Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පින්, පව් හා කුසල් අතර ගැඹුරු වෙනසක් පවතිනවා

සොරකම් කරන්න හිතුවොත් අකුසල්. සොරකම් කළොත් පව්. බොරු කියන්න හිතුවොත් අකුසල්, බොරු කිව්වොත් පව්. මත්පැන් පානය කරන්නට හිතුවොත් අකුසල්, මත්පැන් පානය කළොත් පව්. යමෙකුට ගහන්න හිතුවොත් අකුසල්, ගැහුවොත් පව්.

පි න්, පව් හා කුසල් අතර ගැඹූරු වෙනසක් පවතිනවා. උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. යම්කිසි පුද්ගලයන් දෙදෙනකු හොරකම් කරන්න යනවා. එක් පුද්ගලයකු බඩු හොරකම් කරනවා. අනෙක් පුද්ගලයා හොරකම් කිරීමට සැරසෙන විටම හසුවෙනවා. ඔහුට හොරකම කිරීමට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ අනුව එක් සොරෙකුට බඩු ලැබෙනවා. තවත් සොරෙකුට බඩු ලැබෙන්නෙ නැහැ. මොවුන් දෙදෙනාගේම චේතනාව හොරකම් කිරීම වුවත් චේතනාවෙන් පව විග්‍රහ කරන්න බැහැ.

චේතනාහං භික්‍ඛවේ කම්ම වදාමි.... යන්නෙන් පෙළ දහමේ විග්‍රහ කරන්නේ කර්මයයි.

එක් පුද්ගලයෙකු සොරකම සිදුකරනවා. අනෙක් පුද්ගලයාට සොරකම සිදුකරගැනීමට අවස්ථාව නොලැබෙනවා. මොවුන් දෙදෙනා සමාන වෙන්නෙ නැහැ. සොරකම් කරන්න හිතපු පුද්ගලයාත් සොරකම් කළ පුද්ගලයාත් සමාන වෙන්නෙ නැහැ. බොරු කියන්න හිතපු පුද්ගලයාත් බොරු කියූ පුද්ගලයත් සමාන නැහැ. පර පණ නසන්නට හිතපු පුද්ගලයත් පර පණ නැසූ පුද්ගලයාත් සමාන නැහැ.

සතුන් ඝාතනය, සොරකම් කිරීම බොරු කීම, ආදී සෑම ක්‍රියාවකම ක්‍රියා ගණනාවක එකතුවක් පවතිනවා.

උදාහරණයක් වශයෙන් සොරකම් කිරීම සැලකූ විට සොරකම යන ක්‍රියාව සඳහා සොරකම් කරන්නට සිතීම, සොරකම් කිරීමට සැලසුම් කිරීම, සොරකම් කිරීම, භාණ්ඩ නැතිවීම යන සිව් ආකාරයේ පියවරයන් සම්පූර්ණ විය යුතුයි. පෙළ දහම තුළ මෙය පියවර පහකින් විග්‍රහ කර තිබෙනවා. මෙකී ක්‍රියාවලියේ අවසාන ක්‍රියාව සම්පූර්ණ නොවී සොරකම සිදු වන්නෙ නැහැ.

සත්ව ඝාතනය සම්පූර්ණ වෙන්නෙ සත්වයාගේ ජීවිතය නැතිවීමෙන්, බොරු කීම අවසන් වෙන්නෙ රැවටීමෙන්, මත්ද්‍රව්‍ය පානය අවසාන වෙන්නෙ මත්බවට පත්වීමෙන්. සොරකම් කරනවා කියන ක්‍රියාව සම්පූර්ණ වීමට නම් භාණ්ඩ නැතිවෙන්න ඕනෑ. ක්‍රියාවලියේ මුල් පියවර සම්පූර්ණ වුවත් අවසාන පියවර සම්පූර්ණ නොවී ක්‍රියාව සම්පූර්ණ වෙන්නෙ නැහැ.

