාගේ
සංසාරයත් කෙටියි. සංසාරය කෙටි කරන මාර්ගය නිවැරැදිව තෝරා බේරාගැනීමේ
හැකියාව ඔවුන් තුළ පවතී.
ධම්මපදයේ යමක වග්ගයේ එන පහත දැක්වෙන ගාථාව අප සමාජයට මතුකර දෙන්නේ හරි
වැරැද්ද නිවැරැදිව තෝරා ගැනීමට හැකි සහ නොහැකි මිනිසුන් අතර පවතින
ගැටළුවයි.
“අසාරෙ සාර මතිනො
සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධී ගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගොචරා “
නිසරු දෙය සරු දෙය ලෙස තෝරා ගන්නා සරු දෙය නිසරු ලෙස තෝරා ගන්නා වූ
වැරැදි අදහස් සහිත පුද්ගලයා කිසිම දවසක සරුදෙය නිවැරැදිව හදුනාගන්නට
නොදන්නේය. බුද්ධිමත් පුද්ගලයා වැඩ කටයුතු කරන්නේද, කටින් වචන කතා
කරන්නේද, සිතින් සිතිවිලි සිතන්නේද ඉහත සඳහන් ආකාරයට නොවේ. ඔහු යමක්
සිතන විට මේ සිතිවිල්ල සිතීමෙන් මා වෙත ඇති ප්‍රයෝජනයය කුමක්ද? සමාජයට
ඇති ප්‍රයෝජනය කුමක්ද? සමාජ ධර්මවල මෙබඳු සිතිවිලි වලට පවතින තැන
කෙබඳුද? ආදි වශයෙන් හොඳින් සිතා බලයි. කයින් යමක් කරන්නට ගියත්,
යම්කිසි වචනයක් ප්‍රකාශ කරන්නට ගියත් යම් කි‍්‍රයාවක් කරන්නට
ප්‍රථමයෙන් ඒ පිළිබඳව හොඳින් සිතා විමසා බලා සරුදෙය සරු ලෙස තෝරාගන්නා
නිසරු දෙය නිසරු දෙයක් ලෙස තෝරාගන්නා බුද්ධිමත් පුද්ගලයා අපේ ගිහිගෙවල්
වලට, සාමජයට ආයතන වලට අවශ්‍ය වන්නේ ඒ නිසයි.
අපේ සමාජයේ තරුණ පරපුරත් වැඩිහිටි පරපුරත් අතරේ කිසියම් ගැටළුවක් පවතින
බව පෙනෙනවා. ඊට හේතුව තමයි වැඩිහිටියන්ට ජීවන අත්දැකීම් වැඩියි. තරුණ
පිරිසට එබඳු අත්දැකීම් අඩුයි. මෙවැනි මතවාදීමය ගැටලු අවබෝධය සහ අනවබෝධය
අතර ඇතිවන ගැටලු පුද්ගල ගැටුම් බවට පත් නො කර ගත යුතුයි.
බුදුරජාණන් වහන්සේ මෙම සදහම් දේශනාව කරනු ලැබුවේ “සංජය” කියන ගුරුවරයකු
අරභයාය. සංජය බුදුරජාණන් වහන්සේටත් වඩා පැරැණි තමන්ගේ යටතේ ගෝල බාලයෝ
තියාගෙන අධ්‍යාපනය ලබාදුන් ඒ කාලයේදි හිටපු දක්‍ෂ ගුරුවරයෙකි. නමුත්
බුදුරජාණන් වහන්සේ නමැති ගුරුවරයාත් එම ගුරුවරයාත් සන්සන්දනය කර බලන
විට බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රඥාව සංජය ගුරුතුමාට වඩා බොහෝම ඉහළයි.
සංජයගේ අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් අතර කෝලිත උපතිස්ස
තරුණයින් දෙදෙනාගේ බුද්ධිය ඉතා බොහෝම ඉහළයි. ඔවුන්ගේ දැනුම ගුරුතුමා හා
සමාන මට්ටමට පැමිණුනා. ඔවුන් කල්පනා කළේ ඊටත් වඩා වැඩි දැනුමක් ලබා
ගැනීම පිළිබඳවයි. ගුරුතුමා ළඟ එතරම් ප්‍රඥාව නැහැ කියලා ඒ දෙදෙනා
කළකිරීමට පත්වුනේ නැහැ. විවිධ ගුරුවරු ඇසුර ලබමින් විමුක්තිය සඳහා යන
ගමනට අවශ්‍ය වන ප්‍රඥාව සෙව්වා.
