සංවරය
අවශ්‍ය වන්නේ ඇයි?
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
සසුන් බඹසර
2012-01-22- පත්‍රය හා බැදේ
අප විසින්් පසුගිය කලාප දෙකෙහි සාකච්ඡා කරනු ලැබූ “දන්ත භූමි
සූත්‍රයෙන්” පුද්ගලයෙකු මේ ශාසනය තුළ ක්‍රම ක්‍රමයෙන් හික්මෙන ආකාරය
උගතිමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ශ්‍රද්ධාව ඇති කර ගන්නා අයෙකු
ගිහි බැදුම් ඉවත් කොට පැවිදි බිමට ඇතුළත් වන ආකාරය අපි ගියවර ඉගෙන
ගතිමු. ඒ පුද්ගලයා පැවිදි වූ පසු ගත කරන ජීවිතය බෙහෙවින් නිදහස් වූවක්
බවද දැන ගතිමු. අද අප සාකච්ඡා කරන්නේ ඒ පැවිදි වූ භික්‍ෂුව පැවිදි වූ
තැන් පටන් ඉදිරියට සසුන් බඹසරෙහි හැසිරෙන ආකාරයයි.
අප ජීවත් වන්නේ කාම ලෝකයේ ය. මෙය එක්තරා ආකාරයකින් බැලුවහොත් කාම
වනාන්තරයකි. මේ කාම වනාන්තරයේත් කාමයෙන් අන්ධවූ තරමට අනතුරු වැඩි වේ.
මේ කාම වනාන්තරයේ සිටින බොහෝ ඇත්තුත් අන්ධයි. කාමයෙන් අන්ධ වී එම
කාමයන් තුළම ගිලී සිටිති. මේ අන්ධභාවයෙන් මිදීමට නෙක්ඛම්මයක් අවශ්‍යයි.
පැවිදිවීම යනු ඒ සඳහා ඇති උත්කෘෂ්ට යොමුවකි. නමුත් මේ කැලයෙන් එළියට
පැමිණි ඇතුන් නැවතත් කඩාගෙන කැලයටම දුවන්නා සේ කාම වනයෙන් ඈත් වී
පැවිදි වූ අයත් නැවතත් එම කාම වනයටම පැන දිවිය හැකි ය.
“වනමුත්තො වනමෙව ධාවති” – වනයෙන් මිදුණ, තැනැත්තා නැවතත් වනයටම දුවයි.
එසේත් නැතිනම් වනයෙන් එළියට පත් හෙවත් පැවිදි වී මේ පැවිදි ජීවිතය තුළම
වුවත් පෙර ගත කළා වැනි කාම වනයක් හදා ගත හැකි ය. කාම වනයෙන් ඈත්වුණු
තැනැත්තා මේ දෙවිධියටම නැවතත් කාමයටම යොමු විය හැකි ය. එවිට සිදුවන්නේ
තමන් ශාසනයට ඇතුල් වුණු පරමාර්ථය පසෙක දමා නැවතත් ප්‍රමාදී අයෙක් වීමය.
මේ නිසා ආරණ්‍යක හස්තියා දමන කරන්නාක් මෙන් මේ තැනැත්තා ද ක්‍රම
ක්‍රමයෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ මැනැවින්ම දමනය කළ යුතු ය.
බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙව් මිනිස් ලෝකයා පඤ්චකාමගණයට ඇලී සිටින
බවය. එබැවින් මේ නවක භික්‍ෂුවට සිල්වත් වන්නට උපදෙස් දෙන සේක.
ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කළ යුතු ය. ආචාර ගෝචර සම්පන්නව
අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුළුව ශික්‍ෂා පද සමාදන් වී හික්මීමට උපදෙස්
දෙන සේක. එලෙසට ඒ භික්‍ෂුව පැවිද්දට අදාළ ප්‍රතිපදාවට යොමු වෙයි.
මේ ආකාරයට ආර්යශ්‍රාවකයා සිල්වත්ව ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වී වාසය
කරන විට, ආචාරගෝචර සම්පන්නව අණුමාත්‍ර වරදෙහි බිය දකිමින් ශික්‍ෂා පද
සමාදන් වී ඒ තුළ හික්මෙන විට තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා තවදුරටත්
හික්මවන සේක. තාථගතයෝ එම භික්‍ෂුවට දැන් උගන්වන්නේ ඉන්ද්‍රිය සංවරයයි.
ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තෙක් විය යුතු ය. ඇසින් රූප දැක නිමිති
නොගත යුතු ය, අණුවඤ්ජන නොගත යුතු ය. යම්, කරුණකින් ඇස නම් වූ
ඉන්ද්‍රියයෙහි අසංවරව නොවැසූ දොර ඇතිව වාසය කරන භික්‍ෂුවට අභිධ්‍යා
දෝමනස්ස සංඛ්‍යාත පාපී අකුසල ධර්ම ඇති වෙනවාද එම අකුසල දහම්
ලුහුබඳිනවාද එසේ නොවීමට සංවර විය යුතුය. සංවරය පිණිස පිළිපැදිය යුතු ය.
ඇස නම් වූ ඉන්ද්‍රිය රැකිය යුතු ය. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට
පැමිණිය යුතු ය. මේ ආකාරයට එම භික්‍ෂුවට ඇස සංවර කර ගැනීම තුළින් පාපී
අකුසල ධර්මවලට යටත් නොවී සිටීමට උපදෙස් ලැබෙයි.
මේ ඇසනම් වූ ඉන්ද්‍රිය අසංවරව නිමිති ආදිය ගෙන පාපී අකුසල ධර්මවලට යටත්
වීමෙන් සීලවිපත්තියට පත් වීම වැනි මහත් අවැඩ වූ අනර්ථයන් සිදුවිය හැකි
ය. ඒ බව චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කතා වස්තුවෙන් පැහැදිලි වේ. චක්ඛුපාල
තෙරුන් වහන්සේ සමඟ ගමන් කළ භික්‍ෂුවට අතරමගදී ස්ත්‍රියකගේ ශබ්දයක්
ඇසෙයි. එවිට ඒ හිමියෝ චක්ඛුපාල තේරුන්ගෙන් මදකට අවසර ගෙන ගොස් එම
ස්ත්‍රිය හමු වී සීල විපත්තියට පත් වෙයි. සිල් බිඳ ගනියි. චක්ඛුපාල
තෙරණුවෝ සිදු වූ දෙය දැන ගෙන එම සිල් බිඳ ගත් තැනැත්තා තමන් වහන්සේ සමඟ
ගමනට පැමිණිය ද එය ප්‍රතික්‍ෂේප කළහ. එම සිදුවීම විමසා බලන විට
පැහැදිලි වන්නේ ස්ත්‍රී ශබ්දය ඇසුණු විට ඒ ඔස්සේ නිමිති ගෙන පාපී අකුසල
ධර්මයනට යටත් වීමෙන් උතුම් පැවිද්ද ද අහිමි වී පරිජි වී උතුම්
අවස්ථාවක් මඟ හැරුණු බවයි. තත්ත්වය මෙසේ ය. ලෝකයේ මේ ස්ත්‍රිය පුරුෂයාට
තිබෙන ලොකුම බැඳීමට හේතුවන අතර නැවත ගොඩ නොඑන මට්ටමට බැඳී ඒ තුළ එරීමට
පත්වීමට නිසි අරමුණ වේ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකකනිපාතයේ
වදාරා ඇති ආකාරයට ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් පැහැර ගෙන සිටින
වෙනත් එකද රූපයක් නොවේ.
මේ ආකාරයටම ස්ත්‍රී ශබ්දය තරම්, ස්ත්‍රී ගන්ධය තරම්, ස්ත්‍රී රසය තරම්,
ස්ත්‍රී පහස තරම් පුරුෂයාගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද ශබ්දයක්,
ගන්ධයක්, රසයක්, පහසක් නොමැත. පුරුෂයන් සම්බන්ධයෙන් ඇති මේ තත්ත්වයම
ස්ත්‍රියටත් ඇත. එනම් පුරුෂ රූපය, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ
රසය, පුරුෂ පහස තරම් ස්ත්‍රියගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද
රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නොමැත. මේ ආකාරයට දෙපක්‍ෂය
කෙරෙහි දෙපක්‍ෂය තුළ ඇලීම, බැඳීම ඇතිවන බව හොඳින් වටහාගෙන ඇස, කණ,
නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන් මැනැවින්ම විශේෂයෙන්ම සංවර කර ගත යුතු
ය. එහිදී ස්ත්‍රී, පුරුෂ අරමුණු කෙරෙහි පමණක් නොව මේ ඉඳුරන්ගෙන් ගන්නා
ඕනෑම අරමුණකින් පාපී අකුසල දහම් ඇති නොවන ආකාරයට ඉන්ද්‍රිය සංවරය ඇති
කරගත යුතු ය.
