Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝකය දකින විධියේ වරදින් අප දුක් විඳින හැටි

බුදු හිමියන් ලෝකය දුටුවේ පෘථග්ජන අප හැමෝ ම ලෝකය දකින විධියට නොවෙයි.

* ලෝකය ගැන අප නො - දකින ඇත්ත උන්වහන්සේට දකින්න පුළුවන් වූයේ, උන්වහන්සේ ගේ මානසික ජීවිතය මුළුමනින් ම සුවිශේෂ පරිවර්තනයකට භාජන වීමක් සිද්ධ වූ නිසා ය.

- එනම් “ බුද්ධත්වයට” පත්වීම ය කියන සිද්ධියත් -

- එහි ප්‍රති-ඵලය වූ “ නිර්වාණය’ යි කියන නිදහස් සුවයත් උදාවීමේ හේතුවෙන් ය.

* “ බුද්ධත්වයට පත්වෙනවා” ය කියන්නේ, ඉතා කෙටියෙන්, රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය = රාග - දෝස - මෝහ යනුවෙන් පෘථග්ජන අප හැමෝගෙ ම මනස වැසී තියෙන මානසික රෝගී තත්ත්වයෙන් සදහට ම, සහමුලින් ම මිදී සුවපත්වීමයි.

* ඒ සිද්ධිය එකක් හැටියට ගත් කල “ ආසවක්ඛය- ඤාණය හෙවත් ආස්‍රවයන් ක්‍ෂය වීමේ හේතුවෙන් උදාවන්නා වූ නුවණ” කියා හැඳින් වෙයි.

* ඒ සිද්ධිය මාර්ගඤාාණය හැටියටත් එහි ප්‍රතිඵලය සියලු දුක් නමැති රෝගයෙන් සදහට ම නිදහස් වීමේ හේතුවෙන් උදාවන්නා වූ සුවපත් බව, “ සුවය” හෙවත් “ නිවන” වන්නේ ය.

* ලෝකය පිළිබඳ අපට නොපෙනෙන ඇත්ත තත්ත්වය බුදු හිමියන්ට දකින්නට පුළුවන් වූයේ, මේ කියූ ආශ්‍රව - රෝගී තත්ත්වයෙන් නිදහස් වීමේ හේතුවෙන් උදා වූ පරම පවිත්‍ර ඤාණයේ ආධාරයෙන් ය.

* ඒ ඤාණය තුළින් ම උන්වහන්සේ තුළ පහළ වූයේ, මෝහය නිසා ලෝකය පිළිබඳ ඇත්ත නොදැකීමේ හේතුවෙන් දුක් විඳින අප වැන්නවුන් කෙරෙහි මහා කරුණාවක් ය, අනුකම්පාවක් ය.

* ඒ නිසා, ඒ දුක් – කන්දරාවෙන් නිදහස් වීමට කැමැත්තක් ඇති අප වැනි පෘථග්ජනයන් වෙනුවෙන් – අප විසින් ම අවබෝධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා කාරකම් හතරක් එකට ගොනු කොට, ආර්ය සත්‍යයන් හතරක් හැටියට ඉදිරිපත් කොට තිබෙනවා.

ලෝකයේ තියෙන දේවල් මගේ ජීවිතයට මුණගැසෙන හැටි

අප ගේ ඇස් - කන් – නාසය – දිව හා ශරීරය යන ඉන්ද්‍රිය පහ හරහා මනසට ගොදුරු වන ලෝකයේ තියෙන දේවල් දිහා, ඔබත් මාත් දෙ – ආකාරයකින් බලන බව වටහා ගත යුතු ය! යන්න බුදු හිමියන් විසින් බුදු- දහම තුළින් අපට ලබා දී තිබෙන අනුශාසනය යි.

* එයින් එකක් වන්නේ -

බාහිර ලෝකයේ භෞතික වස්තු එහෙම ම තිබිය දී, අප ගේ ඉන්ද්‍රියයන්ට හමු වන විධියට අනුව ම අත් විඳිනු ලැබිමයි.

* රූප - ස්කන්ධ කියන්නේ ඉන්ද්‍රියයන්ට ගොදුරු වන ආරම්මණ වස්තුවලටයි.

අනෙක

* ඉන්ද්‍රිය - සංඥා වශයෙන් මනසට ඇතුල් වී හඳුනා ගනු ලැබූ දේවල මානසික ප්‍රතිරූප හා ඒවා ආශ්‍රිත හැඟීම් ( වේදනා ) පදනම් කර ගෙන, සංස්කාරස්කන්ධ වශයෙන් හිතේ හිතුමනාපයට, හිත ඇතුළේ ම ගොඩනගා ගන්නා වූ දේවල් ය.