උපතිස්ස පිරිවැජියා (ශිෂ්‍යයා)
ප්‍රඥාව සොයාගෙන මහපාරේ ඇවිදගෙන යනකොට ඔහුට පේනව ගමනින් උපශාන්ත ඉඳුරන්
සංවර පුද්ගලයෙක්. උපතිස්ස එම තැනැත්තා ලඟට ගොස් මෙසේ විමසනවා. “ ඔබගේ
ඉඳුරන් සන්සුන් ගමන් විලාසය තැන්පත්. ඔබේ නම මොකක්ද? එවිට ඔහුට ලැබුණ
පිළිතුර වූයේ මගේ නම අස්සජි . මම අලුත පැවිදි වුණ කෙනෙක්, මගේ ගුරුතුමා
බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ ගේ ඉගැන්වීම තමයි යමක් හටගන්නේ
හේතුවක් ඇතිවයි. හේතුව නැති කරගෙන හටගන්නා වූ දෙය නැති වී යනවා කියන
ඉගැන්වීමත් ඒ කියන්නේ “හේතුපලවාදය” ඒක ගැඹුරු දහමක්. හිත දියුණු කරගත්ත
තරමට තමයි මෙහි අවබෝධය ලැබෙන්නේ. මමත් හරියට කරුණු කාරණා කියන්න දන්නේ
නැහැ. ඔය කිව්වේ මම ඉගෙන ගත්ත දෙය ඉතාම කෙටියෙන් “ මේ කතාව ඇසූවිට
උපතිස්සගේ හිත හරියට කලබල වූනා. හරිම අසිරිමත් ඉගැන්වීමක්. එකවර
වටහාගන්න අමාරු වුනත් ඒ ඉගැන්වීම හරිම මනහරයි. මිනිසා නැවත නැවත උපත
ලැබීම පිළිබඳ ගැටලුවත් විශ්වය පිළිබඳව පවතින සියලුම ගැටලුවලට හේතුවත්
මේ ඉගැන්වීම තුළ තිබෙන බව තරමක් දුරට ප්‍රඥාව දියුණු කරගෙන සිටි
උපතිස්ස පිරිවැජියාට තේරුම් ගියා.
උපතිස්ස පිරිවැජියා අස්සජි හාමුදුරුවන් ගේ දෙපාමුල වැඳවැටී තමන් ලැබූ
දැනුමට කෘතගුණ පළකිරීම වශයෙන් නැවත වරක් වැඳ නමස්කාර කොට තමන්ගේ යහළුවා
සොයාගෙන යාමට වේගයෙන් පියවරමැන්නා. ඔහුගේ යහළුවා කෝලිතයි.අස්සජි
හාමුදුරුවන්ගෙන් ඇසූ දහම් පදයට ප්‍රඥාවේ කිසියම් ස්ථරයක් දක්වා
(සෝවාන්) ප්‍රඥාව වර්ධනය කරගත් උපතිස්ස කෝලිත හමුවේ මේ ඉගැන්වීම්
පැහැදිලි කළා.
මිත්‍රයාගේ සරල පැහැදිලි කිරීමෙන් පැහැදුණූ කෝලිත උපතිස්සගේ තත්වයට
පත්වුනා. ඔහුගෙන් ඇසූ දහම් කරුණු වලට ප්‍රඥාව ලබාගත්තා. ඔවුන් සෝවාන්
ඵලයට පත්වුණා. දෙදෙනාම සංජය පිරිවැජියා ළගට ගොස් බුදුහාමුදුරුවො දකින්න
අපි යමුදැයි ගුරුවරයාත් පොළඹවා ගන්නට උත්සාහ කළා. එයින් පලක් නොවූ නිසා
ඔවුන් දෙදෙනා පමණක් බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදිවුණා. උපතිස්ස
ශාරිපුත්ත යන නාමයද “කෝලිත” “මොග්ගල්ලාන” යන නාමයද ලැබුවා. දෙදෙනාටම
බුදුරජාණන් වහන්සේගේ දෑගසවු තනතුර ලැබුණා.
සරුදෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් තේරුම් බේරුම් ඇතිව පිළිගන්නට
සැරියුත් මුගලන් දෙනම සමත් වුනා. සංජය පිරිවැජියා අසමත් වුණා.
සටහන
හේමමාලා රන්දුනු |