Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇතිකර ගනිමු

ජීර්ණ පද්ධතිය හොඳට ක්‍රියාත්මක වන ශරීරයකට පෝෂ්‍යදායි ආහාරයන් වළඳපුවා ම ශරීරය ට ඒක ඔරොත්තු දෙනවද? නැද්ද? ඔරොත්තු දෙනව. ඒ වගේ ශාස්තෘ ගෞරවයට පැමිණුන ගමන් මේ ධර්මය එයා පිළිපදිනවා. ඒක සිද්ධ වෙන දෙයක්. ඒකයි මේ සංසාර ගමන නතර කරන්ට පුළුවන්කම තියෙන්නෙ

එහෙම යනවා කියන එක සිද්ධ වෙන්නෙ නෑ. ඇයි? ශාස්තෘ ගෞරවය තියෙන නිසා. ඒක ධර්මතාවක්.

ශාස්තෘ ගෞරවය තියෙන කෙනා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සමාන අය ඇසුරු කරනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට සමාන අය ඇසුරු කරන කොට ශීල කතාවට ඒ අය පෙළඹෙනවා. සමාධි කතාවට ඒ අය පෙළඹෙනවා. ප්‍රඥා කතාවට පෙළඹෙනවා. එතකොට ඒ කතාව ඒ අයට සුව පහසුව පිණිස පවතිනවද නැද්ද? සුව පහසුව පිණිස පවතිනවා. ආන්න ඒ විදිහට කතා කරනකොට සුව පහසුව ඇතිවෙනවා නම්, ඒ අය ළඟ ආරවුල් අමනාපකම් ,මතභේද, රණ්ඩු සරුවල්, හටගනීද? හටගන්නෙ නෑ. ඒ අය තුළ සංසිදීම තියනව නේද? මිත්‍ර භාවය තියෙනව නේද? එහෙනම් බලන්න කිරි යි දිය යි එකතු වුණා වගේ එකමුතුවීම තියනව ද නැද්ද? තියනවා. එහෙනම් එබඳු සුන්දර සමාජයක් ඇතිවන්නේ කුමක් මුල් කරගෙනද? ශාස්තෘ ගෞරවය මුල්කරගෙන යි. ශාස්තෘ ගෞරවය තියෙනවා නම් යම් කෙනෙක් තුළ, ශාස්තෘන් වහන්සේ දේශනා කරල තියෙන කාරණා එයා පිළිපදියි ද? නැද්ද? පිළිපදිනවා. ඒක නිරායාසයෙන් සිද්ධ වෙන දෙයක්.

ජීර්ණ පද්ධතිය හොඳට ක්‍රියාත්මක වන ශරීරයකට පෝෂ්‍යදායි ආහාරයන් වළඳපුවාම ශරීරයට ඒක ඔරොත්තු දෙනවද? නැද්ද? ඔරොත්තු දෙනව. ඒ වගේ ශාස්තෘ ගෞරවයට පැමිණුන ගමන් මේ ධර්මය එයා පිළිපදිනවා. ඒක සිද්ධ වෙන දෙයක්. ඒකයි මේ සංසාර ගමන නතර කරන්ට පුළුවන්කම තියෙන්නෙ. එහෙම නැත්නම් සංසාර ගමන නතර වෙන්නෙ නෑ. දැන් බලන්න ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය තියනවා නම්, එයා ශ්‍රද්ධාවට එනවා. ශ්‍රද්ධාවට ආපු කෙනා අතින් සතර අපායෙ වැටෙන කර්ම කරනවාද? කෙරෙන්නෙ නෑ. එයා නිවන් මඟට එනවා නේද? එහෙනම් ශාස්තෘ ගෞරවය යම් කෙනෙක් තුළින් ගිළිහුණොත්, එයාට සංසාරෙන් නිදහස් වෙන අවස්ථාව ගිළිහිලා යනවා.

