සෙවණැල්ල සේ ද
ගවයා පසු පස එන ගැල සේ ද ගමන් කරන කර්ම විපාකය
තලල්ලේ
චන්දකිත්ති හිමි
අපමණ ගුණ ඇති තුන්ලොවට ශාස්තෘන් වහන්සේ වූ තථාගතයන් වහන්සේ මහා
කරුණාවෙන් උන්වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය අපගේ යහපත සඳහා දේශනා
කොට වදාළා. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ ධර්මය තුළ ඇති කර්ම විෂය අචින්ත්‍ය
බවයි පෙන්වා වදාළේ. කර්ම විෂයේ විපාක හඳුනා ගත හැක්කේ බුදුරජාණන්
වහන්සේට පමණයි.
කර්මය විග්‍රහ කිරීමේදී එය විශ්ව ධර්මතා පහක එකතුවක්. ඒ විශ්ව ධර්මතා
නියාම ධර්ම වශයෙනුත් හඳුන්වනවා. කර්ම නියාමකය මේ ධර්මතා නියාම වලින්
එකක්. එය අවබෝධ කර ගැනීමට ඉතා අපහසුවූත් සිතා නිම කළ නො හැකි වූත්
විෂයක්. නමුත් කර්මය පිළිබඳව කිසියම් හෝ අවබෝධයක් ලබා තිබීම වැදගත්.
මේ භවයේ යම් යම් කරදර කම්කටොළු බාධක වැනි දේවල් කෙළවරක් නැතිව අප වෙත
පැමිණෙන්නේ වෙන කෙනෙකුගේ වරදින් නොව තමන් භවයේ සැරිසරද්දී කොතැනක දී
හෝ කරගත් වැරැද්දක ප්‍රතික්‍රියාවක් ලෙසිනුයි. ඒ නිසා ඒවාට මුහුණදීම
සසර සැරිසරන තුරා ම කළ යුතු වෙනවා. එයට හේතුව සසර සැරිසරන කිසිවෙකු
සියයට සියයක්ම හොඳ හෝ නරක පමණක් නො කරන බැවිණි. සසර සැරිසරන පුහුදුන්
ස්වභාවයෙන් යුත් පුද්ගලයා සමහර අවස්ථාවක හොඳද තවත් අවස්ථාවක නරකද
සිදුකරනු ලබනවා. ඒ අනුව හොඳ සහ නරක දේ ඵල විපාක ද ඒ ඒ ආකාරයෙන් ඔහුට
විඳින්නට සිදු වෙනවා.
කර්ම යනු ක්‍රියාවයි. මේ විශ්වය තුළ සිදුවන සෑම ක්‍රියාවක්ම කර්ම ලෙස
හඳුන්වන්න පුළුවන්. ග්‍රහ ලෝක සූර්යයා වටා භ්‍රමණය වීම, ග්‍රහලෝක
ඇතිවීම, නැතිවීම ගසකින් කොළයක් අත්තක් ගෙඩියක් බිමට වැටීම, ඵල දැරීම,
සුළං හැමීම, භූ®මිකම්පා, ගිනිකඳු පිපිරීම, සුනාමි ආදි සෑම දෙයක්ම
ක්‍රියාවක්. ඒ අනුව මුළු විශ්වයේම ක්‍රියාකාරීත්වය කිසියම්
ක්‍රියාදාමයක් අනුව සිදු වෙනවා. ඒ විශ්ව ක්‍රියාකාරීත්වය පංචමහා
භූතයන්ගේ ක්‍රියාකාරීත්වය අනුවයි සිදුවන්නේ. මෙබඳු දේත් කිසියම්
ක්‍රියාවක් ලෙස හැඳින්වුවත් බුදුදහම කර්මය වශයෙන් අදහස් කරන්නේ
චේතනාවකින් මෙහෙයවනු ලබන ක්‍රියාවකුයි. එවිට කර්මය මනස කය සහ වචනයේ
පිහිට ගෙන සිදුවන දෙයක් බව තේරුම් ගත යුතුයි. (චේතනාහං භික්ඛවේ කම්මං
වදාමි. චේතයිත්වා කම්මං කරෝති. කායේන වාචාය මනසා)
එසේ රැස්කරනු ලබන කර්ම අප අත් නොහැර විටෙක සෙවණැල්ල සේ ද විටෙක ගවයා
පසුපස එන ගැළ සේ ද තමා සමඟම ගමන් කරනවා. අවස්ථාව ලද විගස විපාක ද ගෙන
දෙනවා. විපාක දීමේ ශක්තිය අපගේ උපත ඇති කරවන්නට ද හේතු වෙනවා. කර්මය
හේතුඵලවාදයට අයත්. බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම අවබෝධ කරගෙන අන් අයට
අවබෝධ කරවීමට ද දම් දෙසූ බැවින් අන් අය විසින් කර්ම යෝගියෙකු වශයෙන් ද
හඳුන්වා දී තිබෙනවා. හේතුඵල දහමෙහි භවය වශයෙන් දැක්වෙන්නේ විපාක පිණිස
කර්ම රැස්වී තිබීමයි. එය අයත් වන්නේ භවගාමී කර්ම හැටියටයි. කර්මය
තේරුම් නො ගන්නේ නම් පින පව හඳුනන්නටද අපහසු වෙනවා.
