Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැදැහැති සිත පිදුම් ලබති

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධෝ සීලේන සම්පන්‍නෝ –යසෝ භෝග සමප්පිතෝ
යං යං පදේසං භජති – තත්‍ථ තෙත්‍ථව පූජිතෝ’

සැදැහැවත් පින්වතුනි,

ඉහත ගාථාවේ අර්ථය කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. තෙරුවන් ඇදහීම හා කම්පල ඇදහීම නම් වූ ශ්‍රද්ධාව ඇති, පංචශීලාදී උසස් ශීල සමාදානයකින් යුතු ගිහි පුද්ගලයාට පිරිවර, ධනධාන්‍යය, සප්ත ආර්ය ධන යනාදී යසස් හා භෝගසම්පත් වැඩේ. එම කුලපුත්‍රයා යම් යම් පෙදෙසකට වාසයට පැමිණේ ද ඒ ඒ තැන්වල දී මහත් ලාභ සත්කාර ලබා පූජනීය තත්ත්වයට පත් වේ.

‘සද්ධෝ සීලේනෙ සම්පන්නෝ’ කියන්නෙ ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුක්ත වූ තැනැත්තායි. ඒ දෙකින් යුක්ත පුද්ගලයාට යසස හා භෝග සම්පත් මැනවින් වැඩේ කියන එකයි. ‘යසෝ භෝග සමප්පිතො’ කියන්නෙ යසස කියන්නෙ පිරිවර සම්පත්තියයි. තමා අගයන ගරු කරන පිරිස් බලයයි.

භෝග කියන්නෙ ඉඩකඩම්, වතුපිටි යාන වාහන ආදී අපේ ගිහි පින්වතුන් ආශා කරන ගොඩ ගසා ගන්න භෞතික සම්පත්තියයි. ‘යං යං පදේසං භජති – තත්‍ථ තෙත්‍ථව පූජිතෝ’ කියන්නෙ එවැනි පුද්ගලයා යන යන තැන පූජනීයත්වයට පත් වේ කියන එකයි. සීලයේ හා ශ්‍රද්ධාවේ ඇති මහිමය පිළිබඳව එහෙම නැත්නම් ආනිසංස ගැන තමයි මේ ගාථාවෙන් කියවෙන්නෙ. අද අපේ මාතෘකාව වන්නේ ශ්‍රද්ධාවයි.

ධම්මපදයේ යමක වග්ගයේ තියෙනවා ගාථාවක්

අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධවීරියං
තං වෙ නප්පසහති මාරො
වාතො සෙලංව පබ්බතං

අසුභ භාවනාවට සිත යොමු කරගත්, ඉඳුරන් මැනවින් සංවර කර ගත්, ආහාර පාන ගැනීමේ දී තම ප්‍රමාණය දැනගත්, ශ්‍රද්ධාව ඇති, අරුඹූ වීර්යයෙන් යුතු පුද්ගලයා මාරයාට වත් සොලවන්නට බැරි බවයි එහි සඳහන් වෙන්නේ. හරියට මහ ගල් පර්වතයක් සුළඟට සොලවන්න බැරුව වගේ මේ ගාථාවේ මාරයා පරදවා ජය අරගෙන ජීවත්වන්නා තුළ තිබිය යුතුය කියල සඳහන් කරන කරුණු පහෙන් හතරවැන්න තමයි ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව කියල කියන්නෙ මාරයා පවා ජය ගත හැකි උතුම් ගුණාංගයක්. ඒ ගුණාංගය වර්ධනය කරගන්නයි අපි උත්සාහ ගත යුත්තේ.

