Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

ප්‍රශ්නය
බුදු දහමට අනුව සමාජශීලී පුද්ගල නිර්මාණය වියයුත්තේ සමාජයීය මාධ්‍යයක් තුළදීමයි. ඒ නිසාම පුද්ගල ජීවිත පැවැත්ම අන් අයගේ අගය වටිනාකම පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් විය යුතුයි.

තම පෞරුෂයේ වටිනාකම නැතිනම් අගය පිළිබඳ හැඟීම උද්ගත වන්නේ තමා වටා සිටින හා පවතින පරිසරය ඇසුරෙනි. කෙනෙකුගේ පෞරුෂය යන්න බොහෝදුරට ඔහු අවට ඇති පරිසරයේ ප්‍රතිඵලයකි. එම පරිසරයේම කොටසකි.

සිගාලෝවාද සූත්‍රයෙන් බුදුන් වහන්සේ අවධාරණය කරන යුතුකම් හා අයිතිවාසිකම් ප්‍රවණතාව හා ඉහත සඳහන් අදහස කොතෙක් දුරට සමගාමී වන්නක් ද යන්න පැහැදිළි කරන්න.

පිළිතුර
සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුරදුන් අවධාරණය කොට දක්වන්නේ යුතුකම් වලින් අයිතිවාසිකම් ගම්‍යමානවන බවත් අයිතිවාසිකම් වලින් යුතුකම් ගම්‍යමාන වන බවත්ය. අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූව¢ක ආකල්පයක් දක්වන්නේ නැත්නම් දුදනන් සහ මෝඩයන් බහුල සමාජයක් බිහිවන ලකුණු පහළවන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන් පිරිහී පුද්ගල අගය ද හීනවී යන බවත්ය.

එයින් අදහස් වන්නේ සොබාදහම අප වෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප විසින් ද සොබාදහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය කරයි. ස්වභාවධර්මය සමඟ කතා බහක් ඇති කරගත හැකි එකම මඟ නම් බුදුසමය බව විශ්වාස කරයි. මක්නිසාද යත් ස්වභාව ධර්මයාගේ ස්වභාවයට අනුකූ®ලවීම සදාචාරය වන නිසාය.

ස්වභාවධර්මය අප සාවද්‍ය විධියට පරිහරණය කළහොත් ඒ සඳහා අවිචාරවත්ව කටයුතු කළහොත් අපට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු නො අනුමානය. බුදු දහමට අනුව මෛත්‍රිය වනාහී සකල සත්වයන් කෙරෙහිත් ස්වභාව ධර්මයා කෙරෙහිත් පැතිරවිය යුතු දහමකි.

බුදුසමය හුදු මානව හිතවාදී පමණක් නොවන බවත් එයින් ඔබ්බට ද ගමන් කරන බවත් මෙයින් පැහැදිලි වෙයි.

ප්‍රශ්නය
බුදු රජාණන් වහන්සේට ‘ විජ්ජා චරණ සම්පන්නෝ’ යනුවෙන් බුදු ගුණයක් සුවිශේෂ වශයෙන් දක්වන්නේ උන්වහන්සේ ප්‍රඥාවෙන් මෙන්ම ශීලයෙන් ද සමන්විත හෙයිනි. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
‘සීලං නාම ආදිචරණං’ බෞද්ධ පිළිවෙත්හි පළමු හැසිරීම සීලයයි. එය නිෂ්ටාවක් (අවසාන අරමුණක්) සාධනය කර ගැනීම සඳහා වූ මාධ්‍යයක් මිස අවසාන අරමුණක් නොවේ.

සීලය විසුද්ධි මාර්ගයෙහි පළමු පියවර පමණි. බෞද්ධයාගේ අරමුණ නිවන් පසක් කර ගැනීමයි. නිවන සිත හෙවත් නුවණ දියුණු කර ගැනීමෙන් ප්‍රඥාව ලබාගත හැකියි. නිවන අවබෝධ කොට ගත හැක්කේ ප්‍රඥාවෙන් පමණක් නිසා සිත හික්මවීමෙන් සමාධිගත කර ගැනීමෙන් ප්‍රඥාව ලබාගත හැකිවන අතර කය, වචනය හික්මවීමෙන් සිත සංවර කරගත හැකිය.

ඒ සඳහා සීලය අවශ්‍ය වේ. බුදු දහමෙහි පදනම ශීලය වන අතර (මුදුන) නිමාව ප්‍රඥාවයි. පක්‍ෂියෙකුගේ පියාපත් යුවළ මෙන් මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධව ක්‍රියා කරන ගුණාංගයෝය. ප්‍රඥාව මිනිසෙකුට දෙනෙත් වැනිය. ශීලය දෙපා වැනිය. බුදුරජාණන් වහන්සේට ‘විජ්ජාචරණ සම්පන්නෝ’ යනුවෙන් සම්භාවන පද යොදන්නේ ප්‍රඥාවෙන් හා ශීලයෙන් ද සමන්විත වූ හෙයිනි.

ප්‍රශ්නය
විඤ්ඤාණය නිසා නාම රූප හටගනී. මෙම ප්‍රස්තුතය යටතේ ගැඹුරු ධර්ම කරුණක් විවරණය වෙයි. එහෙත් සරලව ධර්මානුකූලව විවරණයක කළ හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර
නාම – රූප – ධර්මයන්ගෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකය යි. මෙයින් වේදනා - සඤ්ඤා - සංඛාර – විඤ්ඤාණ යන නමින් ද රූප ස්කන්ධය වශයෙන් කය ( ශරීරය ) හැඳින්වෙයි.

නාම ශබ්දය ‘ නොයෙක් අතට නැමෙන’ යන අදහස නිසා නාමස්කන්ධය ද නම්‍යසුළු ගතිය නිසා ඒ නමින් හැඳින්වෙයි. සුඛ – දුඞඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල වශයෙන් ද නාමස්කන්ධය නොයෙක් අතට පරිවර්තනය වෙයි. රූප යන්න භෞතිකත්වය මත සකස් වූ ධර්මයක් නිසා ක්‍ෂණික පරිවර්තනයයි.

ප්‍රශ්නය
නීවරණ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ කුමක් ගැනද ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර
නීවරණ ( නි + වර් – අවුරන බාධා කරන වළකන ) යනුවෙන් අභිවෘද්ධිය වළකන නිවන් මාර්ගයට බාධා කරන සිත ආවරණ කරන දේ වශයෙන් සැලකෙයි. නීවරණ පසෙකි. මේ පංච නීවරණයන්ගෙන් සිත ආවරණයවූ විට මෘදු නොවේ.

කෙලෙසුන් දමනය කළ නොහැකි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්චය සහ විචිකිච්ඡාව ඒ පසයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.