Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉහළම දිනුම ලැබීමට උදව්වන පුද්ගල බෙදීම්

බුද්ධකාලීන භාරතීය සමාජයේ පන්ති භේදය පදනම් කරගත් පුද්ගල වර්ගීකරණයක් ක්‍රියාත්මක විය. එහිදී දිළිඳු සහ කුලහීන ජනයා පහත් යැයි සම්මත කරනු ලැබ ඉතා අඩු වරප්‍රසාද සහිත මට්ටමකට ඇද දමා තිබිණි. ස්ත්‍රී පුරුෂ භේදය තුළ කාන්තාවනට හිමි වූයේද අඩු සාමාජීය වරප්‍රසාදයන්ය. ඔවුන්ගේ නිදහස නොයෙක් අයුරින් සීමා කොට තිබුණි. බමුණු මතවාදය තුළ, පුද්ගලයාගේ ජීවනෝපායන ක්‍රමය පවා කුලීන හෝ කුලහීන බව හෝ මත තීරණය වී තිබිණි.

එහෙත් ක්‍රි.පූ. 6 වැනි සියවසේ දී පහළ වූ අසහාය ශාස්තෘවරයාණන් වහන්සේ විසින් මේ බමුණු ආකල්ප බැහැර කරන ලදී. පුද්ගලයා බ්‍රාහ්මණයකු හෝ වසළයකු වන්නේ උපත අනුව නොව ක්‍රියාව අනුව බව පෙන්වා දුන් බුදුන් වහන්සේ ඉතා සහනශීලි ආකල්පයකින් සමාජයේ නොයෙක් ස්ථරයන් සමඟ කටයුතු කළ සේක. ඒ අනුව, ජාති, කුල, ආගම් හෝ ස්ත්‍රී, පුරුෂ, භේදයකින් තොරව ශාසනයට ඇතුළුවීමටත් පුද්ගලයකුට ලබාගත හැකි ඉහළම සැපය වන විමුක්ති සුවය ලබාගැනීමටත් උන්වහන්සේ සැමට මඟ පෙන් වූ සේක. ඉඩ හසර ලබාදුන් සේක.

අගතිගාමී බමුණු වර්ගීකරණය පසෙක ලා බුදුන් වහන්සේ විසින් සමාජයේ පුද්ගලයන් වර්ගීකරණය කරනු ලැබුවේ කෙසේදැයි සලකා බලතහොත් උන්වහන්සේ විසින් ඉතා සරල ලෙස සමාජය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදනු ලැබූ බව දැකිය හැකිය. එනම් පැවිදි පිරිස සහ ගිහි පිරිස වශයෙනි. නැවත, ස්ත්‍රී පුරුෂ බව අනුව සලකතොත් භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා වශයෙන් සිව්වනක් පිරිස ලෙස සමාජයේ විවිධතාව පෙන්නුම් කර ඇත.

දැන් අපි තවදුරටත් මඳක් ගැඹුරෙන් බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන පුද්ගල වර්ගීකරණය පිළිබඳ අවධානය යොමු කරමු. මෙම වර්ගීකරණයන්හි අරමුණ වී ඇත්තේ එක් එක් පුද්ගලයාට තමන්ගේ ගති ස්වභාව අවබෝධ කරගෙන, වඩාත් නිවැරැදි බව සහ වඩා යහපත් බව කුමක්දැයි යන්න වටහාගැනීම ඔස්සේ දහම් මඟෙහි නිරවුල්ව ගමන් කිරීමට අත්වැලක් සැපයීමයි.

නිදසුනක් වශයෙන්, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමෝ තම පරායන සූත්‍රයෙහි එන පුද්ගල වර්ගීකරණය සලකා බලමු. එහිදී පුද්ගලයන් සිව්වැදෑරුම් ලෙස වර්ගකර ඇත. ඒ මෙසේය.

1. තමෝ තම පරායනෝ (අඳුරෙන් අඳුරට යන්නා)
2. තමෝ ජෝති පරායනෝ (අඳුරෙන් ආලෝකයට යන්නා)
3. ජෝති තම පරායනෝ (අලෝකයෙන් අඳුරට යන්නා)
4. ජෝති ජෝති පරායනෝ (ආලෝකයෙන් ආලෝකයට යන්නා )

මෙහිදී ‘ තම’ යන්නෙන් අඳුර හෙවත් පිරිහීම අර්ථ ගැන්වෙයි. එනම් භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයන්හි පිරිහීමයි. එයින් මෙලොවද පරලොවද පිරිහීමට පත්වෙයි. ජෝති යනු දීප්තියයි. බැබැළීමයි. භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයන්හි දියුණුව මෙයින් අදහස් කෙරේ.

මෙහිදී අඳුරෙන් අඳුරට යන්නා ලෙස අර්ථ දක්වන්නේ පස්පවෙහි ගැලී වීර්යය හීනව කටයුතු කරමින් මෙලොව කිසිදු දියුණුවක් නොලබම මියගොස් දුගතිගාමි වී පරලොවද පිරිහීමට පත්වන්නායි.

අඳුරෙන් ආලෝකයට යන තැනැත්තා යනු මෙලොව දිළිඳුව සිටිමින් වුවද කුසල් දහම් සිදුකර ගැනීමට නොහැකිව මහත් බාධක හේතුවෙන් අසරණව සිටිමින් වුවද වීර්යයෙන් හා උත්සාහයෙන්, අප්‍රමාදිව කටයුතු කරමින්, එහි ප්‍රතිඵලයක් වශයෙන් පරලොව සුගතිගාමී වී තම සැපය වඩාත් තහවුරු කර ගන්නා පුද්ගලයායි. ඔහු සිය විමුක්ති සාධනය දක්වාම මේ ආකාරයෙන් නොනවත්වාම දියුණුවෙමින් ඉදිරියට යයි.

