Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පූජිත පින්කෙත

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි

“පූජිත පින්කෙත” නමින් මෙරට පහළ වූ ශාසනභාරධාරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිබඳ පළ කැරෙන ලිපි පෙළක පළමු වැන්න මෙය වේ.

සංඝ රාජ මාහිමියන් සිය මුළු ජීවිත කාලයම පිණ්ඩපාතිකව සක්මන් කරමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසාම ඇප කැප වූහ. සාමණේරයන් වහන්සේට ධර්ම ශාස්ත්‍රය ඉගැන්වූහ. එසේ නොවන්නට වත්මන් සංඝ සමාජයක් ගැන සිතීම පවා උගහට වේ. අප හිමිපාණන් කෙතරම් නිහතමානි ගුණාංගයන්ගෙන් යුතුද යත් සංඝරාජ පදවිය ලැබීමෙන් පසු උඩඟු නොවන මහණ “ යැයි කියා තල්පතක තුන් වරක්ම ලියා වැඩ විසූ කුටියෙහි උඩලිපත මත්තෙහි තබා ගෙන සිටියේය.

පර සතුරන්ගෙන් සහ මිසදිටුවන්ගේ සටකපටකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයට අහිමි වූ උපසම්පදාව යළි පිහිටුවන්නට පෙරමුණ ගනිමින් ශාසනයේ චිරස්ථිතිය පිණිස මුළු ජීවිත කාලයම ඇප කැප කළ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ මාහිමියන් අපවත් වී වදාළේ බු.ව. 2321 ඇසළ පුන් පොහෝ දිනයෙහි ය.

එක් පැත්තකින් ජාතියද අනෙක් පැත්තෙන් ශාසනය ද විනාශවීමේ තර්ජනයකට මුහුණ පා සිටි ඒ අඳුරු සමයෙහි වැලිවිට සරණංකර මාහිමිපාණන් පහළ නොවන්නට අපේ රටේත් ශාසනයේත් ගමන් මග ඉඳුරාම වෙනස්වන්නට තිබුණි. මේ මහා සංඝ පීතෘවරයාණන්ගේ පහළවීම පිළිබඳ සඟ රජ වතෙහි මෙසේ දැක්වෙයි.

දෙව් බඹ කෙනෙක් දෝ
නා ලොවින් ආවෙක් දෝ
බෝසත් කෙනෙක් දෝ
නො දන්නෙමු අපි කෙබන් දෙක් දෝ

මහනුවර තුම්පනේ ගම් පළාතේ වැලිවිට නම් ගම්මානයේදී ජන්ම ලාභය ලැබූ පින්වත් කුල කුමරු කුලතුංග බණ්ඩා නම් විය.

මේ පින්වත් කුමරු කුඩා කල පටන් ම ආගම දහම කෙරෙහි නෙත සිත බැද ගත්තේ ය. පස් අවුරුද්දවිය ලබත් ම එරමුදුලියද්දේ උපාසක රාළගෙන් මුල් අකුරු ඉගෙන ගත්තේ ය. ඉන් පසුව මුරුද්දෙණියේ හේරත් ගෙදර ගුරුතුමාගෙන් සිය දැනුම වර්ධනය කර ගත්තේය. බුද්ධි සම්පන්න භාවයෙන් පිරුණු මේ කුමරු සොළොස්වන වියෙහි දී සූරියගොඩ ශ්‍රී නරෙන්ද්‍රසිංහාරාමයේ දී සූරියගොඩ කිත්සිරි මෙවන් රාජසුන්දර මහතෙරුන් වහන්සේ වෙතින් පැවිදි බිමට පත් විය.

මෙකල සූරියගොඩ තෙරුන්ද රාජ උදහසට ලක් වූ නිසා ගුරු උපදේශ සහිතව ශ්‍රමණාකල්ප පුහුණු කිරීමට හෝ ධර්ම විනය අවබෝධය ලබා ගැනීමට හෝ නිවැරදි මගක් නො තිබිණි. භාෂා සාහිත්‍ය ශබ්ද ශාස්ත්‍රාදිය මෙසමයෙහි අන්ත පරිහානියට පත්ව තිබුණි. වැලිවිට සාමණේරයන්ගේ මූලික මෙන්ම මුල්ම අභිප්‍රාය වූයේ සංඝ ශාසනය ප්‍රතිශෝධනය කර ධර්ම ශාස්ත්‍රය සහ බුදු සසුන බැබළවීමය.

වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ශාසනයේ ඉදිරිගමන් මග උදෙසා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මහා වෙහෙසක් ගත්හ.අතිශය දුක්ඛ දායකවූත් ධෛර්ය සම්පන්නවූත් මෙම ක්‍රියා මාර්ගය උදෙසා සරණංකර සාමණේරයන් වහන්සේ එඩිතරව උත්සුක වූහ. බොහෝ දුර බැහැර පෙදෙස්වලට ගොස් ස්වෝත්සාහයෙන් දැනුම අත්කර ගැනීම ද කළහ.රාජ උදහසට ලක්ව සතර කෝරළයෙහි මහ කෙහෙල්වල ගුහාවක සිරගතව සිටි ලෙව්කේ රාළහාමිගෙන් ඉතා රහසිගතව පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ බාලාවතාරය මුල් කොටස ඉගෙන ගත්හ. ජන්මයෙන් ලැබු ඤාන ශක්තිය උපයෝගි කර ගනිමින් ඉතා පහසුවෙන් සොයා ගත් දහම් පත පොත කියවා ගෙන බහුශ්‍රැත වූහ. වත් පිළිවෙත් සරුවීමත් ධර්මාවබෝධය පතුරුවා හැරිමත් හේතුවෙන් සරණංකර සාමණේරයන් වහන්සේට ගිහි පැවිදි බහුතර පිරිසක් දිනා ගැනීමට ඉඩ පහසුකම් ලැබිණි. විශේෂයෙන් සාමණේරයන් වහන්සේගේ සම්බන්ධතාව මත සිල්වත් සමාගම බිහි කිරීමට ද හැකි විය. මෙම සිල්වත් සමාගමට ඊසිවිටියේ සාමණේර ඇතුළු කප්පාගොඩ , නාගොල්ලේ ,අළුත්නුවර, මැදවල, කුඹුල්දිවෙල, වැවගෙදර, අහුගොඩ, පහන්කුඹුරේ, දාහිගමුවේ, වාලගම්මන, සාමණේරවරු ඇතුළු පිරිසගෙන් සමන්විත විය. දස සිල් සමාදන් වූ අතවැසි පිරිසක්ද මෙම සිල්වත් සමාගමට අයත් විය. සංඝරාජ මාහිමියන් විසින් සිල්වත් සිසු සඟ පරපුරක් වර්ධනයෙහිලා මුල් අවස්ථාව ලෙස දැක්විය හැකිය.

සංඝ ශාසනය හා ධර්ම ශාස්ත්‍රය පුනරුත්දීප්තියට අපමණ වෙහෙසක් දරද්දී ගණින්නාන්සේලාගේ රහසිගත උපක්‍රමයක් හේතුවෙන් රාජ උදහසට ලක් විය. මෙසමයෙහි භාරතයේ සිට පැමිණි සන්නාසි බමුණෙකු විවිධ වාද විවාද ඇති කරමින් මහනුවර රජ මාලිගය දක්වා ම පැමිණියේය. ඒ ශ්‍රී වීර පරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ රජතුමාන්ගේ පාලන කාලයයි. භාරතයෙන් පැමිණි බමුණා විසින් ගැඹුරු ශ්ලෝකයක් ඉදිරිපත් කර එය විසදා දක්වන ලෙස රජතුමන්ට දැන්වීය.පෝය මළු අස්ගිරි විහාරවාසි ගණින්නාන්සේලා කැඳවූ රජතුමා මෙම ශ්ලෝකය විසඳා දෙන ලෙස දැන්වූහ. ගණින්නාන්සේලා නිරුත්තරව දැඩි අපහසුවට පත්වූහ.මේ වන විට ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කර සිටි සරණංකර සාමණේරයන්ට හඟුරන්කෙත රාජ මහා විහාරයට වඩින්න යැයි රජ තෙමේ ආරාධාන කළේය. භාරත බමුණා විසින් ඉදිරිපත් කළ ශ්ලෝකය විසදා දී මතු කල ප්‍රශ්නයන්ට නිශ්චිත නිවැරදි විසඳුම් ලබා දුන්හ. ධර්ම දේශනාවක්ද පැවැත්වූහ. රජ තෙමේ සත්‍ය පවතින්නේ කොතැනදැයි නිවැරදිව වටහා ගත්හ. නරේන්ද්‍රසිංහ රජතුමන් වෙත කරුණු දැක්වීමෙන් පසු උපසම්පදාව සඳහා සියම් දේශයෙන් භික්‍ෂූන් වහන්සේ ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ඒ ඉල්ලීම සඵල නොවීය.

