Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදින් මහේ වරුණ

අසම සම වූ බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට සම කරුණාවෙන් සැලකූහ. තම ඥාති වර්ගයාට ද සසර දුක නිවාලන පිවිතුරු වූ සදහම් මාවත පෙන්වා දුන් සේක. එවන් වූ උත්තරීතර මෙහෙවරක් කිඹුල්වත්පුර ඥාතීන්ට උදා වූයේ, බුදුන් වහන්සේ අද වැනි මැදින් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී කිඹුල්වත්පුර ගම් බිමට වැඩියා වූ අසිරිමත් ධර්ම පාද චාරිකාව නිසා ය

සසර බැම්මේ පීඩාවෙන් අසරණ වූ ලෝක සත්වයාට අනුකම්පා කළ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා පාරමී දම් පිරූහ. උත්තරීතර බුදුබව ලබද්දී සෙවණ සැලැසූ අචේතනික වූ බෝධි වෘක්‍ෂයටත් බුදුන් වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් දැක් වූ සේක.

පස්වග තවුසන් වෙත දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා නිවන් මඟ සැලැසූ බුදුපියාණන් වහන්සේ රජගහනුවරට වැඩම කළහ. දඹදිව් තලය බැබළවූ බුද්ධ ඓශ්චර්යෙන් ඔද වැඩුණු සුද්ධෝදන රජතුමාට බුද්ධත්වයෙන් අභිෂේකය ලද, රජගහනුවරට වැඩම කළ තම පුතු දැකීමේ ආශාව බලවත් වූයේය. මේ නිසා බුදුපියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩම කරවීමට පිය මහ රජතුමා දැක් වූයේ අපමණ වූ වෙහෙසකි. ඇමැතිවරු නව දෙනෙක් ප්‍රමුඛ දහස බැගින් නව දහසක් පිරිස නව වරකට වේළුවනාරාමයට පිටත් කර යැවූව ද මෙම රාජ්‍ය දූත පිරිස පිවිතුරු වූ සදහම් මඟ ගමන් කර උතුම් වූ රහත් මඟ ඵල ලැබූහ.

බුදුරදුන් හා එකදා උපන් කාළුදායි ඇමැති කැඳවා උතුරා යන පුත්‍ර ස්නේහයෙන් ‘මාගේ ජීවිතය අවසන් වීමට පෙරැ බුදුරදුන් වඩම්මවා ගෙන එන්නැයි’ සුද්ධෝන රජතුමා පැවසුවේ ය.

මහණ වීමට අවසර ලබා දෙන්නේ නම් ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දුවුණු කාළුදායි ඇමැති තවත් දහසක් රාජකීය දූත පිරිස සමඟ රජගහනුවර බලා පිටත් වී කෙලෙස් තවන වීර්යෙන් යුක්තව උතුම් වූ රහත් ඵලය ලබා ගත්හ. සත් දිනක් ඇවෑමෙන් කාළුදායි තෙරණුවෝ ගාථා හැටක් පවසමින් මඟ වර්ණනා කර බුදුරදුන්ට කිඹුල්වත් පුරට වැඩම කරන්නැයි ආරාධනා කළහ.

ගමන් මඟ දෙපස පෙළ සැදුණු රුක් පෙළෙහි රක්ත වර්ණයෙන් යුතු වූ දළුවලින් බැබළෙද්දී බොහෝ සුපුෂ් පිත පුෂ්පයන් පූජෝපහාර දක්වන්නාක් මෙන් නිබඳව සැලුණේ ය. මේ අසිරිමත් ගමන් මඟෙහි බුදුරදුන් සමඟ විසිදහසක් රහතන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙන් කිඹුල්වත්පුරට වැඩම කිරීමට සදහම් චාරිකාව ඇරැඹුවේ බුද්ධත්වයෙන් දහවන මස මැදින් පුර පසළොස්වක පොහොය දිනකය.

