Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොල්වත්ත ශ්‍රී පුෂ්පාරාම අට විසි බුදු රජ මහා විහාරය

සොඳුරු වූත්, නිහඬ වූ ගම්බද පරිසරයක කුඩා කඳු බෑවුමක ආශි‍්‍රතව පිහිටි “පොල්වත්ත ශ්‍රී පුෂ්පාරාම අටවිසි බුදු රජ මහා විහාරය” තව තවත් බොදු ජන ආකර්ශණයට ලක් වෙමින් ඉකුත් දා එහි අභිනව චෛත්‍යරාජයාණන්ගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෙීත්සවය අතිවිශාල ගිහි පැවිදි පිරිසකගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්විණ.


විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

මෙම පුදබිම පිහිටා ඇත්තේ ඇහැලියගොඩ නගරයේ සිට කිලෝමීටර පහක් පමණ දුරිනි. කම්බිඅඩිය නම් වූ පනාවල පාරේ කුඩා කඩ මණ්ඩිය අසළින් දකුණට විහිදී ඇති “බිසෝ දොළ ඇල්ලට” සමාන්තරව දිවෙන මාර්ගය කෙළවර පොල්වත්ත ගම්මානයේ මෙම විහාරස්ථානය පිහිටා ඇත.

කලෙකට ඉහතදී දඹදිවින් වැඩම කරවා රෝපණය කැර ඇති තාමත් තුරුණු වියෙහි පසුවන විහාරයේ බෝධීන් වහන්සේ බොදු නෙතට රසඳුනක් වැන්න. පොල්වත්ත, මැදිකැලේ, නුගේවත්ත, මාපලන්වත්ත යන ගම්මාන හතරකට මැදි වී ඇති මෙම විහාරස්ථානය දහම් පාසලකින්, ළදරු පාසලකින් සහ මරණාධාර සමිතියකින් සමන්විත වේ.

මෙහි විහාරාධිපතිත්වය උසුලනුයේ කුරුවිට කොරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ‘ප්‍රවචන කීර්ති ශ්‍රී වාදීභසිංහ’, මාහර, පොල්වත්ත, වියලගොඩ සහ අස්ගඟුල යන සිව්මහ විහාරාධිපති, අස්ගඟුලේ විමලරතන නා හිමියන් ය. දැනට විහාරාධිකාරීත්වය දරනුයේ පූජ්‍ය මීගොඩ සුමනරතන හිමියන් ය.

ඉකුත් දා විහාරස්ථ අභිනව චෛත්‍ය රාජයාගේ කොත නිරාවරණය කළේ කොළඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වේරහැර අරියවංශ නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රමුඛත්වයෙනි. එදිනම විහාරාධිපති නා හිමියන්ගේ උපන්දිනය ද විය.
 


බෝධීන් වහන්සේගේ දසුනක්

අභිනව චෛත්‍ය රාජයාණන් ඉදි කිරීමේ දී අවශ්‍ය ගඩොල් තොගයක් ලබා දීමෙන් හිටපු ලංකා බැංකු කළමනාකාර ඊ.ඩබ්. ජයතිස්ස මහතා ද, කොත් වහන්සේ පූජා කිරීමෙන් පොල්වත්තේ ඒ.ජී. විලියම් සිංඤෝ මහතා ද, චූඩා මාණික්‍යය පූජා කිරීමෙන් ඇහැලියගොඩ උපාලි ජයතිස්ස මහතා ද පූර්ණ දායකත්වය ලබා දී ඇත.

විහාරාධිපති අස්ගඟුලේ විමලරතන නා හිමි

විහාරාධිකාරී මීගොඩ සුමනරතන හිමි.

මෙම විහාරස්ථානය මේ තත්ත්වයට පත් කිරීමේ ගෞරවය අනිවාර්යයෙන්ම පූජ්‍ය විමලරතන නා හිමියන්ට හිමිවිය යුතු බැව් විහාරාධිකාරී සුමනරතන හිමියෝ අවධාරණය කරති.

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.