Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුද සිරිත් හා ආගමික විශ්වාස

බුදුදහම මෙරට පැමිණීමෙන් පසුව එම විශ්වාස හා පුදසිරිත් යම් යම් වෙනස්කම්වලට ලක්වුණා. ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාව තුළ බෞද්ධ මුහුණුවරක් ගත් විවිධාකාර ආගමික විශ්වාස හා පුදසිරිත් පැතිර ගියා. ත්‍රිවිධ රත්නය මුල්කොට ගත් විශ්වාස හා පුද සිරිත් මෙන්ම දෙවිවරුන් මුල්කොට ගත් විශ්වාස හා පුදසිරිත්ද ඒ අතර වුණා.ආගමික සංවිධානවලට ඇතුළත් වන හෝ නොවන මෙබඳු අනේකවිධ ඇදහිලි විශ්වාස හා පුදසිරිත් ලෝකයේ පෙර අපර දෙදිගම එදත්, අදත් දක්නට ලැබෙනවා.

පුදසිරිත් හා මානව ආගමික විශ්වාසයන්ට ඉතා දිගු ඉතිහාසයක් පවතිනවා. ඒවා කවර සමාජයක ඇතිවූයේදැයි නිශ්චිතව කිව නොහැකිය. ප්‍රාග් වෛදික යුගයේ සිටම භාරතීය ජනයා විවිධ දේව විශ්වාස පසුබිම් කරගෙන නොයෙකුත් පුද සිරිත් පැවැත් වූ බවට සාධක තිබෙනවා. බහුදේව වාදය පැතිරගිය වේද මන්ත්‍ර යුගයේදී භාරත ජනතාව අතර දේව විශ්වාස පුදසිරිත් පුළුල්ව පැතිර ගියා. ඒවා නොයෙකුත් අයුරින් මානව ජීවිතය හා පරිසරය සමඟ සම්බන්ධ වුණා.

දෙවියන්, දෙවඟනන් කේන්ද්‍ර කොටගත් විශ්වාසයන් යකුන්, යකිනියන් හා මළගියවුන් කේන්ද්‍ර කොටගත් විවිධ විශ්වාසයන් හා බැඳුණු පුදසිරිත් ඇතිවුණා. බ්‍රහ්මණ යුගයේදී “ආගම” බිහිවීමට එම ඇදහිලි , විශ්වාස මුල් වුණා. බ්‍රාහ්මණ පූජකයන්ගේ මූලිකත්වය හා සංවිධානය නිසා ඒ වටා යාග හෝමාදි බාහිර පූජා චාරිත්‍ර සමාජය තුළ ව්‍යාප්ත වුණා.

බුද්ධකාලය වනවිට බමුණු නායකත්වයටත්, වෛදික විශ්වාසවලටත් , යාග, හෝමාදි පුදසිරිත් වලටත් යම් යම් විචාර විවේචන හා අභියෝග එල්ලවෙමින් පැවතුණා. ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි නොවුන බවත් පෙනෙන්නට තිබුණා.

මහාවංශය ඇතුළු අපේ ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙන්නේ, ප්‍රාග් බෞද්ධ යුගයේදී භාරතීය ආභාෂයද ඇතිව ලක්දිව ජනයා අතර විවිධාකාර වූ ආගමික විශ්වාස හා පුදසිරිත් පැතිර ගිය බවයි. දෙවියන්, යකුන්, යකිනියන් ආදි විවිධ අමනුෂ්‍ය ,බලවේග ඇති බව මිනිසුන් විශ්වාස කළා. ඒ අනුව අමනුෂ්‍ය බලවේග මුල්කරගෙන විවිධ පුද පූජාවන්ද සිදුකළා. එකී අමනුෂ්‍ය කොටස් පුද්ගල ජීවිතයට යහපත් හෝ අයහපත් බලපෑම් කරන බවත් ඔවුන් විශ්වාස කළා.

බුදුදහම මෙරට පැමිණීමෙන් පසුව එම විශ්වාස හා පුදසිරිත් යම් යම් වෙනස්කම්වලට ලක්වුණා. ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාව තුළ බෞද්ධ මුහුණුවරක් ගත් විවිධාකාර ආගමික විශ්වාස හා පුදසිරිත් පැතිර ගියා. ත්‍රිවිධ රත්නය මුල්කොට ගත් විශ්වාස හා පුද සිරිත් මෙන්ම දෙවිවරුන් මුල්කොට ගත් විශ්වාස හා පුදසිරිත්ද ඒ අතර වුණා. ආගමික සංවිධානවලට ඇතුළත් වන හෝ නොවන මෙබඳු අනේකවිධ ඇදහිලි විශ්වාස හා පුදසිරිත් ලෝකයේ පෙර අපර දෙදිගම එදත්, අදත් දක්නට ලැබෙනවා.