ලෝකයේ තියෙන දේවල් අප ගේ ජීවිතය හා ඒකාබද්ධ වන ආකාරය

ලෝකයේ තියෙන ඕනෑ ම දෙයක අර්ථය – අගය – වටිනාකම රඳා පවතින්නේ, එය අප අත්විඳිනු ලබන ජීවිතයට සම්බන්ධ වීම අනුව බව තේරුම් ගැනීම අමාරු දෙයක් නොවෙයි.

* දේවල ඇති, අපට හිතාගන්න වත් අමාරු වටිනාකම කුමක් ද?

* බාහිර ලෝකය අප ගේ මානසික ලෝකයට ඇතුල් වන්නා වූ විධි හතක් ගැන බුදු දහම තුළ කියැවෙනවා.

1. දුටු විදියට ( දිට්ඨ )

2. ඇසුණු විධියට ( සුත )

3. සංකල්පිත ( මුත )

4. දැනුවත් වූ විධියට ( විඤ්ඤාත )

5. තත්ත්වයට පත්වු ( පත්ත )

6. පරීක්‍ෂණයට භාජනවූ ( පරියේසිත )

7. විමසා බැලීමට භාජන වූ ( මනසා අනුවිචරිත )

* මේ බාහිර දේවල් “ අත්දැකීමට හවුල් වූ” යනුවෙන් අතීත – කෘදන්තයෙන් ප්‍රකාශ කර තිබෙන බව පෙනෙනවා ඇත.

* එයින් අදහස් වන්නේ, මේ දේවල් සවිඤ්ඤාණික සචේතනික පුද්ගලයකු විසින් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම, ඇති හැටියට ම අත්විඳිනු ලැබූ දේවල් බවයි.

* කනෙන් හා ඇහෙන් ඇසූ - දුටු වශයෙන් ලබා ගන්නා අරමුණුවල – නාසයෙන් – දිවෙන් - ශරීරයෙන් ලබා ගන්නා අරමුණුවලට වඩා වෙනසකට තියෙන්නේ -

- ඒවා යථා තත්ත්වයෙන් දුරස්ථ වන්නට, වෙනස් වන්නට, වරදවා තේරුම් ගන්නට, බොහෝ සෙයින් ඉඩ තියෙන බවයි.

- ඒ එසේ වුණාට, ඉන්ද්‍රිය පහ අතරින් ජීවිතයට ඉතාමත් වැදගත් වන්නේ මේ ඉන්ද්‍රිය මාධ්‍යයන් දෙක බව පැහැදිලි ය.

* අනෙක් ඉන්ද්‍රියයන් තුන හරහා ලැබෙන තොරතුරුවල ගැටලුවක් නැති නිසා, ඒවා පිළිබඳ විස්තර නොකෙරෙනවා විය හැකියි.

* බාහිර ලෝකය අප ගේ “ මානසික” ජීවිතයත් සමග “ මුත” හා “ විඤ්ඤාත “ වශයෙන් සම්බන්ධ වන විධි අතිශයින් වැදගත් ය.

මෙසේ බාහිර ලෝකය සතු දේවල්, නොහොත් “ රූප ස්කන්ධය” මගේ ඇස් කන් ආදී ඉන්ද්‍රිය පහට හසුවීම තුළින්,

“මුත” වශයෙන් ( මඤ්ඤති) කියා හිතට, මනසට දැනෙන්නේ කෙසේ ද,

විඤ්ඤාත වශයෙන් ඉන්ද්‍රිය හරහා එළිදරව් වන්නේ කෙසේ ද, ඒ තරමට ම ඒ දේවල් ඇත්තයි, සැබෑවයි, “ යථා භූත “ හෙවත් තිබුණු විධියට ම, හටගත් විධියට ම, මනස විසින් අත්දකිනු ලැබූ බවයි.

* ඒ ඇත්ත තුළ “ වේදනා” වශයෙන් ඒ ඉන්ද්‍රිය ස්පර්ශයට අදාළ වින්දනයකුත්,

ඒ අනුව සඤ්ඤා වශයෙන් මනසට ලැබෙන බාහිර වස්තුවේ බාහිර ලක්‍ෂණ පිළිබඳ දැනුවත් වීමකුත්,

- ඒවා මනස නමැති ඉන්ද්‍රිය තුළ එකිනෙකට සම්බන්ධවීමෙන්, සංසන්දනය වීමෙන්, සිදුවන්නා වූ සංස්කාරමය ක්‍රියාදාමය තුළින් බිහිවන සිතුවිලි, අදහස්, මත ආදිය මනසට අයිති “ ධම්මා” කියන සැබෑ දේපළ හැටියටත් සැලකිය හැකියි.

* ඒවා පඤ්චස්කන්ධය නම් වූ සැබෑ අත්විඳීමට අයිති බාහිර ලෝකයයිත

* අත් – දැකීම බුදු හිමියන් විසින් මේ ආකාරයට විග්‍රහකොට, පෙන්වාදීමේ වැදගත් ම අරමුණ : මේ සිද්ධීන් මෙහෙය වන, හසුරුවන, පාලනය කරන, පාලකයකු වත්, “අයිතිකරුවෙකු” වත් නැතුව ම හේතු - ප්‍රත්‍ය වශයෙන් සිද්ධ වන දේවල් පමණක් ම බව වටහා ගැනීමට උදව් කිරීමයි.

* “සංස්කාරස්කන්ධ” කියන ඒ මානසික නිෂ්පාදන ක්‍රියාදාමයට තියෙන අසීමිත නිදහස නිසා, බාහිර ලෝකයෙන් ලබා ගත් ඉන්ද්‍රිය දත්තයන් අනිසි ලෙස, භාවිතයට ගැනීමට කොතෙකුත් ඉඩ තිබෙන නිසා, සිදුවිය හැකි ව්‍යසනයටත් පුද්ගලයා ගොදුරු වෙයි.

- ඒ බව අවබෝධ කර ගෙන සිටීම අතිශය වැදගත් ය.


මේ ආකාරයට “ ලෝකයේ තියෙන දේවල් “මගේ” ජීවිතයට මුණගැසෙන විධිය” යටතේ අප විසින් තේරුම් කර දෙන්නට යෙදුණේ.

- විඤ්ඤාණ – පච්චයා - නාම – රූපං හෙවත් විඤ්ඤාණය කියන සංස්කාර - සිද්ධියක් සිද්ධ වීමේ හේතුවෙන්, “නාම” කියන මානසික ලෝකයත්, “රූප” කියන බාහිර භෞතික ලෝකයත් අතර සම්බන්ධයක් හටගෙන ඇත්තේ ය” යන පට්චිච සමුප්පන්න සිද්ධියයි. ලෝකය අත්දකිනු ලබන මූලික විධියයි.

* දැන් අප ලෝකයේ තියෙන දේවල් අප ගේ ජීවිතය තුළ “ පණගැන්වෙන්නේ” කෙසේ ද කියා තේරුම් කර දෙන්නට උත්සාහ කරන්නේ -

“ නාම – රූප පච්චයා සළායතනං” කියන පටිච්ච සමුප්පන්න සිද්ධිය ඉදිරියෙන් ඉදිරියට වැඩෙමින් – දියුණු වෙමින් දිවයන ආකාරයටයි.

- එනම් ඇස් - කන් – නාසය – දිව - ශරීරය හා මනස යන ඉන්ද්‍රියයන් හයත් -

- එකිනෙකට විශේෂ වූ රූප - සද්ද – ගන්ධ – රස - ඵොට්ඨබ්භ – හා ධම්මා යන අරමුණු හයක් වශයෙන් ය.

* නාම – රූප – විඤ්ඤාණ යටතේ ඇහැට පෙනුණු රූපය කුමක් ද? කනට ඇසුණු ශබ්දය කුමක් ද ? කියා නිශ්චය වශයෙන් ම අරමුණ හඳුනා ගැනෙන බව කියැවෙන අතර සළායතන යටතේ අරමුණු හැටියට හඳුන්වා දෙන්නේ පොදුවේ හැම රූපයක් ම, පොදුවේ හැම ශබ්දයක් ම, පිළිබඳවයි.

* චක්ඛු = ඇස හා රූපය අතර ඇති බැඳීම, නාම – රූප යටතේ, ඇසට එකඑල්ලේ හසු වන්නා වූ කායික ශරීරය වැනි භෞතික වස්තුවල හැඩය හා වර්ණය වැනි සංඥාවන් ය.

* සළායතන යටතේ, සළායතන හා ඵස්ස - වේදනා එකට ගත් කළ, එය “ රූප” හිතෙන් අත්විඳිනු ලබන අත්විඳීම් වන්නේ ය – අත්දැකීම් වන්නේ ය.

* රූපය රූපයක් හැටියට හඳුනා ගැනීමෙන් එහාට ගිය බොහෝ සෙයින් ගැඹුරට ගිය “ අත් විඳීමක් වන්නේ ය. – වරදට වැටෙන්නට බොහෝ සෙයින් ඉඩ – කඩ සපයන “ අත් විඳීමක්” වන්නේ ය.

* මෙහි දී බුදු හිමියන් විසින් කෙරෙන අනතුරු ඇඟවීම තේරුම් ගත යුතු දෙයක් ය.

තමන් හා ලෝකය දෙස බලන විධියේ වරදින් මිනිසා දුක් විඳින හැටි කෘතියෙනි.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.