Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සොළොස්මස්ථානය

කැලණිය රජ මහා විහාරය

මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි.

බුදුරජාණන් වහන්සේගේ මෙම සදහම් විදේශ සංචාරයට පන්සියයක් මහ රහතන් වහන්සේ ද එකතු වූහ. ඝෘද්ධි බලයෙන් වඩින ගුවන් ගමන මොනතරම් නම් අසිරිමත් වන්නට ඇති ද? නීල ආකාශ ගංගාව හරහා පාවී යන කාශාය වස්ත්‍රයේ චමත්කාරයෙන් දෙව්ලොව සිටින දෙවිවරු පී‍්‍රති ප්‍රමෝදයට පත් වූහ. මේ දෙවිදේවතාවෝ අතරමඟදී සංචාරයට එක්වෙමින් දූත ගමනට තවත් සම්භාව්‍ය පිරිසකගේ දායකත්වය සැපයූහ. කැලණි පුරවරයේ මණිඅක්ඛිත නාග භවනට පැමිණි බුදුන් වහන්සේ සහ පන්සියයක් මහරහතන් වහන්සේ ගෞරව බහුමානයෙන් පිළිගැනීමට මණිඅක්‍ඛිත මහ නා රජාණන් සැදී පැහැදී මඟ බලා සිටියේ පුරවරය මහත් සේ අලංකාරවත් කරමිනි.

අසලින් ගලා බසිනා සුන්දර කැලණි නදියෙන් ජලස්නානය කළ බුදුපියාණන් වහන්සේ නා විමනේ අලංකාරවත් මාණික්‍ය ආසනයේ සිට සද්ධර්මය දේශනා කළ සේක.

සම්බුදුරජාණන් වහන්සේ කැලණි රාජධානියේ දී ධර්මය දේශනා කළ ස්ථානයේ දී ඒ මාණික්‍ය ආසනය නිධන් කර කුඩා ස්තූපයක් ප්‍රථමයෙන් සෑදුවේ මණිඅක්‍ඛිත නා රජතුමා විසින් බව කියැවෙයි.

ක්‍රි.පූර්ව. 207 වසරේ දී උත්තිය කුමාරයා කැලණි විහාරයේ ප්‍රවර්ධනයට දායක වූ අතර යඨාලතිස්සරජතුමා කැලණි චෛත්‍ය සැට රියනක් උසට බන්දවා පස් මහල් පහයක්ද ඉදිකර කැලණි විහාරය ඉතා දියුණු තත්ත්වයට පත් කළ බව සඳහන් වෙයි.

කැලණිය එදවස මාගම රාජ්‍යයට අවනත උප රාජ්‍යයක්ව පැවැති සමයේ එහි උප රජවරයකු වශයෙන් අභිෂේක ලද්දේ කැලණිතිස්ස නම් රජතුමාය. (ක්‍රි.පූ. 02 වන සියවස) රජතුමාගේ බිසව සමඟ තම සොයුරා වූ උත්තිය කුමරු ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයට වගකිවයුතු යැයි අස්ථානයේ සැකකළ කැලණිතිස්ස නම් මහ රහතන් වහන්සේ තෙල් කටාරමක බහා ගිනි ලා ඝාතනය කිරීමේ මහා පාපයට මහ මුහුද ගොඩ ගලා වටිනා මිනිස් ජීවිත මෙන්ම හත්ගව්වක වූ ගම් නියම්ගම් කෙත්වතු ආදී දෑ සුනු විසුණු වී ගියේ ය. නිමිතිකරුවන්ගේ උපදෙස් මත ‘දේවී නම්’ තම එකම දියණිය වියරු වැටුණු මහා සමුද්‍රයට බිලිදීමට සියල්ල සූදානම් විය. 16 වැනි වියේ පසුව ‘දේවී’ කුමාරිය තම මාතෘ භූමිය මේ මහා දිය රකුසාගෙන් ගලවා ගැනීමේ ඒකායන අභිප්‍රායෙන් තම ජීවිතය පරිත්‍යාග කිරීමට මොහොතකට හෝ නොපැකිලිව ඉදිරිපත් වූවා ය. ලාංකේය බිම එක්සේසත් කරමින් සම්බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් අනූපමේය සේවයක් කළ විශිෂ්ට රාජෝත්තමයකු වූ දුටුගැමුණු මහා නිරිඳානන්ගේ උදාරතර මව වීමට තරම් භාග්‍ය ලද්දේ මේ වීර දියණිය ය. පසුව විහාර මහා දේවිය නමින් ප්‍රසිද්ධ වූයේ ඇයයි. එදා මේ දේවියගේ මහා පරිත්‍යාගය නිසා මේ බිම සාගර මහා සෝදා පාළුවෙන් වැලකිණි. අද අපට ඉතා ශෝචනීය අමිහිරි අත්දැකීමක් එක්කළ ‘සුනාමි’ ව්‍යසනය මෙන් වූ සාගරය ගොඩගැලීමේ පළමු අමිහිරි අත්දැකීම මේ කැලණි මහා සුනාමිය යි. කැලණිතිස්ස රජුගෙන් පසු කැලණි රාජ්‍යය අභාවයට පත් විය. පසුව දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පු. 161 – 137 ) කැලණි විහාරයේ රහතන් වහන්සේ 500 ක් පමණ වැඩ සිටි බව මහා වංශයේ කියවෙයි. ක්‍රි.ව. 227 කණිෂ්ටතිස්ස රජතුමා කැලණි විහාරයට උපෝසථාගාරයක් කරවීය. මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 – 1186) නිශ්ශංකමල්ල රජතුමා කැලණියේ වර්ධනයට කටයුතු කළහ.