අනවබෝධයෙන් ජීවත්වන, පින, පව හඳුන්නේ නැතිව කටයුතු කරන අයට ඔවුන් එසේ
කරන්නේ “හයක් හතරක් නොතේරෙනකම” නිසා යැයි පැරැන්නන් පවසනවා. නො තේරෙන
හය නම් දිව්‍යලෝක හයයි. නොතේරෙන හතරනම් සතර අපායයි. දිව්‍ය ලෝකයේ
උපදින්නේ හොඳ කර්ම හෙවත් පින් කළ විටයි. සතර අපායේ උපදින්නේ පව් රැස්
කළ විටයි. එසේ නම් හයක් හතරක් තේරෙන්නේ නැතැයි පවසන්නේ දිව්‍ය ලෝකවල
උපදින්නට හේතුවන පින හඳුනන්නේ නැතිකම සහ සතර අපායේ උපදින්නට හේතුවන පව
හඳුනන්නේ නැතිකමයි.
කර්මය පිළිබඳව සරල හෝ අවබෝධයක් තිබෙන තැනැත්තා පවෙන් වළකිනවා. පිනෙහි
යෙදෙනවා. පව නොකළ යුතු දෙයක්, දුක ඇතිකරවන දෙයක්, තමන් ව දුගතිගාමි
කරවන දෙයක් බව තේරුම් ගන්නා අතර පින කළයුතු දෙයක්. සැප ඇතිකරවන දෙයක්.
එය තමන් සුගතිගාමි කරවන එකක් බවත් තේරුම් ගන්නවා. එවිට ඔහු තමාටත්
අනුන්ටත් අහිත ඇති කරවන පවෙන් වළකිනවා. තමාටත් අනුන්ටත් හිතසුව පිණිස
වන පිනෙහි යෙදෙනවා. කළ යුතු දේ කරන නො කළ යුතු දේ නො කරන ඔහු සුවසේ
ජීවත් වෙනවා. මේ පිළිබඳ කුඩා හෝ අවබෝධයක් අපට තිබිය යුතුයි.
අධිෂ්ඨාන පාරමිතාව විස්තර කරනු පිණිස ජාතක පොතෙහි දක්වා ඇති තේමිය
ජාතකයෙහි එන තේමිය කුමාරයාට තමනට හිමි රජකම පවා භාර ගැනීමට අකමැති
වූවා. එයට හේතුව පෙර භවයක ඉතා කෙටි කලක් රජ වී එම කාලයේ කළ වැරැදිවල
විපාක ලෙස අවුරුදු දහස් ගණනක් අපායේ දුක් විඳින ආකාරය සිහිපත් වූ
නිසායි. මේ නිසා මෙලොව ජීවත් වන කිසිවෙකුටත් මේ කර්ම නීතියෙන් මිදෙන්නට
හැකියාවක් නැති බව තේරුම් ගත යුතුයි.
මේ නිසා මිනිසත් බවක් ලබා ඇති අප සැවොම විසින් හැකි තරම් පින් රැස්කර
ගෙන සංසාරිකව විඳිය හැකි දුක් අඩුකර ගැනීමට උත්සාහ ගත යුතුයි. කුඩා
වතුර කෝප්පයකට ලුණු කැටයක් දැමූ විට වතුර ද ලුණු රස වෙනවා. නමුත් ඒ
ප්‍රමාණයෙන්ම ලුණු කැටයක් පොකුණකට දැමූ විට එහි වතුර ලුණු රස වෙන්නේ
නැහැ.
මෙයට හේතුව පොකුණේ වතුර ප්‍රමාණය වැඩිවීමයි. එලෙසින් යමෙක් අතින්
කිසියම් පාපයක් සිදු වුවත් ඔහු එබඳු දේ නැවත නො කොට වැඩි වැඩියෙන්
පුණ්‍ය කටයුතුවල ම යෙදේ නම් ඔහු විසින් කරන ලද පාපයේ විපාක ශක්තිය
අඩුකර ගත හැකි වෙනවා. ආනන්තරිය පාප කර්මයක් නම් එසේ වෙනස් කරන්නට නො
හැකියි.
යමෙක් සත්‍යාවබෝධය සිදු කරන්නේ නැතිව මිය යන්නේ නම් ඔහු අනිවාර්යෙන්ම
නැවත උපදිනවා. මේ උපතට මුල් වන්නේ ද අතීතයේ දී රැස් කරන ලද කර්ම සහ
තමන් ජීවත් වූ කාලයේ දී සිදු කරන ලද පින සහ පව ය. එනිසා පාපයට බිය
වන්න. පිනට කැමැති වන්න. ධර්මයට පි‍්‍රය වන්න. තමන් උපමාවට ගෙන කිසි
දිනෙක තව කෙනෙකු දුකට වේදනාවට වෙහෙසට පත්කරන්නට එපා. තමා කළ කර්මවල
විපාක තමන් පසුපස එන බවත් එයට වගකිවයුත්තේ තමන්ම බවත් මතක තබා ගන්න. තම
තමන් ගෙවන්නේ අනුන්ගේ කර්ම නොව නොදැනුවත්ව හෝ දැනුවත්ව තමන් ම රැස් කළ
කර්මයක විපාකයක් බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ.
සටහන –
නයනා නිල්මිණි |