ශාක්‍ය වංශිකයන්ට උදාර මෙහෙවරක් සිදු කිරීම උදෙසා බුදුපියාණන් වහන්සේ හැට යොදුනක් දුර ගෙවා හැට දිනකදී පාද චාරිකාවෙන්ම කිඹුල්වත් පුරට වැඩම කළ සේක. එහිදී බුදුරදුන් පිළිගත් ශාක්‍ය වංශිකයෝ නිග්‍රෝධාරාමයට වැඩමවාගෙන ගියහ. එහෙත් වැඩිමහල් වූ රාජාභිෂේක ලත් ශාක්‍ය වංශිකයෝ බුදුන් වුවත් අපට බාල යැයි සිතා වැඳුම් පිදුම් නොකර අතිමානයෙන් උදම් වී සිටියහ. මේ මානය දුරු කිරීමට අසම සම වූ බුදුපියාණන් වහන්සේ යමා මහා පෙළහර පෑ සේක. එහි විශ්මිත දසුනේ බලයට වැඳ නමස්කාර කළ සුද්ධෝදන පිය මහ රජතුමා මේ මගේ තෙවන වැඳීම යැයි පැවසුවේ අපරිමිත වූ ශ්‍රද්ධාවෙනි.

මානය දුරු වී නිහතමානී වූ ශාක්‍යවංශිකයන් සිරි පා කමල නමදිද්දී කිඹුල්වතම මහා මේඝ වර්ෂාවෙන් නැහැවී ගියේ ය. එය නිමිති කරගත් බුදුපියාණෝ වෙස්සන්තර ජාතකය වදාරා ශාක්‍යවංශිකයන්ගේ හදවත් සදහම් සිසිලෙන් සුවපත් කළ සේක.

පසුදා බුදුරදුන් සමග විසි දහසක් රහතන් වහන්සේ කසාවතින් බැබළෙමින් ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩියේ බුද්ධ වංශයේ සිරිතට ගරු කිරීමටය. මෙයින් මහත් ලජ්ජාවට පත් වූ ශාක්‍යවංශික සුද්ධෝදන රජ බුදුරදුන්ගෙන් මේ ගැන විමසුවේ ය. එහිදී බුදු බණ අසා සදහම් රසයෙන් ඔද වැඩුණු සුද්ධෝදන රජතුමා මහ මඟදීම සෝවාන් මඟඵලය ලබා බුදුරදුන්ට දන් පිණිස මාලිගාවට ආරාධනා කළේ ය.

අනූමෙවෙනි බණ ශ්‍රවණය කළ පිය රජතුමා සකෘදාගාමී මඟ ඵලයත් මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් මඟ ඵලයත් ලබා ගත්හ. එහිදී මාලිගාවේ සියලු ස්ත්‍රීන් සිරි පා කමල වැඳ නමස්කාර කළත් යශෝධරා දේවිය එහි නොපැමිණියාය. ‘මාගේ යම් ගුණයක් ඇත්නම් බුදුරදුන් මෙහි වඩීවා’ යි ඇය සිතුවා ය.

වීතරාගී බුදුපියාණෝ ඇගේ ගුණයට ගරු කිරීමට පිය රජතුමා සමඟ යශෝධරාවිය වෙත වැඩම කළහ. එහිදී ඇය දරාගත නොහැකි වූ ශෝකයෙන් වැඳ වැටුණේ සිරි පතුල් යුග කඳුළින් නහවමිනි.

සංසාරයේ අවසන් භවයෙත් ආදරණීය පතිනිය වූ යශෝධරාවන් උම්මග්ග ජාතකයේ අමරා දේවිය, කුස ජාතකයේ පබාවතිය, චන්දකින්නර ජාතකයේ කින්නරාංගනාව, ලෙහෙන කුලේ ලේනිය, වෙස්සන්තර ජාතකයේ මන්‍ද්‍රි දේවිය වෙමින් පෙරැ සසර මඟෙහිදීත් සෙවණැල්ල සේ සිටියා ය. අතීත භවයන්හි දී ඇගේ ගුණවත් බව අගැයූ බුදුපියාණන් වහන්සේ චන්දකිත්තර ජාතකය දේශනා කළ සේක.

