Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසරින් එතෙර වීමට පින පමණක් සෑහේ ද?

තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොටස් දෙකක් තිබෙනවා. පළමු එක තමා පැවැත්ම. දෙවැනි එක නැවැත්ම. උන්වහන්සේ සත්ත්වයන්ගේ යහ පැවැත්මට අවශ්‍ය කරුණු ලෙස වදාළේ පින පිළිබඳවයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ පවු කරන්න එපා කියා සිහිපත් කළේ. ඒ සඳහා උන්වහන්සේ අපි උනන්දු කරවූවා. පවු නො කර නිකම් සිටීම නොවේ කළයුත්තේ පවෙන් වැළකී පිනෙහ යෙදීමයි. පින් කරන්නේ ආශාව සැපය, පැවැත්මට ඇති කැමැත්ත ආදිය නිසයි

තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළවෙලා සසරින් එතෙර වන මාර්ගය අපට කියා දුන්නා. උන්වහන්සේ දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේයි. මිනිසුන්ගෙත් දෙවියන්ගේ යහපත උදෙසා පින - පව, කුසල් - අකුසල් වාගේම ආමිස පූජාවත් ප්‍රතිපත්ති පුජාවත් වෙන් කරමින් කියා දුන්නා. ඒ වගේම උන් වහන්සේ මේ දුක් සහිත කටුක සංසාරයෙන් එතෙර වීමට අප උනන්දු කරවූවා. එසේනම් සසරින් එතෙර වීමට අප කළ යුත්තේ කුමක්ද? පින පමණක් සසරින් එතෙර වීමට සෑහෙනවාදැයි අපි සාකච්ඡා කළා.

මේ පිළිබඳව කෙටියෙන්ම කියන්න තිබෙන්නේ සසරින් එතෙර වීමට පින පමණක් කෙසේවත් සෑහෙන්නේ නැති බවයි. අප අසා තිබෙනවා ‘නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ’ කියා. නමුත් මෙය විය යුත්තේ ‘නිවන් දකින්නට පින් වැඩි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ’ කියා. අපි එසේ කියන්නේ පින් කරලා පමණක් නිවන් දකින්න බැහැ කියන්න යි. ඒක අවංකවම පිළිගන්න ඕන. පින කියන්නේ සංස්කාරයක්. සංස්කාර කියන්නේ කර්ම රැස්වීමක්. කර්ම රැස්වීම තුළින් විඤ්ඤාණයේ පැවැත්ම තහවුරු වෙනවා. සංඛාර පච්චයා විඤ්ඤාණ කියලා පටිච්ච සමුප්පාදයේ විස්තර වන්නේ එනිසයි.

පිනයි කුසලයි අතර වෙනස සරලව කියනවා නම් ලෞකික සතුටක් බලාපොරොත්තුවෙන් කරන හොඳ ක්‍රියා පින්. නිවන ඉලක්ක කරගෙන කරන හොඳ ක්‍රියා කුසල්. අපේ සමාජයේ බොහෝ අය යම් යම් හොඳ ක්‍රියා කරනවා. නමුත් හැම හොඳ ක්‍රියාවක්ම කුසල් වන්නේ නැහැ. හොඳ දෙයක් කුසලයක් බවට පත්කර ගන්න නම් තිබිය යුත්තේ යෝනිසෝමනසිකාරය යි. දෙයක් කරන්න, කියන්න කලින් නුවණින් හොඳින් විමසිය යුත්තේ එයින් සිදුවන්නේ කුසලයක් ද අකුසලයක්ද කියා දැන ගැනීමටයි. නුවණින් කල්පනා කරන්නේ නැතුව කරන හොඳ ක්‍රියා තුළිනුත් අකුසල් රැස්වෙනවා. උදාහරණ ලෙස ගත්තොත් අපේ සමහර උපාසිකාවන් දානයක් දෙන්න සූදානම් වෙලා ඒ සඳහා තමා කැමැති පිරිසක් සූදානම් කර ගන්නවා. එතැනම බැඳීම ඇති වෙනවා. එහෙම නැත්නම් සිල්වත් අයට දන්දුන් විට ආනිශංස වැඩි කියා සිල්වත් ගුණවත් හාමුදුරුවරු සොයනවා. එවිටත් බැඳීමක් ඇතිවෙනවා. ඒ වගේම අද කාලයේ බොහෝ අය දන් දෙන්නේ තම මිය ගිය ඥාතීන්ට පින් ‍ෙදන්න. එතැන තිබෙන්නෙත් බැඳීමයි. බොහෝ අය ලෙඩ වූ අයට සෙත් පතන්න, උපන් දිනයට ආශිර්වාද කරන්න, ගර්භනී මවට සෙත් පතන්න ආදී වශයෙන් පුද්ගලික අරමුණු හේතු කර ගෙන දන් දී පින් කරනවා. බොහෝ ම ටික දෙනයි ලෝභය අත හැරීමට දන් දෙනවා කියා සිතන්නේ. අතහැරීමේ කැමැත්ත ඇතිකර ගන්නේ ඊට වඩා ලැබෙනවා කියන ආකල්පයට යි. මේ නො දැනුවත්කම නිසා ඒ අයගේ සිතේ හට ගන්නේ කෙලෙස්. අත හරින්නට ගිය විට මානය ඉස්මතු වෙන අවස්ථාත් තිබෙනවා. දෙන දායකයා වර්ණනා කරනවිට ඒ පුද්ගලයාගේ මානය ඉස්මතු වෙනවා. ඒ වගේම වර්ණනා නො කළොත් ද්වේෂය ඉස්මතු වෙනවා. තමා තුළ හට ගන්නා කෙලෙස් හඳුනාගත හැකි වන්නේ යෝනිසෝමනසිකාරය තුළින් හොඳ ක්‍රියා කළවිට පමණයි. එසේ කෙලෙස් නැතිව කරන හොඳ ක්‍රියා කුසල්. අනෙක් ආකාරයට කෙලෙස් සහිතව කරන දේවල් පින්කම්. එසේ කෙලෙස් සහිතව පින් කිරීමෙන් සිදුවන්නේ සසර දිගු වීමයි.