ක්‍රියාව සිත සහ කය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. සිතින් සිතීමත්, සැලසුම් කිරීමත් සිදුකරනවා. කයින් එකී සිතිවිල්ලට, සැලසුමට අනුව ක්‍රියාවේ යෙදෙනවා. පළමුව පුද්ගලයා සොරකම් කිරීමට හිතනවා. අනතුරුව සැලසුම් කරනවා, ඒ අනුව කයින් ක්‍රියාවේ යෙදීම නිසා භාණ්ඩ නැතිවෙනවා.

පෙර සඳහන් කළ සොරුන් දෙදෙනාගෙන් එක් අයෙක් හිතින් හිතලා සැලසුම් කරලා කය යොදවලා හොරකම සිදුකළ නිසා භාණ්ඩ නැතිවුණා. අනෙක් සොරා හිතින් හිතලා සැලසුම් කරලා සොරකම සිදුකළත් භාණ්ඩ නැතිවුණේ නැහැ. සිතින් කළාට කයින් ක්‍රියාව සිදුකොට අවසන් කරන්න බැරි වුණා. ඒ අනුව එක් අයෙක් සිත, කය මෙහෙයවලා සොරකම සිදුකරනවා. අනෙක් පුද්ගලයා සිත පමණක් ක්‍රියාත්මක කරනවා, කය ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙනවා. පළමු පුද්ගලයාගේ හිත දූෂණය වෙලා කය දූෂණය වෙනවා. දෙවැනි පුද්ගලයාගේ සිත දූෂණය වෙනවා. කය දූෂණය වෙන්නෙ නැහැ. මන්ද? ඔහුට භාණ්ඩ සොරාගැනීමට හැකි වෙන්නෙ නැහැ. කය දූෂණය වීමට පෙර සිත දූෂණය වීම අනිවාර්යයෙන් සිදුවෙනවා. සිත දූෂණය නොවී කය දූෂණය වෙන්නෙ නැහැ. පළමුව සොරුන් දෙදෙනාම සිත දූෂණය කරගන්නවා. කය දූෂණය කරගන්නෙ එක් අයෙක් පමණයි.

යම්කිසි කෙනෙක් වැරැදි ක්‍රියාවක් කිරීමට හිතන විටම ඔහුගේ හිත දූෂණය වෙනවා. එය අකුසලයක්. සිතින් සිතන වැරැදි සිතිවිලි අකුසල් සිතින් සිතන යහපත් සිතිවිලි කුසල්. කය යොදවලා කරන වැරැදි ක්‍රියා පව්.

කය යොදවලා කරන යහපත් ක්‍රියා පින. ඉහත සඳහන් කළ හොරු දෙදෙනාටම පව් සිදුවන්නෙ නැහැ. නමුත් දෙදෙනාටම අකුසල් සිදු වෙනවා. සිතින් වැරැදි කළොත් අකුසල්, කයින් වැරැදි කළොත් පව්. සෑම අකුසලයක්ම පවක් වෙන්නෙ නැහැ. නමුත් සෑම පවක්ම අකුසල වෙනවා.

සොරකම සිදුකළ පුද්ගලයාට අකුසල්, පව් දෙකම වෙනවා.

හොරකම් සම්පූර්ණ නොවුන පුද්ගලයාට අකුසල් පමණක් සිදු වෙනවා පව් සිදු වෙන්නෙ නැහැ. ඒ අනුව දෙදෙනාටම අකුසල්. එක් අයෙකුට පමණක් පව් පිරෙනවා.

සොරකම් කරන්න හිතුවොත් අකුසල් සොරකම් කළොත් පව්. බොරු කියන්න හිතුවොත් අකුසල්, බොරු කිව්වොත් පව්. මත්පැන් පානය කරන්නට හිතුවොත් අකුසල්, මත්පැන් පානය කළොත් පව්. යමෙකුට ගහන්න හිතුවොත් අකුසල්, ගැහුවොත් පව්.

