UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙම්තොට වනවාස රජමහා විහාරය

බෙම්තොට යාත්‍රාමුල්ල වනවාස රජමහා විහාරස්ථානය යුග කීපයකදීම සුවිශේෂී බෞද්ධ සංස්කෘතික උරුමයක සාධනීය ලකුණු ප්‍රකට කළ විහාරස්ථානයකි.


සැතැපෙන පිළිම වහන්සේ

එදා මෙම වනවාස විහාරස්ථානය, බෝධි මළුව, උඩකොටුව, ගලපාත විහාරය වැනි අද වෙන්වෙන්ව ඇති විහාරස්ථාන සියල්ල එක විහාර සංකීර්ණයකට ඇඳී තිබුණු බවට සාක්‍ෂි තිබේ. ක්‍රි.පූර්ව කාලයේ සිට පැවැත එන එම විහාර සංකීර්ණයේ වනවාස විහාරය මහරහතන් වහන්සේ වැඩ සිටි ආවාසයක් සහිත පුද බිමක් බව කියැවෙයි. බෝධි මළු විහාරයේ අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ තරමටම වටිනාකම් ඇති බෝධීන් වහන්සේ සහ ගලපාත විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේත් වශයෙන් අනුරාධපුර යුගයේ දී මෙන්ම පොළොන්නරු යුග වලදී පවා රාජ සම්මානයෙන් පිළිගෙන තිබූ අෂ්ට මූල (වියපත් අට ගණය) නැමැති ආශ්‍රම සංකීර්ණයක් මෙහි පැවැතී ඇත.


චෛත්‍යය හා විහාර මන්දිරය

රහතුන් වහන්සේලා ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම විහාරස්ථාන උමං මාර්ග වලින් සම්බන්ධ වී තිබුණු බවට සාධක තවමත් ශේෂව පවතියි. මෙම භූමියේ ඇති ඉතා පැරැණි ගල් උළුවස්සක් සහිත උමඟ තුළට පිවිසුණු විට සතර අතට විහිදුණු තවත් උමං මාර්ග හතරක පිවිසුම් දොරටු දැක ගැනීමට ලැබේ.

අද මෙහි විහාරාධිපතිත්වය උසුලන නාහල්ලේ ඉන්දසිරි නායක හිමියන්ගේ අප්‍රතිහත උත්සහයෙන් එම උමඟ මතු කරගෙන තිබේ. මහා කාල වැලි තලාවකින් ඉතිහාසය වැසී ගොස් ඇතුවාසේම මෙම උමං ද අද පස් තට්ටුවලට යටවී නිසි ගමන් මාර්ග නිශ්චය කිරීමට නොහැකිව අඳුරු වී තිබේ. එවන් ගමන් මාර්ග පාදා ගැනීමට හැකිනම් වැලලී ගොස් තිබෙන බෞද්ධ විහාර සංකීර්ණයක් ආලෝකවත් කරන මිනි පහන් මතු කර ගැනීමට හැකිවනු නොඅනුමානයි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ ලද අනුග්‍රහයෙන් සද්ධාතිස්ස කුමරු සම්බන්ධ වෙමින් මෙම විහාර සංකීර්ණය ගොඩනැඟීමට දායක වූ බව පැවසෙයි. මෙම විහාර සංකීර්ණ පද්ධතිය පසෙකින් තබා බෙම්තොට රජමහා විහාරය පිළිබඳව පමණක් කතා කළ ද මෙහි වන ඓතිහාසික තත්ත්වය මෙන්ම මෑත ඉතිහාසය නියෝජනයද සුවිශේෂතා ප්‍රකට කරන බව පෙනී යයි.


ඉහළ මාලයේ වාහල්කඩ

පෘතුගීසි ඕලන්ද යුගයන්හිදී මෙවන් විහාරස්ථාන විනාශ කර දමා ඇත. සමුද්‍රාසන්නයේ වූ පුදබිම් වෙත ප්‍රබල ලෙස පරසතුරු ආක්‍රමණයන් බලපෑ නිසා එවන් ඛේදනීය ඉරණමකට මෙම ස්ථානය ද නතු වී තිබේ. බෞද්ධාගම පිරිහෙමින් පැවැති වකවානුවක යන්තමින් හෝ එය ආරක්‍ෂා කරගත් ගණින්නාන්සේලාගේ යුගය නියෝජනය කරන බුදුන් වහන්සේගේ රුව සිතුවම් කළ කුඩා ලී පුවරුව විහාර මන්දිරයේ දී අද ද දැක ගැනීමට පුළුවන. පැරැණි ගල් ඔරු ශෛලමය දිය පෙරණයන් ආදී දෑ ඓතිහාසිකත්වය නියෝජනය කරන ශේෂයන් වී ප්‍රබල පසුබිමක් විවරණය කිරීමට උදව් වීමට කුඩා සාධකයන් ලෙස ඉතිරි වී තිබේ.

දඹදෙණි යුගයේ ක්‍රි.ව. 1356 – 1430 වැනි කාලය තිසර පරෙවි, කෝකිල, ගිරා වැනි සංදේශ කාව්‍යයන්හි පැහැදිලි ලෙස මෙම වනවාස විහාරස්ථානය පිළිබඳ කාව්‍ය රචනා වී ඇත. එයද මෙම විහාරස්ථානය ඉතා සුවිශේෂී වූ පින් බිමක් බවට හඳුනා ගැනීමට ඇති ප්‍රබල ලිඛිත සටහන් බවට පත් වී තිබේ.


පැරැණි උමන් දොරටුව

එම සංදේශ කාව්‍යයන් කීපයක් විහාරභූමියේ ඇති පුවරුවක සටහන් කර ඇත. ඉන් පසු මෑත යුගයෙ නියෝජනය වන්නේ වසර 200 ක පමණ කාල පරාසයක ලකුණු සහිතවය. මෙය නැවත විහාරස්ථානයක් ලෙස ප්‍රතිනිර්මාණය වන්නේ එම කාලයේ සිටය.