අප මනුස්ස ලෝකයේ මිනිසත් බව ලැබුවේ කුසලයක් නිසා නොව පිනක් නිසායි. පිනක් නිසා මනුස්ස ජීවිතයක් ලබාගත් පුද්ගලයා කුසල් රැස්කර ගැනීම වෙනම කාරණයක්. මනුස්සයෙක් වෙලා ඉපදුන අපි විවිධ අවස්ථාවල දී දුක් විඳින්නේ ඇයි? භෞතිකව සියලු සැප සම්පත් තිබියදීත් බලාපොරොත්තු බිඳීයාම තුළින්, ලෙඩවීමෙන්, පි‍්‍රය අයගෙන් වෙන්වීමෙන් ආදි දේ නිසා දුක්ඛදායක ඉරණම් හමුවෙනවා. එයට හේතුව තමා අකුසල් සහිතව ඒ හොඳ ක්‍රියා කළ නිසයි. සිත කිලිටි කර ගෙන පින්කම් කිරීමෙන් දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල උපත ලබනවා. ඒ ලෝකවල දුක සැප දෙකම තිබෙනවා. එහෙම විඳින්න පුළුවන් සැපයක් නොවේ නිවන කියන්නෙ නිවන් මාර්ගයේ ගමන් කරන්නට පින පමණක් මදියි.ඒ සඳහා බොහෝ ලෙස කුසල් දියුණු කළයුතු වෙනවා.

තථාගතයන් වහන්සේ කෙඳිනකවත් පිනට ගැරහුවේ නැහැ. පින් කරන්න එපා යැයි අප බය කළෙත් නැහැ. පින තුළින් කුසලය දියුණු කර ගන්නා ලෙසයි අවවාද කළේ. පින් වැඩි වැඩියෙන් කරනවා කියන්නේ කර්ම රැස්වෙනවා කියන එකයි. සංස්කාර ගොඩනැගීමයි. සංස්කාර ගොඩ නැගෙන විට දිගිින් දිගට සංසාරය දිගු වෙනවා. පින් කළාම සිදුවන්නේ සැප විඳ විඳ දිගටම සංසාරයෙන් ගමන් කිරීමයි.

තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොටස් දෙකක් තිබෙනවා. පළමු එක තමා පැවැත්ම. දෙවැනි එක නැවැත්ම. උන්වහන්සේ සත්ත්වයන්ගේ යහ පැවැත්මට අවශ්‍ය කරුණු ලෙස වදාළේ පින පිළිබඳවයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ පවු කරන්න එපා කියා සිහිපත් කළේ. ඒ සඳහා උන්වහන්සේ අපි උනන්දු කරවූවා. පවු නො කර නිකම් සිටීම නොවේ කළයුත්තේ පවෙන් වැළකී පිනෙහි යෙදීමයි. පින් කරන්නේ ආශාව සැපය, පැවැත්මට ඇති කැමැත්ත ආදිය නිසයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා එතැනින් නොනැවතී පැවැත්මට ඇති කැමැත්ත අතහරින්න කියා. ඒ නිසා හොඳ ක්‍රියා කරන ගමන් ඒ සමඟ ඇති ලෝභය, ද්වේශය මෝහය ආදි කෙලෙස් අතහරින්න ඕන. එසේ කෙලෙස් අතහරින විට සිදුවන්නේ කුසලය දියුණු වීමයි. කුසලය දියුණු වීම තුළින් සිත පිරිසුදු වෙනවා. ඒ තුළින් සංස්කාර ගොඩනැගීමක් සිදුවන්නේ නැහැ. ඒ සියලුම දේ තුළින් වන්නේ ඔහුගේ භව ගමන අවසන් වීමයි. එතැනින් සිදුවන්නේ නැවැත්ම ඇතිවීමයි. එය තමා බුදුවරුන්ගේ අනුශාසනව.

එනිසා අපි තේරුම් ගනිමු තථාගතයන් වහන්සේ ලොව පහළ වී අවවාද අනුශාසනා කොට වදාළේ පින් කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී කුසල් වඩා නිවන් මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ යුතු බවයි. සසරින් මිදීම සඳහා නම් පිනෙන් පමණක් සෑහීමකට පත් නොවී කුසල් දියුණුකර සසර ගමන කෙටිකර ගැනීමටඅපි උත්සුක වෙමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.