පව් කළොත් අනිවාර්යයෙන් අකුසල් සිදුවෙනවා. අකුසල් කළොත් අනිවාර්යයෙන් පව් සිදුවෙන්නෙ නැහැ. යමෙකුට අකුසල් සිදුකොටගෙන පව් සිදු නොකරගෙන ඉන්න පුළුවන්.

පුද්ගලයාට මානසිකව දූෂණය වෙන්නත් මානසිකව පෝෂණය වෙන්නත් පුළුවන්. එලෙසම කායිකව දූෂණය වෙන්නත් කායිකව පෝෂණය වෙන්නත් පුළුවන්.

මානසිකව දූෂණය වුණොත් අකුසල්, පෝෂණය වුණොත් කුසල්, කායිකව දූෂණය වුණොත් පව්, කායිකව පෝෂණය වුණොත් පින්.

පෙර සඳහන් කළ සොරුන් දෙදෙනා මනසින් දූෂණය වෙලා. ඒ අනුව දෙදෙනාටම අකුසල් සිදුවෙලා. එක් අයෙක් කායිකව දූෂණය වෙලා. ඒ අනුව ඔහුට පව් සිදුවෙලා.

අකුසලය යනු පාපයේ මානසික අවස්ථාවයි. කුසලය යනු පිනේ මානසික අවස්ථාවයි. පුද්ගලයාට කයින් විපාක විඳීමට සිදුවන්නේ පින් සහ පව් වලට පමණයි. අකුසල්වලට ලැබෙන විපාකය නම් මනස දූෂණයට පත්වීමයි. එනම් අකුසල්වලදී අකුසලයම විපාකය වෙනවා. උදාහරණයකින් මෙය තවදුරටත් පැහැදිලි කර ගනිමු.

ලුණු වතුර ස්වල්පයකට වතුර විශාල ප්‍රමාණයක් මිශ්‍ර කළ විට ලුණු රසය නැතිවෙනවා. නමුත් ඒ තුළ ලුණු පවතිනවා. ඒ තුළ බලයක් නිෂ්ක්‍රීය කරලා තිබෙන්නෙ. ඕනෑම බලයක් නිෂ්ක්‍රීය කළ හැකිවෙන්නේ ඊට ප්‍රතිරෝධක අධි බලයක් ආරෝපණය කිරීමෙනුයි. ලුණු වල බලය නිෂ්ක්‍රිය කළේ වතුර වැඩි ප්‍රමාණයක් එක් කිරීමෙන්. එලෙසම ලුණු වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් වතුර වල බලය නිෂ්ක්‍රීය කරන්න පුළුවන්.

කුසල්, අකුසලුත් එලෙසමයි. හොරකම් කිරීම සඳහා දූෂිත සිතිවිල්ලක් මනසට පැමිණි විට මනසින්ම එය නැති කර ගන්නත් පුළුවන්.

යමෙක් මනසින් යමෙකු සමග අමනාපනම් මනසින්ම එකී අමනාපය නැති කරගන්න පුළුවන්. ඒ අනුව මනසින් දූෂණය වන්නත් පෝෂණය වන්නත් පුද්ගලයාට පුළුවන්. එනිසා කුසල් වලින් අකුසල්ද, අකුසල්වලින් කුසල් ද සෝදන්න පුළුවන්.

පින්, පව් යන්න උදාහරණයකින් පැහැදිලි කරගතහොත් යමෙකු බෑගයකට මැණික් සහ ගල් එකතු කරනවා වගේ. පුද්ගලයෙක් කාලයක් ගල් එකතු කරලා පසුව මැණික් එකතු කළොත් මැණික් වැඩි වුණා කියලා, ගල් නැති වෙන්නෙ නැහැ. එලෙසම ගල් වැඩිවුණා කියලා මැණික් නැතිවෙන්නෙත් නැහැ. ඒ අනුව පින් නිසා පව් ද පව් නිසා පින් ද නැති වෙන්නෙ නැහැ. පවටත්, පිනටත් විපාක උරුම වෙනවා. කයින් සිදුකරන පින් පව් වලට විපාක කයටම හිමිවෙනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.