ජීවිතයේ අනේකවිධ දුක් දොම්නස් මෙන්ම සුව සොම්නස්ද උදාකර දෙන විචිත්‍ර වූ අත්දැකීම් ආශි‍්‍රත මනෝභාවයන් ආගමික විශ්වාස ඇදහිලි හා පුදසිරිත් වෙත මිනිසා යොමුකරනවා . දේව සංකල්පයන්ගේ උපත, ලෝකයේ විවිධත්වය විචිත්‍රත්වය හා විශාලත්වයද හේතුවෙන් තමා තුළ ඇතිවන උක්ත අත්දැකීම් ආශි‍්‍රත මනෝභාවයන් විසින්ම සිදු වී ඇතැයිද පිළිගනු ලබනවා. කෙසේ වුවත් සත්වයන්ගේ ස්වභාවය වන්නේ දුක් දොම්නස් දුරලා සුව සොම්නස් උදාකර ගැනීමට කැමැතීවීමය.

ඔවුන් පෙනෙන සම්පත් විද්‍යාමාන ශක්තීන් තම අපේක්‍ෂා සාධනය ට ප්‍රමාණවත් නොවන තැන නොපෙනෙන බලවේග වෙත යොමුවෙනවා. අතීතයේ පටන්ම පෙර අපර දෙදිගම ජනයා ජීවිතයේ විවිධ අපල, උවදුරු, රෝග පීඩාදිය දුරකරදෙන ලෙසත්, කෘෂිකර්මය ඇතුළු සිය ජීවිකා වෘත්තීන් තුළින් සරුඵල උපදවා දෙන ලෙසත් තවත් එබඳු අනේකවිධ ලෞකික දෑ ලබාදෙන ලෙසත් දෙවි දේවතාවුන් හා වෙනත් අමනුෂ්‍යයන්ද යදිමින්, වඳීමින් ඉල්ලා සිටියා. එසේම ඒ සඳහා ඔවුන් පෙළඹවීම බොහෝ ආගමික ඉගැන්වීම් මඟින් සිදු කළා. ඒ අතර ආගම විසින්ම අවධාරණය කළ පරිදි විශ්වාස මත පිහිටා සිටීමත්, පුද පූජාදිය සිදුකිරීමත් සද් කාර්යය වෙනවා. එමගින් ලෝකෝත්තර විමුක්තියද උදාකරගත හැකි වෙනවා.

බුදුවරයෙකු ලොව පහළ වන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් යුත් මේ සංසාරික ප්‍රවෘත්තියෙහි විද්‍යාමාන වන අසාරත්වය, අර්ථ ශූන්‍යත්වය, අතෘප්තිකර බව, තුච්ඡ බව පිළිබඳ අව්‍යාජ වූ අවදිතම ප්‍රජාව තුළ ඇතිකරලීමටයි. එලෙසම එකී සසර දුකින් අත්මිදීම සඳහා වන නෛර්යාණක වූ මාර්ගය එනම් දුක්ඛ නිරෝධය පිණිස වන ප්‍රතිපදාව පෙන්වාදීමටත්ය.

බුදුදහම අනුව අධි භෞතික බලවේගවල පිහිට පැතීම අර්ථ ශූන්‍යයි. මිනිසා ඉදිරියේ ඇති මහා ගැටලුව සංසාරිකව ජාති,ජරා, ව්‍යාධි මරණාදියට ගොදුරුවීමයි. “ දුක්ඛෙ ලොකො පතිට්ඨිතො” යනුවෙන් බුදුදහමේ පෙන්වා දෙන්නේ, ලෝකයම දුකමත පිහිටා ඇති බවයි.

සංයුක්ත නිකායේ’ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ” යා යං තණ්හා පොණොභවික, යනාදි ලෙස දැක්වූයේ තණ්හාව නිධාන කොටගෙන දුක පවතින බවයි. තථාගතවරු මග පෙන්වන්නේ මිනිස් සන්තානයෙහි මුල්බැස පවත්නා ශෝකයද, බියද, උපදවන තණ්හාව මුලිනුපුටා දැමීමටයි.

තණ්හාව සමුදය කොටගත් බියෙන් තැතිගත් මිනිස්සු බොහෝ විට පර්වත ආරාම වෘක්ෂ චෛත්‍යාදිය සරණ යනවා. එහි පිහිට පතනවා. එහෙත් එමගින් සසර දුක, නිවීමට පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා පිහිටට ඇත්තේ තෙරුවන් සරණ යාමටයි. චතුසත්‍යාවබෝධයයි. ඒ තුළින් දුක කෙළවර කරයි.

ධම්මපදට්ඨ කථාවේ “ ධම්මානු ධම්මං පටිපජ්ජන්තා එව මං පූජෙන්ති නාම යනුවෙන් බුදුරදුන් පෙන්වා දෙන්නේ සුවඳ මලින් බුදුරදුන් පුදන්නේ සැබෑ ලෙස උන්වහන්සේ පුදන්නෝ නොවන බවත්, දුකින් මිදීමට අදාළ වූ ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන්නෝ උන්වහන්සේ සැබෑ ලෙසම පුදන්නෝ වෙයි.

බුදුදහම ලෝකයේ බොහෝ ආගමික චින්තාවන් මෙන් පුදසිරිත් ඇදහිලි විශ්වාසාදිය අවධාරණය කරනවා. ඒ තුළින් ඇදහීමට විශ්වාසයට, සම්ප්‍රදායෙහි ගැතිවීම භක්තිය අගය කරන්නේ නැහැ. සිතීමටත් විමසීමටත් ඉඩකඩ ලබාදෙනවා. යථාර්ථය තම තමන් විසින්ම දැන දැක පසක් කරගත යුතු බව අවධාරණය කරනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.