පසුව කාලිංග මාඝ ආක්‍රමණයේ දී කැලණි විහාරය විනාශ විය. පෘතුගීසි, ලන්දේසි යුගවලදී මෙම කැලණි විහාරය සහමුලින් විනාශ කර දමන ලදී.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මාපිටිගම බුද්ධරක්‍ඛිත හිමියන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී කැලණි විහාරය නැවත ගොඩ නංවන ලදී. ඉතා සාර්ථකව ප්‍රතිසංස්කරණයන් නිම කළ සතුටට රජතුමා බුද්ධ රක්‍ඛිත හිමියන්ට තඹ සන්නසකින් කැලණි විහාරය පවරා දුන්නේ ය.

1779 වසරේ කැලණි වෙහෙර සෙල්ලිපියෙන් ඒ බව සනාථ වේ. කෝට්ටේ රාජ්‍ය සමයේ දී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1509 දී පිහිටුවන ලද කල්‍යාණී ශිලා ලිපිය පසු කලෙක පෘතුගීසීන් විසින් කැබැලි අටකට කඩා බිඳ දැමූවද දැනට එය සකස් කර කැලණි විහාර භූමියේ සුරක්‍ෂිතව තබා ඇත.

කැලණි විහාරයේ පැරැණි බුද්ධ මන්දිරය මහනුවර යුගයේ කරවන ලද බව විශ්වාස කෙරෙයි. මෙහි ඇති සිතුවම් බු.ව. 2394 පමණ වූ මහනුවර යුගයට අයත් ය. අද අප දකින කැලණියේ අලුත් විහාරය ඉදිකිරීම ආරම්භ වන්නේ 1927 වර්ෂයේ ය. සෝලියස් මැන්දිස් නම් මහා කලා ශිල්පියා අඳින ලද විශිෂ්ට සිතුවම් පෙළ නිර්මාණය වන්නේ 1930 වසරේදීය.

කැලණි රජ මහා විහාරයට ආලෝකයක් එක්කළ ඇති විහාර මන්දිරය ඉතිහාසය විසින් අප වෙත රැගෙන ආ මහා බෞද්ධ විහාර මන්දිරයන්ට නොදෙවෙනි සුවිශේෂී නිර්මාණයකි. අනාගතයේදි බෞද්ධ විහාර වංශ කතාවේ නොමැකෙන සිහිවටනයක් වනු නියත ය. බුද්ධ මන්දිරය ඉදිකිරීමට මූලික වන්නේ හෙලේනා විජයවර්ධන මැතිණියයි. වසර 19 ක් පමණ කාලයක් තිස්සේ ගොඩනැඟෙන මෙම විහාර මන්දිරය ඉදිවී අවසන් වන්නේ 1946 වසරේ දී ය.

විනාශයට බඳුන් වෙමින්, නැවත පණ ලබමින් අද ද සැදැහැති බොදු ජන පහන් සංවේගය පිණිස අහස්කුස සිසාරා නැඟී වැජඹෙන කැලණියේ මහ සෑ රදුන් අවසන් වරට ප්‍රතිසංස්කරණ කෙරෙන්නේ තුන්වැනි විජයබාහු රාජ්‍ය සමයේය. ධ්‍යානාගාර හැඩැති ස්තූපයේ උස අඩි 90 කි. වට ප්‍රමාණය අඩි 180 කි. තම දිවියේ දී එක්වරක් හෝ කැලණිය වන්දනාමාන කරගත යුතු බවට බෞද්ධ ජනහද කිඳා බැසගත් කියමනක් තිබේ. මෙම වදන කවියට ගීතයට කලාවට ද සම්බන්ධ වීමට තරම් ප්‍රබල වී ඇත. මහනුවර යුගයේ ලෝකුරු නයිදේ නමැති ජන කවියකු විසින් මෙම ප්‍රසිද්ධ වදන සහිත මෙම කවිය ලියා ඇත.

පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවැතියේ
එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින් උරුදියේ
වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ පූජනීය කැලණිය, මාතෘ භූමියට සාඩම්බරයක් වන වීර වෙහෙර මහා දේවී මාතාවගේ ජන්මභූමියයි. සෝලියස් මෙන්දිස් වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පියකු ලොවට දායාද කළ කැලණිය හෙලේනා විජේවර්ධන වටිනා නාමය ද අනාගත වංශ කතාවේ ලියා තබනු ඇත. එවන් වූ උතුම් කැලණි පුද බිම වෙත පැමිණ, කළ වරදකට පව් සමාකර, සිත් සතන් සැහැල්ලු කර ගැනීමට හැකි වෙතයි සිතා හෝ ජීවිතයේ එක්වරක් වත් කැලණි වන්දනාවට බෞද්ධ සිත පෙළඹ වූ ලෝකුරු නයිදේටත් අනේ! නිවන් දකින්නට ඒ පිනම හොඳටෝම ඇති නේදැයි සිතේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.