මේ ආකාරයට ආර්ය ශ්‍රාවකයා ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන්ගේ
සංවර භාවයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂුව තවදුරටත් හික්මවන
සේක. ඒ භෝජනයෙහි මාත්‍රයද වීමට, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර
වැළඳීමට ය. භික්‍ෂුවක් ආහාර වැළඳීමේ දී පමණ දැනගෙන වැළඳිය යුතු ය. මනා
සිහි නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳිය යුතු ය. දන් වැළඳිය යුත්තේ
පැරැණි වේදනාව දුරු කිරීමටත්, අලුත් වේදනාව ඇති නොවීමටත් ය. බඩගින්න
පැරැණි වේදනාවකි. බොහෝ වැළඳීමෙන් ඇතිවන උස්මුරුත්තාව අලුත් වේදනාවකි.
ආහාර ගැනීමේ දී මෙලෙස ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. “මම මේ ආහාරය
වළඳන්නේ විනෝදය සඳහා නොවේ. පුරුෂමද ආදිය වැඩීම පිණිස ද නොවේ. ශරීරය තර
කර ගැනීම සඳහා ද නොවේ. ශරීරය පැහැපත් කර ගැනීම සඳහා ද නොවේ. මා මේ
ආහාරය වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගැනීම පිණිසයි. සාගිනි වේදනාව
දුරු කර ගැනීම සඳහා ය. බුද්ධ ශාසනයෙහි පිළිවෙත් පිරිමට හැකි වනු පිණිස
ය. ජීවිතය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා ය. මේ ආකාරව ආහාර වැළඳීම නිසා
මගේ සාගිනි වේදනාව දුරු වීම සිදුවන්නේ ය. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම
නිසා වන්නා වූ වේදනා ද නොවන්නේ ය.... යනාදී වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා
කිරීම අවශ්‍යම වේ. එවිට එම ආහාරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි කෙලෙස්
ඇතිවීම වළක්වා ගත හැකි වේ. වැරැදි ලෙස ආහාර ගැනීමෙන් වන අකුසල් වළක්වා
ගත හැකි වේ. ධර්මයේ සඳහන් වන ඉතා වැදගත් ගාථාවක් ද අපට මෙහිදී සිහිපත්
කළ හැකි ය. එනම්,
“චත්තාරෝ පඤ්ච
ආලෝපේ අභුවා උදකං පිවේ,
අලං ඵාසුවිහාරාය
පහිතත්තස්ස භික්‍ඛුනෝ”
යනුවෙනි. එහි අර්ථය මෙසේ ය. (කුසේ ප්‍රමාණයෙන්) හතරපස් පිඬක් නො වළඳා
ජලය බොන්නේ ය, නිවනට යොමු කරන ලද සිත් ඇති භික්ෂුවට පහසු විහරණයට එය
ප්‍රමාණ වේ. හේතු වේ.” කුස තදවනතුරු ආහාර ගෙන උඩු බැල්ලෙන් වැටී
නිදාගැනීම භික්‍ෂුවට යෝග්‍ය නොවේ. ආහාරය පිළිබඳව වන මේ යහපත්
ප්‍රතිපත්තිය ගිහි, පැවිදි කාහට වුවද ඉතා වැදගත් වේ. ඒ තුළින් නිරෝගී
බව ද දිගාසිරිද ලද හැකි ය.
ඉතිරි කොටස ලබන කලාපය හා බැදේ
සටහන
හසන්ත වාසනා සමරසිංහ |