Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙ ලොව ජය ගෙනෙන වීර්ය

ඇස් රූප දකී, කන් ශබ්ද අසයි, නාසය ගඳ සුවඳ විඳී. දිව රස විඳී , කය ස්පර්ශ විඳී, හදවත අත්දැකීම් විඳී, සිත ඒවා ගැන කල්පනා කරමින් අකුසල සිතිවිලි රැස් කර ගැනීමෙන් ඒවා ස්ථිර බවත්, සත්‍ය බවත් සිතයි. ඒ නිසා නිරන්තරයෙන් යහපත් සිහියෙන් සිට වීර්යයෙන් දියුණු කරන ප්‍රඥාව තුළින්, යථාර්ථය අවබෝධ වූ විට නියම දෙලොව ජයග්‍රහණය කෙලෙස් සටනින් ජය ගැනීම බව අවබෝධ කර ගනී.

පාසල් යන දරුවාගෙ පටන් මහල්ලා දක්වා තම ජීවිතය තුළින් ගමන් කළ යුතු අනිවාර්ය ඉලක්කයක් තිබිය යුතුය. ධර්මාවබෝධය තුලින් ගොඩනැගෙන වීර්ය සම්පන්නතාවය මගින් ජීවිත සටනෙහි යෙදෙනවිට ලෞකික ජයග්‍රහණයත් කෙලෙස් සටනෙහි යෙදෙනවිට ලෝකෝත්තර ජයග්‍රහණයත් ලැබිය හැකිය. එසේ නම් පරලොව ජයග්‍රහණයට මෙලොව ජයග්‍රහණය අනිවාර්ය වන්නාසේ ම වීර්ය සම්පන්නතාව දෙ ලොව ජයග්‍රහණයට උපකාරි වේ.

භාග්‍යයක් (වාසනාවක් ජයග්‍රහණයත්) අභාග්‍යයත් (අවාසනාවක් ජරාජයක්) සලසා ගන්නේ තමාම බව මේ දෙපදයෙන් පැහැදිලිව ප්‍රකාශ වේ. උපතින්ම භාග්‍යය හෝ අභාග්‍යය එක්තරා ප්‍රමණයකට අප සතුව ඇත. ඒ උපන් වාසනාව විජයග්‍රහණය දක්වා මෙහෙය වීමේ ශක්තිය උට්ඨාන වීර්ය ලෙස දැක්විය හැකිය.

නමුත් ඒ උපන් වාසනාව නැතිකර ගන්නටත්, දියුණුකර නො ගන්නටත් හේතුව නම් අලසකම යි. ඒ නිසා සමාජය තුළ ඉතා බලසම්පන්නව ඉපදුණු අය ඉතාම අභාග්‍ය සම්පන්නයන් දුක්ඛිතයින් ලෙස දිවි ගෙවන අයුරු දක්නට ඇත. එපමණක් නොව සමහරු දිවිනසා ගැනීම් වලටද පෙළඹෙනු ඇත.

එසේම උත්පත්තියෙන් භාග්‍යයකට හිමිකම නොලද සාමාන්‍ය අය ජයග්‍රාහී විලාශයෙන් මෙලොව ජීවිත ගැටලු පහසුවෙන් ජය ගෙන ලොව යෙහෙන් වැජඹෙන බව කිව යුතුය. එසේම එවැනි වීර්යවන්තයෝ කෙලෙස් සටනින් ද ජය ගෙන දෙ ලොව සුවපත් වනු ඇත. ඒ සඳහා ඔවුනට උපකාරි වී ඇති එකම බලවේගය නම් , අප්‍රතිහත වීර්යයෙන් අධිෂ්ඨානයෙන් දුර දක්නා නුවණින් යුක්තව කටයුතු කිරීමත් ය.

මෙසේ බලනවිට සියලු දේ පෙර පිනට හෝ පවට කියා කර්මයට භාරදි අලසව සිටින්නා ජීවිත සටනින් පැරදී මෙ ලොව අපාදුක් විඳීනු දකින්නට ඇත. තම සෞඛ්‍යයට අහිතකර ලෙසින් අලසකමට හිතකර ලෙසින් මොහොතින් නින්දට වැටමින් සමාජයට බරක් ලෙසින් ජීවත් වෙමින් ඇතැම් අය අලසකමේ විපාක විඳිමින් සිටින බව නොරහසකි.

බස් එකේ කෝච්චියේ හෝ වෙනත් වාහනයක ගමන් කරන විට, බණ අහන විට, ඇහුම්කන් දෙන විට, පිරිත් අසන විට, භාවනා කරන විට ආදි වශයෙන් මිනිසාගේ යහපතට බාධා කරන නින්ද අලසකමේ අංගයකි. එසේම වීර්යයෙන් තොරව අලසකමින් නින්දට වැටෙන රියදුරන් අතින් තමාට පමණක් නොව අනික් අහිංසකයින්ද ගෙන දෙන විපත් බොහෝ ය. ඒ නිසා දෙලොව ගැටලු විසඳීමේ දොරටු විවෘත කර ගැනීමේ වීර්ය නමැති යතුර ඇත්තේ තමා අතම බව සිතා කටයුතු කරන බුද්ධිමතා කෙලෙස් සටනින් ලබන ජයග්‍රහණය ලෝකෝත්තර සැපය වනු ඇත.

