Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහර ශ්‍රී විවේකාරාමය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරව පූර්වක භක්තියෙන් වඳින පුදන ආනන්ද බෝධින් වහන්සේගේම අංකුරයක් රෝපණය කිරීමත් සමඟම දහම් සිසිලසින් සිත් නිවී සැනැසෙන මහර ශ්‍රී විවේකාරාම විහාරස්ථානය සාසනික සම්ප්‍රදායානුකූලවම ඇවතුම් පැවතුම් ඇති පූජනීය ස්ථානයකි.


මුද්‍රා දැක්වෙන පිළිරූ

මහනුවර කොළඹ කඩවත හරහා දිවෙන මහා මාර්ගය ආසන්නයේ කිරිබත්ගොඩ පසුකරවනවාත් සමගම ආසන්නවන මහර ශ්‍රී විවේකාරාම විහාරස්ථානය ඉපැරැණිම සිද්ධස්ථානයක් නොවූවත් ඉතා ඉක්මනින් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සැදැහැවතුන්ගේ සිත් තුළ පැලපදියම් වී ඇත්තේ ආනන්ද බෝධියේ ශාන්ත පිහිටිමත් මෙතෙක් විහාරස්ථානයක බස්නාහිර පලාතේ දී දක්නට ලැබී නැති බුද්ධ ප්‍රතිමා වහන්සේලාත් ඉපැරණි ක්‍රමවේද අනුව යමින් කෙරෙන පුද පූජාත් නීතිරිති නැති අවබෝධයෙන් ගත සිත සංවර කර ගැනීමට නැඹුරු කොට ඇති ස්වාමීන් වහන්සේලාගේ අවවාද රටාවත් නිසා යැයි සිතේ.

විහාරස්ථානාධිපති ශාස්ත්‍රවේදී ගරු මීගහතැන්නේ සංඝරක්‍ඛිත හිමි තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වුවත් ගැඹුරු ආගමික නැඹුරුවත් ධර්මධර බවත් පැසුණු මහ තෙරුන් වහන්සේ නමකගේ මෙන් ප්‍රසන්නය.

විහාරස්ථානයේ යටගියාව පිළිබඳ තොරතුරු දක්වමින් සංඝරක්‍ඛිත හිමි ප්‍රකාශ කළේ වර්ෂ 1925 දී මෙම ස්ථානයෙහි කුඩා ආවාසයක් තිබුණු බවය. සිංඤො ප්‍රනාන්දු හා මච්චො ප්‍රනාන්දු යන දම්පතින් විසින් මෙම භූමිභාගය පූජාකර තිබේ.

වස් කාලවලදී භික්‍ෂූන් වහන්සේ වැඩ සිටියත් කඩින් කඩ නොමැති වූ අවස්ථාද වූයේ ය. වර්ෂ 1964 වනතුරු එබඳු ක්‍රමයක් පැවැතියේ ය. 1964 දී දඹදිව වන්දනාවේ ගියා වූ ඇලන් අමරසිංහ නම් වූ උපාසිකාවක් දෙව්රම්වෙහෙර ඉදිරිපිට ඇති ආනන්ද බෝධියෙන් පැළයන් ගෙන වුත් තරමක් වැවෙනතුරු සිට පසුව මෙම පන්සල් බිමෙහි රෝපණය කර ඇත්තේ ය.

එතැන් පටන් මෙම විහාරස්ථානය ස්ථාවර ලෙස ආරම්භ කෙරී ඇත්තේ ය.

එවක වැඩම කර සිටි පූජ්‍ය අකරගම සිරිධම්ම හිමියෝ ගම්වැසියන් සමඟ එක්ව බෝපැලය ඉදිරිපිට කුඩා විහාරයක් තනවා පුද පූජා කරවූහ.