සරණංකර සාමණේරයන් වහන්සේ නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ සහයෝගයෙන් ඇම්බැක්ක අසල නියමකන්ද නම් ස්ථානයෙහි විද්‍යාස්ථානයක් ද ආරම්භ කළහ. රජතුමා ශාලා, ආවාස, ගෘහ ආරාම, ද ලබා දුන්හ. මාසයක් පාසා ගම්පොළ අටුවෙන් සහල් නැලි 3000 ක්ද තුම්පනෙන් පොල් ගෙඩි තුන් සියයක් ද ලේවැල්ලේ තල්වත්තෙන් තල්කොළ පන්සියයක්ද මහා ගබඩාවෙන් අවශ්‍ය අනෙක් උපකරණ ද සැපයීමට නියෝග කළහ. රජුගේ ආරාධනය පරිදි සරණංකර හිමිපාණන් සාරාර්ථ සංග්‍රහය රචනා කරමින් ධර්ම ශාස්ත්‍රිය සේවාව මුළු රටපුරා ව්‍යප්ත කරන්නට අවශ්‍ය පියවර ගත්හ.

මාතර සාහිත්‍ය යුගයක් ජනිත වූයේද එම උදාරතර ධර්ම සාහිත්‍ය සේවාවේ අනගි ප්‍රතිඵලයක් වශයෙන් වග විද්වත්හු පවසති. සාමණේරයන් වහන්සේ බණපොත් ලියුවේ අමුතු ආකාරයකටය. සත් කෝරළේ චාරිකාවන්හි නිරත වෙද්දී පන්හිඳ උලු කටු, තල කොළ, පුස්කොළ, ආදි උපකරණ ද රැගෙන සාමණේරයන් වහන්සේලා පිරිසක් ද රැගෙන ගියහ. සැතපුණේ පොල් බෑ කටුවක් හිසට තබාගෙනය. මතුවන වේදනාව නිසා නින්දයාම අඩු කර ගැනීමටය.

මහා දුක්කම්කටොළු මධ්‍යයේ උන්වහන්සේ විසින් ලියන ලද ග්‍රන්ථ රත්නයන් රාශියකි. මුණිගුණාලංකාරය ,අභිසම්බෝධි අලංකාරය සාරාර්ථ සංග්‍රහය, රත්නත්‍රය ගාථා ,භේසජ්ජ මඤ්ජුසා සන්නය, සතර බණවර සන්නස, මහා බෝධි වංශ සන්නස, රූප මාලාව, පාලි සන්දේශය, ඒ අතර වේ.

මෙම ග්‍රන්ථකරණය කෙරෙහි රාජ රාජ මාත්‍යාධිහු බෙහෙවින් ප්‍රසාදයට පත් වූහ. විශේෂ ගරු සැලකිලි දැක්වූහ. සරල දිවි පෙවතක් ගත කළ උන්වහන්සේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගරු සැලකිලි වරප්‍රසාද ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ ප්‍රතිපත්තියක් වශයෙනි. මෙම ධර්ම ශාස්ත්‍රීය සේවාව අගය කිරීම් වස් ශ්‍රී විජය රාජසිංහ රජතුමන්ගේ සමයෙහි සරණංකර සාමණේරයන් වහන්සේට ‘රාජගුරු’ යන ගරු නාමය පුදනු ලැබීය.

සාමණේරයන් වහන්සේගේ පෙර අදහස ශ්‍රී විජය රාජසිංහ රජුට ද දැන්වූහ. ඒ අදහස පරිදි උපසම්පදා කර්මය සඳහා භික්ෂූන් ගෙන ඒමට දූත පිරිසක් සියම් දේශයට පිටත් කර යැවීය. හාරගොඩ, ගණේගොඩ, ළිඟවිටියේ වටවන, හල්පේ, ග්‍රාම නාමයෙන් හඳුන්වන සිල්වතුන් වහන්සේද දෙරණාගම මුහන්දිරම් රාළ සහ මාතොට රාළ ඇමතිවරුන් දෙදෙනා ද වටවන උපාසක රාළ සහ සේවකයෙක්ද මෙම දූත පිරිසට ඇතුළත් විය. පඩුරු පාක්කුඩම් සහිත පාලි භාෂාවෙන් ලියූ බණ පොත් සංදේශ නිවේදන ලියවිලිද ඇතිව සියම් දේශයට යැවූ ඒ පිරිස සහිත නැව විනාශ වීමෙන් ඉතා අපහසුවෙන් කිහිප දෙනෙක් ආපසු පැමිණියහ. දෙවැනි ගමනද අසාර්ථක විය. සාමණේරයන් වහන්සේගේ ඉල්ලීම පරිදි තෙවැනි වරද නියෝජිත පිරිසක් පිටත්වූහ. ඕලන්ද ආණ්ඩුකාරයා ඒ අවස්ථාවේ මෙම උතුම් ගමන සඳහා ‘තාර්කා’ නම් නැව සපයා දුන්නේය. ඒ දූත ගමන සාර්ථක විය. ඛලාරාම විහාරයේදී අපේ දේශයට එවනු සඳහා පවර උපාලි ස්ථීවිර නමින්ද ප්‍රමුඛ ස්වාමින් වහන්සේ 21 නමක් තෝරා ආරාධනා කළහ. ත්‍රිකුණාමල වරායෙන් ගොඩබට මෙම දූත පිරිස් සහ සන්දේශය පිළිගන්නේ වැලිවිට රාජගුරු ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේ විසිනි. සාමණේරයන් වහන්සේ උපාලි තෙරුන් සමඟ සාකච්ඡා කරමින් දවස් කීපයක් ගොඩහෙළ නුවර විසූහ. මෙහිදී සිවුරු පිළියෙළ කර ගැනීම උපදම්පදා කර්මයෙහි පිළිපැදිය යුතු ක්‍රම ආදි ශාසනික පිළවෙත් ලාංකීය සාමණේරවරුන් වෙත සියම් භික්‍ෂුහු කියා දුන්හ.