ඉතා රමණීය උස් බිමෙක සෑදෙන තල කීපයක් මත මෙම අපූර්වත්වයෙන් පිරි විහාරස්ථානය නිර්මාණය වී ඇත. පියගැටපෙළ නැග ගිය පසු වර්තමාන නිර්මාණ කලාවේ සුන්දරත්වයෙන් පිරි වාහල්කඩ හමුවේ. එතැනින් භූමියේ උස්ම තලයේ පරිසර තත්ත්වයන්ට යට උචිත ලෙස චෛත්‍යත් ඊට පසුබිමෙන් විහාර මන්දිරයත් ගොඩනඟා තිබේ. සම්ප්‍රදායික විහාර නිර්මාණශිල්පයත් මෑත යුගයේ ආකෘතිමය ලක්‍ෂණත් එකතු කරමින් මෙම ගොඩනැඟිලි ඉදි වී ඇත. විහාර මන්දිරය තුළ වන පසුබිම ද සිත් සතන් ආකර්ශනයට පත් කරවයි.


පැරැණි ශෛලමය දිය පෙරණය

ලංකාවේ සිටි කීර්තිමත් මූර්ති ශිල්පියකු වූ එම් සාර්ලිස් මාස්ටර්ගේ අතින් විහාර ගෘහයේ ඇතුළත බෞද්ධ පසුබිම සැකසී තිබේ. මෙම කලාකරුවාගේ පිළිම කලාවේ අන්‍යතා ලකුණු එහි ප්‍රතිමා මතින් දර්ශනය වෙයි. වනවාස නිකායට අයත් භික්‍ෂු පරම්පරාව පිළිබඳව විමර්ශනය කිරීමේ දී ඉතා ප්‍රබල විශේෂතා කීපයක් හඳුනා ගැනීමට හැකි ය.

මෙම විහාරස්ථානයේ වැඩ සිටි යාත්‍රාමුල්ලේ ධම්මාරාම නායක හිමියන් මහා පඬිරුවනකි. පාලි භාෂාව මැනවින් හදාරා මුළු ත්‍රිපිටකයම ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කර යුරෝපයට බුදු දහම හඳුන්වා දුන් රීස් ඩේවිස් පඬිතුමා පාලි භාෂාව සහ බුදුදහම පිළිබඳව හැදෑරුවේ ධම්මාරාම නා හිමියන්ගේ සෙවණේ ය. එසේ යුරෝපයට බුදු දහම රැගෙන යාමට මූලික වූ ස්ථානය වශයෙන් ද මෙම වනවාස රජ මහා විහාරය ඉතිහාසයට එක් වෙයි.

එසේම කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාව ඇති කිරීමට මූලික වූ බෙම්තොට අත්ථදස්සී මහ නාහිමියන් ද මෙම වනවාසී විහාරයේ අධිපතීත්වය දැරූ භික්‍ෂූන් වහන්සේ නමකි. බුදුදහමට විරුද්ධව නැඟී ආ මතවාදයන්ට එරෙහිව මහා ධර්මාවබෝධයකින්, තාර්කික ඥාණයකින් එම පුහු මත බිඳ හෙළිමට ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයේ නියැලෙමින්, පානදුරාවාදයේ දී ශාස්ත්‍රීය පක්‍ෂයේ දැනුම් සම්භාරය බෙදා දෙමින් ශාසනික සේවයට කැප වූ උන්වහන්සේ මෙහි සංඝ පරම්පරාව නියෝජනය කළ තවත් පඬිරුවනකි. ශ්‍රී රාමඤ්ඤ නිකායේ පුරෝගාමියා වූ අඹගහවත්තේ ඉන්ද්‍රසභවරඥාණ මහා නාහිමියන් උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් මෙම විහාරස්ථානයේ වැඩ වසා ඇත.


විහාරාධිපති නාහල්ලේ ඉන්දසිරි හිමි

මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන විශ්‍රාමික විදුහල්පති නාහල්ලේ ඉන්දසිරි නායක හිමියන් එම සඟ පරපුර නියෝජනය කරමින් ශාසනික සමාජ ශාස්ත්‍රීය මෙහෙවර ඉදිරියට රැගෙන යමින් විහාරස්ථානයේ ප්‍රගතියට අප්‍රතිහත දිරියෙන් නිහඬව එහෙත් පුළුල් ශාසනික කාර්යක නියැලී සිටියි. උන්වහන්සේගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති සද්දන්ගොඩ රාහුල හිමි ද පෙර පඬිවරුන් ගිය මග යමින් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් කැපවී සිටියි. ‘බෙම්තොට වනවාස ධර්ම දේශනා මාලාව‘ ග්‍රන්ථ පෙළ උන්වහන්සේගේ සම්පාදනයකි. ජනපි‍්‍රය රැල්ලේ කරලියේ චරිත නොවුණ ද මෙවන් තරුණ යතිවරුන් වහන්සේලාගේ සැබෑ ශාසනික සේවය පැසැසුමට ලක්විය යුතු ය.

බෙම්තොට වනවාස රජමහා විහාරය ඓතිහාසික සුවිශේෂී ලකුණු ඉතිරි කළ පුදබිමකි. මෑත ඉතිහාසයේ ප්‍රබල භික්‍ෂු පරම්පරාවකට සෙවන සැලසූ කෙම්බිමකි. අනාගත පරපුර වෙනුවෙන් මෙවන් ආගමික සන්ධිස්තාන සුරක්‍ෂා කළ යුතු වෙමු.

 

 

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk