Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් දැක සෝවාන් වී වෛරය සන්සිද වූ යකින්නිය

සැවැත් නුවරට ආසන්න ජනපදයෙක නිවසක මව, පියා සහ පුතු යන තිදෙන ගොවිතැන් බත් කෙරෙමින් ජීවිකාව කෙරෙද්දී හදිසියේ ම ගොවි පියා මිය ගියා. තරුණ පුතුට සියලු වගකීම් පැවරුණු හෙයින් මවද ආදරයෙන් බලා ගනිමින් කුඹුරු ගොවිතැන් කටයුතු ද හොඳින් කළා. පුතුගේ ආදරය ලබන මෑණියන් කිහිප දිනක් පුතුට කතා කොට දියණියක විවාහ කර දෙන්නට යෝජනා කළා. එහෙත් මෑණියන්ගේ වදන් ඔහු ප්‍රතික්‍ෂේප කළේ මෑණියන්ට දිවි ඇතිතුරා සංග්‍රහ කිරීම තමන්ගේ අරමුණ බව කියා පාමින්. එහෙත් එය මවගේ සිතට කිසිදු සැපතක් ඇති කළේ නැහැ. හැම විටෙකම මව පුතුට මේ ගැන කියමින් ඇවිටිලි කරන්නට පටන් ගත්තා. පුතු නැවත නැවතත් මෑණියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එහෙත් නිහඬ නොවූ මව දියණියක් සොයන්නට වූ අතර අවසානයේ මවට සැනසුමක් ගෙන දෙනු උදෙසා පුතු නිහඬ වුණා. මව දියණියක රැගෙන විත් පුතුට සරණ පාවා දුන්නා.

එම දියණිය නිවසේ කටයුතු, සැමියාගේ කටයුතු මවගේ කටයුතු ආදිය ඉතා හොඳින් ඉටු කළා. එහෙත් මවගේ බලාපොරොත්තුව වූයේ පවුලට තුන්වැන්නෙකුගේ එකතුවයි. තමා මිත්තනියක වී මුණුබුරු, සුරතල් බලන්නට ඇයට වුවමනා වුණා. එහෙත් තම ලේලිය කිසිදා දරුවකු නොලබන බව වටහා ගත් මව ඒ පිළිබඳව සෑහෙන තරම් දුකටත් වේදනාවටත් පත්ව කාලය ගත කරන්නට වුණා. ඒ ගැන පුතුට නිතර නිතර කියමින් තම පරපුර හා දේපළ රැක ගැනීම සඳහා දරුවකුගේ අවශ්‍යතාව කියා පෑවා. තම ලේලිය දරුවකු නොලබනබව දුටු විට වෙනත් කතක් හා සමඟ විවාහ වීමේ අවශ්‍යතාව නිතර නිතර ඈ පුතුට සිහිපත් කළා.

ඒ වගේ මේ කථාව අසා සිටි ලේලිය තවත් කාන්තාවක් මෙම නිවසට පැමිණි විට තමාට මෙහෙකාරියක වන්නට වෙතියි සිතා ඇයගේ ද සහායෙන් තවත් කාන්තාවක් යෝජනා කොට රැගෙන පැමිණීම වඩා නුවණට හුරු බව කල්පනා කළා. ඒ බව මවටද පුතුට ද දන්වා දේපළ රැකිය හැකි පුතෙක් ලැබිය හැකි තරුණියක් රැගෙන විත් දෙවන විවාහයක් ලෙස පුතුට සරණ පාවා දුන්නා.

එසේ කළද එදා සිට මෙම පළමු බිරිය දෙවන බිරියට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්තා. ඇය විසින් පුතෙකු ලද හොත් එම පුතුට මෙම සියලු දේපළ හිමි වන බවත් තමනට කිසිවක් නොලැබෙන බවත් ඈ කල්පනා කළා. එසේ කල්පනා කොට ඊට නිසි උපක්‍රමයක් සිතා ඇයගේ දරු සම්පත් විනාශ කරන්නට කල්පනා කළා. එසේ කල්පනා කොට දෙවන බිරිය හා එක්ව මිතුරුව සිත් ගෙන ඇයට බොහෝ හිතවත් බව පවසා ගැබ් ගත් කල්හි ඒ බව තමන්ට දන්වන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව ඇය පිළිසිඳගත් කල තම මිතුරියට ඒ බවට කියා සිටියා. ඇයගේ දරු ගැබ වර්ධනයට පෙරාතුවම ඇයට මිත්‍ර ලීලාවෙන් විවිධ රසවත් ආහාර පාන ගෙනැවිත් දෙන අටියෙන් ගබ්සා බෙහෙත් කවන්නට පටන් ගත්තා. ඇය එයින් ගබ්සා වුවා. දෙවන වරද පිළිසිඳ ගත් කල එසේ මිත්‍ර ලීලාවෙන් ඇය ගබ්සා කළා. දෙවන බිරියගේ මෙම ක්‍රියාවලියෙන් අතිශය දුකට පත් මෑණියන් හා ඇගේ යෙහෙළියන් ඒ ගැන ඇගෙන් විමසූ විට පළමු බිරියගේ ක්‍රියාවලිය අනාවරණය වුණා. ඇය එසේ කරන්නට ඇත්තේ දේපළ උරුමය දරුවාට ලැබෙන බැවින් බව ඇයට පෙන්වා දුන්නා. නැවත ගැබ් ගත් කල ඇයට නොකියන ලෙස ද කියා සිටියා.

