සඳ හිරු පවතින තාක් එකම රටක් එකම
දැයක් එකම ධජයක් යටතේ ශ්‍රී ලංකාව පවත්වා ගැනීමට රණවිරුවන්
ගත් උත්සාහයට සිහිවටනයක් ලෙස දිවයිනේ සෑම පළාතකම ඉදි කරනු
ලබන ස්ථූප අතරින් ප්‍රථම ස්ථූපය වන අනුරාධපුර “සඳහිරු
සෑයේ” ගඩොල් බැම්ම බැඳීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
සුරතින් ඉකුත්දා (04) ආරම්භ විය.
සෙත් පිරිත් සජ්ඣායනා හා බෙරකරුවන් 200කගේ ශබ්ද පූජා
මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් මෙම සඳහිරු සෑයේ දෙවන අදියරේ
වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය. අතීතයේ ස්ථූපයක් ගොඩනැඟීමේ
දී අනුගමනය කළ සියලුම ආගමික වතාවත් හා වත්පිළිවෙත් අනුව
මෙම සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
අනුරාධපුර මහ මෙවුනා උයනේ මෙම සඳහිරු සෑය ඉදි කෙරෙන අතර,
ස්ථූපයේ අත්තිවාරම මේ වන විට ගොඩනඟා අවසන් කර ඇත. මෙම
සඳහිරු සෑය උසින් අඩි 244 කි. විශ්කම්භය අඩි 215 කි. ගඩොල්
මිලියන 40ක් පමණ මෙම ස්ථූප ඉදි කිරීම සඳහා වැය වෙතැයි
අපේක්ෂිතය.
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය මධ්‍යයේ මෙම ස්ථූප ඉදි
කෙරෙනු ඇත. පෞද්ගලික ධන පරිත්‍යාග සහ ත්‍රිවිධ හමුදාවේ
ශ්‍රම දායකත්වයෙන් මෙම ස්ථූප 09 ඉදි කෙරේ.
එම අවස්ථාවට අටමස්ථානාධිපති පූජ්‍ය, පල්ලේගම සිරිනිවාස
නාහිමියන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ජනාධිපති ආර්යා
ශිරන්ති රාජපක්ෂ මැතිනිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය
බර්ටි ප්‍රේමලාල් දිසානායක, ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය
එස්. එම්. චන්ද්‍රසේන, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති
ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ. |