එහෙනම්, අපිට ශාස්තෘ ගෞරවය තියෙනවද නැද්ද? කියල මැන ගන්ට මිම්මක් තියෙනව. මේ ඉගෙන ගන්නා වූ ධර්මය අප තුළ තියෙනවද බලන්න. බලන්න මා ඇසුරු කරන්නෙ සීල, සමාධි, ප්‍රඥා වලින් හීන අය ද කියල. අන්න එහෙම නම් තමා ගැන තමා ම නිගමනයකට එන්ට මගේ ශාස්තෘ ගෞරවය මදි. එහෙම ගෞරවයක් තිබුණ නම් මම ඒ ලාමක තෘප්තියකට යන්නෙ නෑ කියල. බලන්න තමාට සම අයගෙ ඇසුරෙද ඉන්නෙ. සම අයගෙ ඇසුරෙ ඉන්නවානම් ඒක මැන ගන්නෙ කොහොමද? තමාගෙ කතා කිරීම් වලින්. ඒ කතා බහ වලින් සතුටට පත්වෙනවා. මත ගැටුම් එන්නෙ නෑ. අමනාපකම් එන්නෙ නෑ. ආන්න එතකොට තේරුම් ගන්ට අපි ඇසුරු කරන්නෙ සමාන අය කියල. සම අය ඇසුරෙ ඉන්නවා කියල. ඒක ධර්මතාවයක්. ඒ අය කතාවෙන් පි‍්‍රය මනාපයි. ඒ කතාව සංසිදීමට උපකාර වෙනවා. ඊළඟට බලන්න අපි උසස් අය ඇසුරු කරනවාද? කියන කාරණාව. එකත් තේරුම් ගන්ට. ඒක කොහොමද? තේරුම් ගන්නෙ. අපේ සිත කැමැතියි නම්, උසස් අය ගරු බුහුමන් කරල ඇසුරු කරන්නට, සත්කාර කරමින් ඇසුරු කරන්නට කැමැතියි නම්, ආන්න එතකොට එයා ශාස්තෘ ගෞරවයෙන් යුක්තයි. අපේ සිත කැමැති නැත්නම් එහෙම ඇසුරු කරන්ට, අපි කැමැති වෙන්නෙ තමාට ගෞරවයක් ලබන්ට. එතකොට කැමැති වෙන්නෙ නෑ ගරුසරු ඇතිව ඇසුරු කරන්ට. එතකොට එයාගෙ ශාස්තෘ ගෞරවය නැතිවෙලා. ආන්න ඒ විදියටයි මැනගන්නෙ. ඒ විදියට අපි ගැන අපි ම මැන ගත්තොත් ඒක තමයි ධර්මය ජීවිතයට ගළපලා බලන විදිහ. එතකොට අපිට තේරෙනවා අපි ධර්මය පුරුදු කරනවද නැද්ද කියන එක. මේක ප්‍රත්‍යවේක්ෂා කරන විදිහක්. එතකොට අපේ ජීවිතය පිරිහෙන්නෙ නැති විදිහට හදා ගන්ට පුළුවන්. එහෙම නැත්නම් අපිට ලැබුණ මේ මහා ලාභය අහිමි වෙලා යනව. අපට මේ ලාභය අහිමි වුණොත් එහෙම අපි ඒක අන් අයටත් අහිමි කරන අය බවට පත් වෙනවා. ඒකයි තියෙන භයානකම අනතුර. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්ට ඕනෑ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් මිනිසුන්ට අනුකම්පාවෙන්. යහපත පිණිස සැපත පිණිස මහා කරුණාවෙන් පිහිටුවා වදාළ මේ ශාසනය, අද වෙනකොටත් අපට යහපත ඇති කර ගැනීම පිණිස තාමත් ජීවමානයි කියල.

එහෙනම් තමන්ටත් අනුකම්පාවෙන් දෙවියන් මිනිසුන් සියලු දෙනාට අනුකම්පාවෙන් අප විසින් ඇතිකර ගත යුතු සුවිශේෂ ම වූ ධර්මය මොකක්ද? ශාස්තෘන්වහන්සේ කෙරේ ගෞරවය .අන්න ඒ ගෞරවය යම් කෙනෙක් ඇති කර ගත්තොත්, එයාට ධර්මය කෙරේ. ගෞරවය ඇති වෙනවා. ශාස්තෘන්වහන්සේ කෙරේ ගෞරවය ඇති කර ගන්ට පුළුවන්කම තිබෙන්නේ ඒ ඇසූ ධර්මය අදහා ගැනීමෙන්. ඒ ධර්මය අනුව කටයුතු කිරීමෙන් ශාස්තෘ ගෞරවය පිහිටනවා. ඒ ධර්මය පිළිපදිනව නම් එතන ශාස්තෘ ගෞරවය තියෙනව. අන්න ඒ විදියට කල්පනා කරල මේ ධර්මය අපේ ජීවිතයට ගළපා ගන්ට බලන්න. එතකොට අපි කාටත් පුළුවන් කමක් තියෙයි ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ විදර්ශනා, කියන මේ ධර්මයන් පුරුදු කරමින් අපේ ජීවිතය සාර්ථක කර ගන්ට, සියලු දෙනාටම මේ ජීවිතය අවාසනාවන්ත නොවී අතිශයින්ම වාසනාවන්ත වීම පිණිස මේ ධර්ම කාරණා උපකාර කරගැනීමට සිත් පිහිටාවා කියල අපි ආශිර්වාද කරමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.