යහපත් ආර්ථිකයක් තුළ යහපත් ජීවිතයක් රඳා පවතින බව බුදුදහමේ දක්වා ඇත. ‘ඇස් රූප දකී, කන් ශබ්ද අසයි, නාසය ගඳ සුවඳ විඳී. දිව රස විඳී , කය ස්පර්ශ විඳී, හදවත අත්දැකීම් විඳී, සිත ඒවා ගැන කල්පනා කරමින් අකුසල සිතිවිලි රැස් කර ගැනීමෙන් ඒවා ස්ථිර බවත්, සත්‍ය බවත් සිතයි. ඒ නිසා නිරන්තරයෙන් යහපත් සිහියෙන් සිට වීර්යයෙන් දියුණු කරන ප්‍රඥාව තුළින්, යථාර්ථය අවබෝධ වූ විට නියම දෙලොව ජයග්‍රහණය කෙලෙස් සටනින් ජය ගැනීම බව අවබෝධ කර ගනී.

එසේ නම් ලෞකික සමාජය ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කැමැති හා අකැමැති යනුවෙන් දෙ කොටසක් වේ.

මරණයට පෙර මේ ජීවිතයෙන් විඳ ගත හැකි හැම සැපතක්ම විඳ ගත යුතු යයි සිතන අනාර්ය පුද්ගලයා, තම ජීවිතය සැපෙන් සතුටෙන් දිගට ම පවත්වා ගෙන යාමට අවශ්‍ය වන්නේ දේපල හා මිල මුදල් පමණක්ම යයි සිතා ජීවිත සටනට බැස ගනී. මහ මුහුදෙන් මැණික් ගරාගත නොහැකිවාක් මෙන්, මේ සම්මුති ලෝකය තුළින් අප සොයන නිවැරැදි සැප හා සතුට කිසි දාක ලබා ගත නො හැකිය.

ලෞකික සැප සම්පත් වලින් කිසිදාක සෑහීමකට පත් නො වන පසිඳුරන් මගින් අසීමිත වින්දනයක් ලබන්නා, අප උපදින විට රැගෙන ආවේ දුක පමණක් බව මොහොකටවත් නො සිතනු ඇත. ඒ සඳහා ඔහු නො කරන අකුශලයක් ද නැත. උපන් කුසල් යටපත් කරමින්, නූපන් අකුසල් උපදවා ගැනීමට වීර්ය කරන්නේ අගක් මුලක් නැති භව කතරක බිහිසුණු බව අත්විඳීමට බව නො දනී. මෙසේ බලන විට ධර්මය හැසිරීම සඳහා මිස ඉගෙනීම සඳහා පමණක් නො වන නිසා එදිනෙදා ජීවිතයේ සසර දුකින් ඔත්පලව දුක්විඳීමට වීර්ය යොදන්නේ, තමා විඳින්නේ දුකක් බව නො දැනීම නිසා ම ය. ඒ නිසා කෙලෙස් භරිත පුද්ගලයා සම්‍යක් වීර්ය තුළින්, දුක ප්‍රහීණ කළ හැකි බවක් නොදන්නා අතරම, එසේ කළොත් තමන් තුළ ද බුදු ගුණ මතු කර ගත හැකි බව කෙසේවත් නො දනී. ‘නත්ථි මෝහ සමං ජාලං ‘ (මෝඩකම තමයි ලෝකයේ ඇති ලොකුම දැළ) ලෞකික ජයග්‍රහණය තුලින්, ලෝකෝත්තර ජයග්‍රහණයට වීර්යයෙන් මග පාදා ගත යුතු ය. ගිහියනට ඇති සැප හතරකි.

යහපත් ලෞකික ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රබල වීර්යයකි. එසේම සාර්ථක ජීවිතයකට ප්‍රබලම බාධකයක් වන අලසකම , කම්මැලිකම, ඔතෑනි බව, කුසීතකම, යනු සන්සුන්කමවත්, සිල්වත්කමවත් නොවේ.

අප්‍රතිහත වීර්යයෙන් ජීවිතය ගොඩ නගා ගන්නා විට මිනිසාට ඇති උතුම්ම වස්තුව වන්නේ තම දැනීම හෙවත් නුවණට ගුණදම් එකතු වීමය. ගුණධර්ම වලින් තම බුද්ධිය පාලනය කර ගත් විට, මනුෂ්‍ය සංහතියට අපරාධයක්, නපුරක් තමා අතින් සිදු නො වන අතර, තම දැනුම අනුන්ගේ යහපත සඳහා යොදන විට එය සැමට ආශිර්වාදයකි. දෛර්යයෙන් ඥානාන්විතව ගොඩ නගන ජීවිතය ලෞකික සටනින් නිසැකව ම ජය ලබන අතර, ලෝකෝත්තර ජයග්‍රහණයට මග පාදනු ඇත.

මංගල, සිඟාලෝවාද , පරාභව, ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනා අනුව බුද්ධ දේශනාව දෙ ලොව සැප පිණිස හේතුවනවා වගේම සත්ත්වයාට සැප ලබා දෙන මග කියා දෙන්නේ ද ධර්මය තුළිනි.

නමුත් සමාජය දෙස බලනවිට සමහර දෙමාපියන් දරුවන් හදා වඩා ගන්නේ දැඩි උත්සාහයකින් මෙන්ම, දැඩි ආත්මාර්ථකාමිත්වයෙන් යුතුවය. තමා හදාවඩා ගන්නා දරුවාගෙන් අයුතු ප්‍රයෝජන නොලබා රටට බරක් නොවන වැඩ දායක පුරවැසියෙකු සමාජයට දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන් හදාවඩා ගත යුතු ය.

කිසිවිටෙකත් දරුවා දිවිහිමියෙන් තමාට පමණක් පිහිට විය යුතු යයි නො සිතිය යුතු ය. එය කෙසේවත් ලෞකික ජයග්‍රහණය නොවේ. තමාට පිහිට තමා බව අමතක නොකළ යුතුය. එසේ නොවුන හොත් එවැනි මාපියන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලාවට ගොස් සසර දුක නිම කිරීමට අසමත්වනු ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.