ඉන් පසු නුවර බලා පිටත් වූ භික්‍ෂූන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් මහවැලි ගඟ අළුත්ගංතොටදී පිළිගෙන මහා පෙරහරින් මල්වත්තේ විහාරයට වැඩම කරන ලදහ. 1753 ඇසළ මාසයේදී වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් මල්වතු මහා විහාරයේ මෙකල බද්ධ සීමා මාලකය පිහිටි ස්ථානයේ ඉදිකළ විසිතුරු මණ්ඩපයකදී උපාලි මහා ස්ථවිරයන්ගේ උපාධ්‍යායෙන් උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කෙරිණි. වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රධාන සාමණේර වහන්සේගේ උපසම්පදා කර්මයද සිදු කෙරිණි. උපසම්පදාව ලැබෙන විට සරණංකර හිමියෝ පනස් වියේ පසු වූහ. ඉන් පසු රජතුමා විසින් රාජගුරු පිණ්ඩපාතික අසරණ සරණං සරණංකර මාහිමියන්ට සඟරජ පදවිය පිරිනමන ලදී. රජතුමන් විසින් පිළියෙළකරන ලද වටාපත පිළිගැන්වීමෙන් සිදු කළ වග සඟ රජ විත්තියේ දැක්වේ.

සංඝ රාජ මාහිමියන් සිය මුළු ජීවිත කාලයම පිණ්ඩපාතිකව සක්මන් කරමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසාම ඇප කැප වූහ. සාමණේරයන් වහන්සේට ධර්ම ශාස්ත්‍රය ඉගැන්වූහ. එසේ නොවන්නට වත්මන් සංඝ සමාජයක් ගැන සිතීම පවා උගහට වේ. අප හිමිපාණන් කෙතරම් නිහතමානි ගුණාංගයන්ගෙන් යුතුද යත් සංඝරාජ පදවිය ලැබීමෙන් පසු උඩඟු නොව මහණ “ යැයි කියා තල්පතක තුන් වරක්ම ලියා වැඩ විසූ කුටියෙහි උඩලිපත මත්තෙහි තබා ගෙන සිටියේය.

සංඝරාජ මාහිමියන් වහන්සේ අසූ වයස් සම්පූර්ණව ක්‍රි.ව. 1778 ඇසල පුර පසළොස්වක දිනයෙහි මල්වතු මහා විහාරීය සීමා මාලකයේදී පොහොය කර හන්තානේ විවේක සේනාසනයේ වස් විසීම සඳහා වැඩම කිරීමට සුදානම් වූ අවස්ථාවේ ඇතිවූ හදිසි අසනීපයකින් රෝගාතුරව ස්වාමින්වහන්සේලා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරද්දී අපවත් වී වදාළහ.

ශ්‍රී ලංකාවේ උපදසම්පදා කර්මය පිහිටුවා වසර 250 ක් ගතවීම නිමිති කර වැලිවිට සංඝරාජ මාහිමිපාණන්ගේ ප්‍රතිමාවක් සෙංකඩගල පුෂ්පාරාම විහාරයෙහි ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර බෞද්ධ ග්‍රන්ථ පර්යේෂණ කටයුතු සඳහා මහනුවර පශ්චාත් උපාධි බෞද්ධ පර්යේෂණ පුස්තකාල ආයතනයක් ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් 1989 දී ස්ථාපිත කරන්නට යෙදුණේ උන්වහන්සගේ ශ්‍රී නාමයට ගෞරව උපහාර දැක්වීමක් වශයෙනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.