බුදුරදුන් කිඹුල්වත්පුරට වැඩම කළ තෙවන දින නන්ද කුමරුගේ මාලිගාව මෞලි මංගල්‍ය, සරණ බන්ධන මංගල්‍ය, ගෘහ ප්‍රවේශ මංගල්‍යයෙන් බැබළෙමින් පැවැතිණි. මේ තෛ‍්‍ර මංගල්‍යයෙන් අසිරිමත් වූ මාලිගාවට වැඩම කළ බුදුපියාණන් වහන්සේ දන් වළදා පාත්‍රය නන්ද කුමරුට දී පෙරටුව ගමන් ගත්හ. පාත්‍රයත් රැගෙන බුදුරදුන් පසු පසම විහාරයට පියමන් කළ නන්ද කුමරු සරණ බන්ධනය වීමට සූදානමින් සිටි ජනපද කල්‍යාණිය ගැන සිතමින් ශෝක වෙමින් බුද්ධ ගෞරවයට ඇති කැමැත්තෙන් පැවිදි වී උතුම් වූ නිවන් සුව සලසා ගත් සේක.

මෙයට සත් දිනකට ඇවෑමෙන් බුදුන් වහන්සේ විසිදහසක් රහතන් වහන්සේ සමඟ සුද්ධෝදන රජ මාලිගාවට වැඩම කරන පින්බර අසිරිමත් දසුන තම පුතුට පෙන් වූ යශෝධරා දේවිය නරසීහ ගාථා ගයමින් පියගුණ වර්ණනා කර පියා සතු ධනය ඉල්ලා ගන්න යැයි පැවසුවා ය. පිය සෙනෙහසින් ඔද වැඩුණු සත් හැවිරිදි සුරතල් රාහුල කුමරු ශ්‍රී හස්තයේ එල්ලෙමින් ‘පියාණෙනි, මට ඔබ වහන්සේගේ සෙවණෙහි වාසය සැපයැයි පවසා බුදු සෙවණේ පැවිදි වී සසර ගමනේ අඳුර දුරු කළ සේක.

රාහුල කුමරුගේ පැවිදි කිරීමෙන් බලවත් ශෝකයට පත් වූ සුද්ධෝදන රජතුමා බුදුරදුන් හමු වී දරු සෙනෙහස සිරුරේ ඇට මිඳුළුවල හැපී පැවැතීමට තරම් බලවත් යැයි පවසා මවුපියන්ගෙන් අවසර නොගෙන දරුවන් පැවිදි නොකරන්න යැයි ඉල්ලා සිටියේ ය. ඉල්ලීම පිළිගත් බුදුහිමියෝ ආර්යන් වහන්සේ ද මෙයින් දැනුවත් කළහ.

පසුදින සුද්ධෝදන රජ මාලිගාවෙන් දන් වැළැඳූ බුදුපියාණන් වහන්සේ මහා ධර්මපාල ජාතකය වදාරා පිය රජුට අනාගාමී මඟ ඵලය සලසා දුන් සේක.

අසම සම වූ බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට සම කරුණාවෙන් සැලකූහ. තම ඥාති වර්ගයාට ද සසර දුක නිවාලන පිවිතුරු වූ සදහම් මාවත පෙන්වා දුන් සේක.

එවන් වූ උත්තරීතර මෙහෙවරක් කිඹුල්වත්පුර ඥාතීන්ට උදා වූයේ, බුදුන් වහන්සේ අද වැනි මැදින් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී කිඹුල්වත්පුර ගම් බිමට වැඩියා වූ අසිරිමත් ධර්ම පාද චාරිකාව නිසාය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.