‘සද්ධා බීජං තපො වුට්ඨි’ කියන ගාථාව ඔය පින්වතුන් අහල තියෙනවා. ඒ ගාථාව එන්නෙ අපේ පිරිත් පොතේ තියෙන කසීභාරද්වාජ සූත්‍රයේ කසීභාරද්වාජ බමුණා බුදුපියාණන් වහන්සේට කිව්වනෙ. ‘මමත් කුඹුරු වපුරල වෙහෙස මහන්සි වෙලා තමයි කන්නෙ බොන්නෙ. ඔබත් අතපය මහන්සි කරලා කුඹුරු වපුරල වෙහෙස මහන්සි වෙලා කන්න බොන්න කියල. ඒ වෙලාවෙ බුදුහාමුදුරුවො දේශනා කළේ මොකක්ද? බමුණ, මමත් කුඹුරු වපුරල වෙහෙස මහන්සි වෙලා තමයි කන්නෙ බොන්නෙ. කියල බුදුහාමුදුරුවො දේශනා කළා. එතකොට බමුණ අහනවා ඔබ කුඹුරු වපුරල ජීවත් වෙනව නම් කෝ ඔබේ ගොවි උපකරණකියලා. බුදුහාමුදුරුවො අන්න ඒ වෙලාවෙ තමයි මේ ගාථාව දේශනා කළේ මගේ ගොවි උපකරණවල බීජ (වී) තමයි ශ්‍රද්ධාව. තපස තමයි වැස්ස. නුවණ එහෙම නැත්නම් ප්‍රඥාව තමයි මගේ වියදණ්ඩ හා නගුල වෙන්නෙ. පාපයට ඇති ලැජ්ජාව තමයි නගුලිස, කඹය තමයි සිත. සිහිය මගේ හීවැල හා කෙවිටයි. මෙහෙම අපේ ශාසනයේ ඉගැන්වෙන උතුම් අධ්‍යාත්මික ගුණාංග රාශියක් ගොවි උපකරණවලට ආදේශ කරල උන්වහන්සේ දැක්වූවා. එතකොට මේ සසුන නමැති සාරවත් කුඹුරෙන් ප්‍රයෝජන ගන්න නම් වපුරන්න ඕන බීජය මොකක් ද? ශ්‍රද්ධාව ඒක තමයි සද්ධා බීජං කියල කිවුවෙ. ඔය පින්වතුන් දන්නවා කුඹුරෙ වපුරන බීජ බොල් වුණොත් සාරවත් අස්වැන්නක් අපට ලැබෙන්නෙ නැහැ. වපුරන බීජය සාරවත් වුණොත් හොඳ සාරවත් අස්වැන්නක් අපට ලැබෙනවා. එහෙනම් ශ්‍රද්ධාව හොඳින් පවත්වා ගන්න ඕන.

අපි පන්සලට එන්නෙ බුදුසමයට යොමුවන්නෙ ශ්‍රද්ධාව නිසයි. ශ්‍රද්ධාව උපදවාගෙන භික්‍ෂූන් වහන්සේලා ඇසුරට යොමු වේ. අපි බුදුසමයේ අගයන ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගන්න උත්සාහගන්න ඕන.

ආකාරවතී ශ්‍රද්ධාව ලබාගන්න අපි මොනවද කරන්න ඕන. ඒ සඳහා කළයුතු දේවල් කිහිපයක් අපේ බණපොත්වල උගන්වනවා.

1. හොඳින් ධර්මය ශ්‍රවණය කිරීම. සදහම් ඇසීමෙන් තමයි ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවෙන්නෙ. ඔය සූත්‍ර ධර්ම කියවනකොට අවසානයට තියෙන්නෙ ‘අභික්කන්තං භො ගෝතම අභික්කන්තං භො ගෝතම සෙය්‍යථාපි භො ගෝතම නික්කුජ්ජිතංවා උක්කුජජෙය්‍ය’ ආදී වශයෙන් එන්නෙ දේශනාව අහල තමන්ගෙ අචල සෙලෙවෙන්නෙ නැති ශ්‍රද්ධාව බුද්ධරත්නය කෙරෙහි ඇති වූ බව ප්‍රකාශ කිරීමයි. ඉන් පසුව තුණුරුවන් සරණගිය උපාසකයෙක් බව අවසානයට පවසනවා. ධර්මයේ තමන් නොදන්න කරුණු අලුත් කරුණු දැන ගැනීමේ ආශාවෙන් බණ අහන අය අඩුයි. අරවිදියට බණ ඇසීමෙන් වැඩක් නෑ. අන්න එතෙන්දි තමයි නිවැරදිව බණ අහන්න අපට සත්පුරුෂ ඇසුර අවශ්‍ය වෙන්නෙ. සත්පුරුෂ ධර්මයේ දී අපට අවැඩක් අයහපතක් වෙන්නෙ නැහැ. නිවැරදිව බණ අහන්න ධර්ම කරුණු අධ්‍යයනය කරන්න අපි යොමුවෙනවා. අපේ ජීවිතයේ අපට හමුවූ හොඳම සත්පුරුෂ දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි. එහෙම නැත්නම් ආත්තම්ම සීය, අපි මුලින්ම පන්සලට එක්ක ඇවිල්ල මේ සියලු දේවල් පුරුදු කළේ ඒ අය. විශාඛාව අවුරුදු හතේ දි සෝවාන් වුනේ සීයත් එක්ක බණ අහන්න ගිහිල්ල.

ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගන්න බණ ඇසීම වගේම ඒ ඇසූ ධර්මය නිතරම ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වෙනවා. නැවත නැවත මෙනෙහි කරන්න විමසා බලන්න ඕන. එය ජීවිතයට අදාළ කරගන්න ආකාරය තම තම නැණ පමණින් දැනගත යුතුයි. ඇසූ ධර්මය හෝ සූත්‍රය හඬනගා කියමින් වචෝද්ගත කළයුතුයි.

