Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බුදු සමයට අනුව යුක්තිය, සාධාරණ පිළිබඳ ආධිපතිත්වය ශක්‍රයාට හිමිවෙයි. ගුත්තිල , සඳකිඳුරු ආදි ජාතක කථාවලදි ඒ බව පැහැදිලිව දක්නට ලැබෙයි. ශක්‍ර පදවිය වටා ගෙතී ඇති සද්ගුණයන් පාලි පොත්හි බෙහෙවින් දක්නට ලැබෙයි. “ මහාලී ලිච්චවී සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවූ සංවාදයෙහි දී මේ පිළිබඳව තොරතුරු රාශියක් එම දේශනයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
(සං:නි: මහාලී සූත්‍ර)

මහාලී ලිච්ඡවී බුදුරදුන් හමුව ඔබ වහන්සේ ශක්‍රයා දැක තිබේදැයි අසය එවිට බුදුරදුන් “ දිට්ඨො මෙ භන්තෙ සක්කො දෙවානමින්දොති දිට්ඨො මෙ මහාලී සක්කො දෙවානමින්දොති මහාලි මම ශක්‍රයාද දැක ඇත්තෙමි ය වදාළහ. එය පිළිනොගත් මහාලී වහන්ස, ඔබ වහන්සේ දැක ඇත්තේ ‘සක්ක ප්‍රතිරූපක’ ශක්‍රයාගේ ප්‍රතිරූපකයක් (සමාන රූපයක්) විය යුතුය. කිසිවිටක ශක්‍රයා (දුද්දසොහිභන්තෙ) දැකීමට දුෂ්කර වූ අය වශයෙන් හඳුන්වයි.

ප්‍රශ්නය
මෙම සංවාදයෙහිදී ශක්‍ර පදවිය පිළිබඳ බෞද්ධ අර්ථකථනය පිළිබඳව විවරණයක් දක්නට ලැබෙයි පැහැදිලි කරන්න.

පිළිතුර
මහාලී සක්දෙවිඳු පෙරැ මිනිස් වූයේම මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් “මඝවන්තු” යැයි කියනු ලැබේ. මහාලී සක්දෙවිඳු පෙර මිනිස් වූයේම, (පුරෙ පුරෙ දානං අදාසිතී) පළමුවෙන්ම දන් දෙමින් දායක විය. එනිසාම ‘පුරින්දද” නම් විය. එසේම (සක්කච්චං දානං අදාසිතී) සකසා දන්දීම හේතුවෙන් ශක්‍ර නම් විය. එසේම ආවාස දානයෙන් “ වාසව” යන නමින් ප්‍රසිද්ධ විය. මොහොතකින් සිතිවිලි දහසක් සිතන හැකියාව නිසා “ සහස්සක්ඛ” යැයි කියනු ලැබේ. සක් දෙවිඳුහට “සුජා “ නම් අසුර කන්‍යාව ප්‍රජාපති බිරිය විය. එහෙයින් “සුජම්පති” යයි කියනු ලැබේ. තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරුබව අධිපති බව ඇතිව රජය කරයි. එහෙයින්ම “දේවානමින්ද” යි කියනු ලැබේ. (සංනි :මහාලි සූත්‍ර)

ප්‍රශ්නය
මිනිසා තුළ අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සද්ගුණයන් අතර අජ්ජව මජ්ජව සොවචස්සතා කල්‍යාණ මිත්තතා ප්‍රධාන වෙයි. මෙම සද්ගුණයන් පැහැදිලි කරන්න.

පිළිතුර
අජ්ජව හෙවත් ඍජුකම නම් නොපැකිල තීරණ ගැනීමේ ශක්තියයි මජ්ජව හෙවත් මෘදුකම නම් යමක යථාර්ථය අවබෝධ වූ විට එය පිළිගෙන කාරුණික වීමේ මහාත්ම ගුණයයි. පුද්ගල ජීවිතය විනාශ කරන එක් කරුණක් නම් අකීකරුකමයි. එහි යහපත් පැවැත්ම සුසික්ඛිත බවයි. පාප මිත්‍රසේවනයෙන් වෙන්වීමත් යහගුණයෙන් පිරි ‘පණ්ඩිතානංච සේවනං” උගතුන් බුද්ධිමතුන් ඇසුර කල්‍යාණ මිත්‍ර සේවනයයි.

ප්‍රශ්නය
බුදු දහමෙහි ‘සෙය්‍යා යනුවෙන් සඳහන් වන්නේ “යහන්ගත වීම පිළිබඳව එක්තරා ක්‍රමවේදයක් බෞද්ධ ආචාර ධර්ම ඇතුළත් වෙයි. ඒ ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර
පෙතසෙය්‍යා (පිශාචයෙක්) සේ යහන්ගතවීම
කාමබෝගී සෙය්‍යා - කාමාශක්ත තැනැත්තෙකු සයනය,
සීහසෙය්‍යා - සිංහයකු යහන්ගතවීම
තථාගත සෙය්‍යා – තථාගතයන් වහන්සේ සැතපෙන ආකාරය

මේවා අතුරෙන් සිංහ සෙය්‍යාව සහ තථාගත සෙය්‍යාව විශේෂ වෙයි. සිංහයා දකුණැලයට බරව සයනය කරයි. හේ අවදිව උඩුකය ඍජුව තබාගෙන (කටකය) සියලු ශරීර අවයවයන් විමසා බලයි.

තම ශරීරවයන් විසිරීමක් වේ නම් ඔහු අසතුටට පත්වෙයි. තථාගත සෙය්‍යාව නම් තථාගතයන් වහන්සේ ප්‍රථම, ද්විතීය, තෘතීය , චතුර්ථ ධ්‍යානවල පිහිටා සැතැපීමයි.

ප්‍රශ්නය - බුදු දහමට අනුව මදයෙන් මත්වීම සදාචාරයට මෙන්ම දෙලොවටම අහිතකර ක්‍රියාවකි. එවැනි මදයන් (මත්වීම) තුනක් පිළිබඳව දේශනාපාලියෙහි දක්නට ලැබේ . ඒ මොනවාද?

පිළිතුර
දී:නි : සංගීති සූත්‍රය

බුදු දහමට අනුව මත්වීම උඩඟුකම (අහංකාරකම) ආදි මිනිස්ගති එක හා සමානව විවරණය වෙයි. ඒ අනුව,
ආරෝග්‍ය මදය (නීරෝගි බව නිසා උපදනා මදය)

යෞවන මදය
(තරුණකම නිසා උපදනා මදය)

ජීවිත මදය
බොහෝ කල් ජීවත්වීම හා ඒ පිළිබඳ කැමැත්ත ආදි තම දිවි පැවැත්ම නිසා උපදනා උඩඟුකම

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.