ජෝති තම පරායනෝ, එනම් ආලෝකයෙන් අඳුරට යන්නා මෙලොව සුවපහසු ජීවිතයක් හා කුසල් දහම් සිදුකරගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා තිබියදීත් ප්‍රමාදීව ක්‍රියා කිරීම හේතුවෙන් මෙලොව තමන් ලැබූ සැපයෙන්ද පිරිහී පරලොව ද පිරිහී මහත් වූ දුකට පත්වෙයි. ජෝති ජෝති පරායනෝ එනම් ආලෝකයෙන් ආලෝකය වෙතටම යන්නා මෙලොව තමන් ලත් සුවපහසු හා යහපත් දිවි පෙවතෙන් උපරිම ඵල නෙලා ගනිමින් අප්‍රමාදීව හා උට්ඨාන වීර්යයෙන් කටයුතු කරමින් කුසල් දහම් සිදුකරයි. ධර්ම මාර්ගයේ ගමන් කරන ඔහුගේ මෙලොව මෙන්ම පරලොවද යහපත් වේ.

මෙම සූත්‍රයේදි තමෝ ජෝති පරායනෝ (අඳුරෙන් ආලෝකයට යන්නා) සහ ජෝති ජෝති පරායනෝ (ආලෝකයෙන් ආලෝකයට යන්නා) යන පුද්ගල දෙකොටස අගය කිරීමට ලක්කර ඇත. තමන් අයත් වන්නේ ඉතිරි දෙකොටසට නම් සිය අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි වටහාගෙන එතුළින් අප්‍රමාදීව කටයුතු කිරීමට පුද්ගලයකුට හැකියාව ලැබේ.

පුද්ගල ප්‍රභේද පිළිබඳ සලකා බැලීමේදි බෞද්ධ විග්‍රහය තුළ ආර්ය හා අනාර්ය යනුවෙන් කොටස් දෙකක් ගැන කියැවේ. ආර්ය පුද්ගලයා නම් උතුම්, ශ්‍රේෂ්ඨ විමුක්තිකාමි පුද්ගලයාය. ආර්ය පුද්ගලයා අනාර්ය ගණයට නොවැටෙයි. සාසව (කෙලෙස් සහිත) සහ අනාසව (කෙලෙස් රහිත) වශයෙන් වන බෙදීමද මෙහිදී සිහිපත් කිරීම වටී.

තම දියුණුව කෙරෙහි වඩාත් උනන්දුවන පිරිස බෙහෙවින් අවධානය යොමු කරන තවත් පුද්ගල ප්‍රභේද හයක්, නොඑසේ නම් චරිත හයක් ගැනද කියැවේ. භාවනා වඩන පුද්ගලයා විශේෂයෙන් සිය චරිත ස්වභාව හඳුනාගෙන දුර්වලතා හා අඩුපාඩු මඟහරවා ගනිමින් ඉදිරියට යෑම සඳහා මේ පුද්ගල ප්‍රභේද විග්‍රහය ගැන බොහෝ සේ උනන්දු වෙයි. එම චරිත හය මෙසේය.

1. රාග චරිත
2. ද්වේෂ චරිත
3. මෝහ චරිත
4. ශ්‍රද්ධා චරිත
5. බුද්ධි චරිත
6. විතර්ක චරිත

මෙහිදී එක් එක් චරිත ස්වභාවන්ට අයත් විශේෂ ගති ලක්ෂණ සහ එක් එක් චරිත ස්වභාවන්ගේ මිශ්‍රවීම නිසා උරුම වී ඇති ගති ලක්‍ෂණ ගැනද විස්තර කර තිබේ. භාවනා වැඩීමට මතු නොව එදිනෙදා ගෘහ ජීවිතයේ ද වෘත්තිය ජීවිතයේද කටයුතු මැනැවින් නිවැරැදි රටාවකට පවත්වාගෙන යෑමට සිය චරිතයේ අඩුලුහුඩු තැන් හඳුනාගෙන ඊට පිළියම් යෙදීමෙන් හැකියාව ලැබේ.

එසේම තම චරිතයේ යහපත් ගති ලක්‍ෂණ හඳුනාගෙන ඒවා වඩා වර්ධනය කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ. භාවනා කෘත්‍යයේදී මේ එක් එක් චරිත ස්වභාවන්ට අනුව ලැබෙන භාවනා කමටහන්ද වෙනස් වේ. ඒ අනුව ඉහත චරිත විග්‍රහය සැමගේම අවධානයට බෙහෙවින්ම යොමු වේ.

බෞද්ධ දර්ශනය තුළ පුද්ගල බෙදීම් තවදුරටත් නොයෙක් ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ. ඉහතින් දැක්වූයේ ඉන් ස්වල්පයකි. එම කරුණු ස්වල්පය වුවද සිය යහපත කැමැති තැනැත්තාට තමා දැන් සිටින තැන හඳුනාගෙන ඉදිරියට ජය ගතයුතු ඉලක්කය තීරණය කරගෙන අප්‍රමාදීව කටයුතු කිරීමට සෑහේ. ඒ සඳහා වීර්යයත්, අධිෂ්ඨානයත් එක්තැන් කොට ක්‍රියා කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු වන්නේය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.