ඒ වගේම ඒ ප්‍රත්‍යවේක්‍ෂා කරන නිතර සිහිපත් කරන ධර්මය අනුව තමන් හැසිරෙන්නත් ඕන. ධම්මෝ භවෙ රක්ඛති ධම්මචාරී ධර්මයේ ආශීර්වාදය අපිට ලැබෙන්නෙ අපි නිවැරදිව ධර්මානුකූලව හැසිරුණොත් පමණයි. ඒක බණ පොතේ කියන්නෙ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් කියල. ඒක, තමයි ප්‍රතිපත්ති පූජාව. එසේ ධර්මය අනුව තමන්ගෙ එදිනෙදා ජීවිතය ගත කරන්න හුරුවුණාට පසුව අපි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ටිකෙන් ටික මේ අපේ සිත වෙලාගත් ක්ලේශ ධර්ම දුරු කර ගන්න මහන්සිගන්න ඕන. මේ කෙලෙස් එකපාරට ම විනාශ කරල රහත් වෙන්න බෑ. සමහරු හිතන් ඉන්නෙ වරක් දෙවරක් භාවනා කළාම බණක් දෙකක් ඇහුවම සෝවාන් වෙනවා රහත් වෙනවා කියලා. එහෙම වෙන්නෙ නෑ. අපේ සිතේ තිබෙන නීවරණ සංයෝජන ධර්ම ආදී කෙලෙස් දුරුකරගන්න ගොඩාක් කල් යනවා. සමහරවිට බුද්ධශාසන දහයක් පහළොවක් වත් දියුණු කරගන්න වෙනවා.

අපේ ගෞතම බුද්ධශාසනයේ රහත් වූ අගසවුවන් වහන්සේලා කෙලෙස් නිවන වැඩපිළිවෙළ ආරම්භ කළේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ විසින්. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා කෙලෙස් නැති කරන මගට පිළිපන්නෙ පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ කාලෙදියි. අනෙකුත් රහතන් වහන්සේලාත් එහෙමයි. ඵුස්ස බුදුහාමුදුරුවන්ගෙ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලවලදී පැවිදි ජීවිත ගතකරපු ඇත්තො තමයි අපේ ගෞතම බුදුපියාණන් වහන්සේගෙන් එක බණක් දෙකක් අහලා නිර්වාණාවබෝධය ලබාගත්තෙ. එනිසා දැන් ඔය පින්වතුන්ට අද ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගන්න ආකාරය මම බණ පොත අනුව කියල දුන්න. ශ්‍රද්ධාව කියන්නේ අපට පිරිවර සම්පත්තිය වගේම භවගෝග සම්පත් ළඟා කරදෙන උතුම් ගුණාංග දෙකෙන් එකක් බව තමයි මම මුලින් මාතෘකා කළ ගාථාවෙහිදී කියල දුන්නෙ.

මේ සම්බුද්ධ ශාසනයේ නිර්වාණය නමැති ඵලය ලබාගන්න වපුරන්න ඕන. බීජය තමයි ශ්‍රද්ධාව කියන්නෙ. ඒ බීජයේ ස්වරූප දෙකක් තියෙනවා. මුලින් ඇතිවන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ඒක ඉක්මණින් නැතිවෙන්න පුළුවන්. ඒකනිසා අපි ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගන්න නිතර බණ අහලා සත්පුරුෂ ඇසුරෙන් යුතුව ඒ ධර්මය අනුව හැසිරිලා අප්‍රමාදීව කටයුතු කරන්න ඕන ඒ ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වූ ඔබ සැමට සද්ධා සීල විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩා අමාමහ නිවනින් සැනසීමට මේ ධර්ම ශ්‍රවණය හේතුවාසනා වේවා.


ධර්ම දානයට දායක වීමට මහඟු අවස්ථාවක්

බුදුසරණ ධර්ම දේශනා ලිපිය මෙම පිටුවෙහි පළවේ. එබැවින් ඔබටත් ධර්ම දානමය පින අත් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වී ඇත.

ඔබගේ දයාබර මවුපියන්ගේ හෝ දූ පුතුන්ගේ උපන් දිනය සමරුවට ආශිර්වාද පිණිස සෙත් පැතීමටත්, පරලොව සැපත් නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් එසේ ධර්ම දානයට ඔබට දායක විය හැකි ය.

එසේ ධර්ම දානයට දායක වන සැදැහැවතුන්ගේ නම් හා අදාළ එක් ඡායාරූපයක් (සෙ.මී. 4 1/2) සහිත දායකත්වය පිළිබඳ විස්තර මෙම පිටුවෙහි පළ කැරේ. සියලු විස්තර අලෙවි හා ශාඛා කාර්යාල අංශයේ 0777 270091 හෝ 2319741 දර්ශ ගෙන් විමසා දැන ගත හැකිය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.