ඒ අනුව තෙවන වර ඈ පිළිසිඳ ගත් විට ඒ බව තම මිතුරියට නොකියා වසන් කළා. කල් යාමේදී ඇගේ උදරය මහත් වී දරුගැබ වර්ධනය වී ඇති බව දුටු විට ඇයට කිසිවක් කළ නොහැකි වුණා. එහෙත් ඇගේ උත්සාහය ඈ අත් හැරියේ නැහැ.වර්ධනයවූ දරු ගැබට හානි කර විෂ බෙහෙතක් අවසන් මොහොතේ ඇයට කවන්නට පළමු බිරියට හැකි වුණා. එයින් දරුවා ලැබෙන්නට යද්දී ඇයට ක්‍රෑර වේදනා විඳින්නට සිදු වුණා. මේ වේදනාවෙන් මිය ගිය ඇය මරණාසන්න වේලෙහි යකින්නකව ඉපිද තිගේ දරුවන් කන බවට සාප කළා. එම සාපයෙන් ඈ මිය ගොස් එම නිවසෙහි බැළලියකව උපන්නා. ස්වාමිපුරුෂයා පළමු බිරිය තලා පෙළා තම කුල පරපුර නැසුවේ යැයි ඇයට පහර දුන්නා. එයින් ම මිය ගිය ඇය ඒ නිවසෙහිම කිකිළියක වී ඉපදුනා. එම කිකිළිය දමන්නා වූ සෑම බිත්තරයක්ම පෙර කළ වෛරය හේතුවෙන් බැළලිය විසින් කා දමනු ලැබුවා. එයින් වේදනා විඳි කිකිළිය දරුවන් ද බැළලිය ද කෑමට පතා එයින් චුතව දිවිදෙනක් වී උපන්නා. බැළලිය මිය ගොස් මුව දෙනක වී උපන්නා. පෙර වෛරය මෙහිදී ඉස්මතු වුණා. මුවදෙන වදන පැටවුන් සියල්ලම දිවි දෙන විසින් කා දමනු ලැබුවා. එයින් වේදනාවට පත් මුවදෙන දිවිදෙනට වෛර කරමින් මිය ගියා. මියගොස් යකින්නකව ඉපදුනා. දිවිදෙන මියගොස් පුරාකෘත කුසල කර්මයක් අපරාපරිය වේදනීය වශයෙන් විපාක දී සැවැත් නුවර කුල දුවක වී ඉපදුනා. ඇය වැඩිවියට පත්ව නිසි කල්හි පති කුලයට ගොස් පසුව පුතෙකු ප්‍රසව කළා. එය දැනගත් යකින්න යෙහෙළිකගේ වෙසක් මවා කුළුඳුල් දරුවා බලන්නට එන මිතුරියක ලෙසින් කුටියට ඇතුළු වී එම දරුවා කා දැම්මා. දෙවන වරද එසේ ඇතුළු වී දරුවා කා දැම්මා. තෙවන වර තම මවගේ නිවෙසට ගොස් දරුවා බිහි කළා. යකින්නට සොයා ගත නොහැකි වුණා. ඒත් පසුව ඒ ගැන දැන කවදා හෝ තමන්ගෙන් බේරෙන්නට නොදෙන බව පළ කරමින් සොය සොයා ඇවිද්දා.

දිනක් එම පුතුට නම් තැබීමේ සැණකෙළියක් පැවතුණා. එහි කෙළවර දරුවාද, මව ද පියාද බිරියගේ නිවසේ සිට සැමියාගේ නිවසට සතුටින් යමින් සිටියා. අතර මඟදී දෙව්රම් වෙහෙර හමු වුණා. එහි තිබූ පොකුණෙන් දිය නාගත් බිරිය, පියා දිය නා ගන්නා තුරු දරුවාට කිරි පොවමින් සිටියා. එවිට යකින්න දරුවා උදුරා ගන්නට වේගයෙන් දිව ආවා. එහෙත් බිරිය සැමියාට ඒ බව කෑ ගසා කියමින් දරුවා රැගෙන වේගයෙන් විහාරයට පිවිසුණා. යක්‍ෂණියට විහාර දොරටුවෙන් ඇතුළට එන්න නොහැකි වුණා. දරුවා බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල තබා වැඳ වැටී දිගාසිරි ලබා දෙන්නට ආයාචනා කළා.

ඒ බව දුටු බුදුපියාණන් වහන්සේ අනඳ හිමියන් අමතා යකින්න විහාරයට ගෙන්වා ගෙන ඇයට දහම් දෙසා වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන්ම වෛරය සන්සිඳවිය යුතු බවත් දේශනා කළා. කෙළවර යකින්න සෝවාන් වූවා. යකින්න දරුවා අතට ගෙන සිප වැළඳ නැවත මවට ම දී වෛරය අවසන් කළා.

වෛරයෙන් මිදෙන්නට අකැමැති වෛරයෙන් දිවි ගෙවමින් සසර ගමන පුරා දුක් බර දිවි පෙවෙතක් උරුම කරගන්නට සිතන බොහෝ දෙනෙක් මෙම වෛරී යකින්නගේ කථාවෙන් ධර්මෝපදේශ සලසා ගනිමින් වෛරයෙන් මිදෙන්නට කල්පනා කරත්වා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.