චෛත්‍යරාජයාණන් වහන්සේ

පසුව එම හිමියන් මූලිකව ධර්ම ශාලාවක් සාදා ඇති අතර 1970 දසකයේ දී ආවාසය සාදා තිබේ. උන්වහන්සේ 1988 දී අපවත්වීමත් සමග 1997 වනතුරු භික්‍ෂූන් වහන්සේ නමක් නොසිටි නමුදු පර්ලි වීරසිංහ උපාසිකාව මූලිකව ධර්ම ශාලාව අලුත්වැඩියා කර චෛත්‍යය ඉදිකර ඇති අතර 1999 දී කළුතර උතුර අශෝකාරාම මහා විහාරස්ථානයට පවරා තිබෙන්නේ ජනතාව විසිනි. කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක පරකඩුවේ සරණංකර හිමියන් විසින් වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රවේදී මීගහතැන්නේ සංඝරක්‍ඛිත හිමියන්ට භාර දී ඇත්තේ ය.


මීගහතැන්නේ සංඝරක්‍ඛිත හිමි

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර ඇති මුද්‍රා 12 ක් සහිත බුදු පිළිම වහන්සේලා එක තැනක දැකිය හැකි විරළ අවස්ථාවකි. එයට අමතරව ඝණ්ඩාකාරද, බුබ්බුලාකාර සියලු හැඩසහිත ස්ථූප ඉදිකිරීමට ද සැළසුම් කර තිබේ. 1976 දී ආරම්භ කළ ශ්‍රී ධර්මරාජ ධර්ම විද්‍යාලය මේ වන විට සිසු දරුවන් 400 ක් පමණ ඉගෙනීමේ යෙදෙන අතර ධර්මාචාර්ය පන්තිද පැවැත් වේ.

ගුරු භවතුන් 18 දෙනෙකු අධ්‍යාපනය ලබාදෙමින් දිනෙන් දින ප්‍රභාමත් බවට පත්කර ඇත්තේ ය.

විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වන ධර්ම රාජ පදනම සුවිශේෂ සමාජ මෙහෙවරක් ඉටු කරන්නේ ය. සිසුනගේ අධ්‍යාපනය සඳහා ආර්ථික ශක්තිය ලබාදීම ප්‍රධාන අරමුණකි. දැනටත් උසස් පෙළ විභාගය අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවකුට මාසිකව මූල්‍යමය පහසුකම් ලබා දෙති.

“ධර්මරාජ යොවුන් පදනම” මඟින් යොවුන් විය දහම් මඟට යොමු කරවන සමාජ එකතුවකි. මෙම යොවුන් පදනම මඟින් දාන, තොරණ, ශ්‍රමදාන වැනි බොහෝ කටයුතු ඉටු කරති. තරුණ පිරිස් විහාරස්ථානයට ළංකර ගැනීම මෙහි සුවිශේෂ ඉලක්කය වේ.

ධර්මරාජ පදනම මගින් මෙහෙයවනු ලබන අන්තර්ජාලය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදේ. එහිදී සිරිත්මල්දම, ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය ධම්ම පද වැනි ග්‍රන්ථ තොරතුරු ලබාගත හැකි වන්නේ ය.


දඹදිව ආනන්ද බෝධි ශාඛාව

මෙම ලෝක ධර්ම ප්‍රචාරක වැඩසටහන වටිනාලෝක සේවයක් වනු නියතය.

ගමට, රටට, ලෝකයට දහම් පැණ බෙදන්නට මහත් මෙහෙවරක යෙදෙන මීගහතැන්නේ සංඝරක්ඛිත බුද්ධ පුත්‍රයන් වහන්සේ අනාගත ශාසන දීප්තිය සඳහා ගන්නා උත්සාහයට පළාතේ හැම දෙන එක්වී අත්වැල් බැඳගත යුතු වන්නේ උන්වහන්සේ සියලු ශාසනික සම්ප්‍රදායන් ගරු කරමින් බුදුන් වැඩි මඟ ගමන් කරන තරුණ භික්‍ෂූන් වහන්සේ් නමක් නිසාමය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.