Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

බලවත් සමාධි උපදවා ගැනීමට නම්..

භාවනාව සාර්ථක කරගෙන බලවත් වූ සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන ඉතා වැදගත් කාරණා කිහිපයක් අපි අද කතා කරන්නට කල්පනා කළෙමු. අංගුත්තර නිකායේ හතර වන නිපාතයේ තිබෙනව බල සූත්‍රය කියල සූත්‍ර දේශනාවක්.

ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපට පෙන්වා දෙනවා. ‘පින්වත් මහණෙනි, කරුණු හයකින් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි උපදවා ගැනීමට හැකි වන්නේ නෑ. බලවත් සමාධි ඇති කරගන්නට එයා සුදුස්සෙක් වෙන්නෙ නෑ කියල. මොනවද ඒ කාරණා හය? භික්‍ෂුවක් ඉන්නවා සමාධියට සමවදින්නට ඉඩක් නෑ. ඊළඟට, ඒ භික්‍ෂුව සමාධිය පවත්වන්ට කැප වෙන්නෙත් නෑ. ඊළඟට, සමාධියෙන් නැඟී සිටින්නට කැප වෙන්නෙත් නෑ. පිළිවෙළකට සමාධිය වඩන්නෙත් නෑ. සකසල වඩන්නෙත් නෑ. ඊළඟට, ඒ භික්‍ෂුව නිතර සමාධිය පුරුදු කරන්නෙත් නෑ. ඊළඟට සමාධියට, ඒ බණ භාවනාවට හානි පමුණුවන්නා වූ, අයෝග්‍ය කටයුතු කරනවා. මෙන්න මේ කරුණු හයෙන් යුක්ත කෙනාට බලවත් සමාධියක් ඇති කර ගැනීමට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ කියල පෙන්වා දෙනවා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. පින්වත් මහණෙනි, කාරණා හයකින් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි ඇති කර ගැනීමට පුළුවන්කමක් තිබෙනව කියල. මොනවද ඒ කාරණා හය? යම් භික්‍ෂුවක් ඉන්නවා, සමාධියට සම වැදීමේ කුසලතාව තියෙනවා. ඒ වගේ ම සමාධිය පවත්වන්නට කැප වෙනවා. ඒ වගේ ම සමාධියෙන් නැඟී සිටින්ටත් කැපවෙනවා. ඒ හැකියාව පුරුදු කරගෙන තියෙනව. ඊළඟට සමාධිය නැත්නම් බණ භාවනා පිළිවෙළකට කරනව.

සකසල වඩනව. ඊළඟට සමාධිය නිතර පුරුදු කරනව. සමාධියට නැත්නම් භාවනාවට හානි පමුණුවන්නා වූ කාරණා සිදු කරන්නෙත් නෑ. මෙන්න මේ කරුණු හයෙන් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි ඇති කරගන්ට පුළුවන් කියන කාරණාව සිද්ධ වෙන දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට අපි කැමැති වෙන්ට ඕනෑ ඒ බලවත් වූ සමාධිය ඇති කර ගැනීම පිණිස.

එහෙම නැත්නම් අපි උපදවා ගන්නා වූ සමාධිය බලවත් භාවයට පත්කර ගැනීමට අපි කැමැති වෙන්ට ඕනෑ. යම් කෙනෙකුට යම් සමාධියක් ඇති වෙන්ට පුළුවන්, ඒ සමාධිය බලවත් ස්වභාවයට පත්කර ගැනීම පිණිස කටයුතු කරන්ට ඕනෑ. ඒකට වුවමනා කරන ධර්මයන් අප පුරුදු කරගන්නට ඕනෑ.

එතකොට අපි සමාධිය බලවත් කර ගැනීම පිණිස, එහෙම නැත්නම් බලවත් සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන් හඳුනා ගෙන ඒ ධර්මයන් පුරුදු කරගන්ට කැප වුණොත් අපිට පුළුවන් කමක් තියෙනව බලවත් සමාධි ඇති කර ගැනීමට. ඒ නිසා අපි කැමැති වෙන්ට ඕනෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවේ ගැඹුරු ධර්මය පුරුදු කර ගැනීමට.

අපි මුලින් කිව්ව කාරණා තුනක් ගැන සමාධියට සමවැදීම, සමාධිය පැවැත්වීම, සමාධියෙන් නැඟී සිටීම කියන මේ කාරණා අපිට පුරුදු කරගන්ට වෙන්නේ, බලවත් සමාධි ඇති වීමෙන් පසුයි.

එහෙම නැත්තම්, පළමුවන ධ්‍යානය, දෙවනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, මේ ආදී ඉහළ සමාධි උපදවා ගත්ත කෙනෙකුට තමයි සම වැදීමේ කුසලතාව සමාධිය පැවැත්වීමේ කුසලතාව, නැඟී සිටීමේ කුසලතාව මේ ආදී කුසලතාවන් පුරුදු කරගන්ට අවශ්‍ය්‍ය වෙන්නේ. ඊට කළින් අපි බණ භාවනා කරද්දී, ඒ කියන්නෙ ධ්‍යාන සමාධිය ආදී බලවත් සමාධියක් ඇති වෙන්ට පෙර එයාට සම වැඳීමේ කුසලතාව සමාධිය පැවැත්වීමේ කුසලතාව, නැඟී සිටීමේ කුසලතාව කියන ඒ කුසලතා සියල්ල පුරුදු කරගන්ට හැකි වෙන්නෙ නෑ.

මතක තියා ගත යුතු කරුණක් තමයි භාවනාව පුරුදු වෙන්ට පටන් ගත්ත දවසේ ඉඳළම අපිට සමාධියක් තිබුණා හෝ නැති වුණා හෝ සමාධියෙන් නැඟී සිටීමේ හැකියාව අපි පුරුදු කරගත යුතුයි. ඒකට හේතුව තමයි අපි භාවනාවක් පුරුදු කරන්ට පටන් ගැනීමේ දී පටන් යම් විදියකින් සිත එකඟ වෙන්ට පටන් ගන්නවා.

සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වෙලා සිත පවත්වන්ට පුරුදු වෙනව. භාවනාවක් පුරුදු වෙන වේලාවකදී සිත සාමාන්‍ය ස්වභාවයේ නෙමෙයි තියෙන්නෙ. විශේෂ ස්වභාවයකට සිත පත්වෙනව. විශේෂ අරමුණක සිත පවත්වනව. අපි භාවනාවෙන් නැඟිටින්ට කලින් අප සිත පවත්වමින් හිටපු අරමුණෙන් ඉවත් කරගෙන සාමාන්‍ය ස්වභාවයට පත් කරගන්නට ඕනෑ. එහෙම නැති වුණොත් භාවනාව ඉහළට දියුණු කර ගැනීමේ දී යම් යම් ගැටලු ඇති වෙනව. යම් යම් ආබාධ ඇති වෙන්ට පුළුවන්.

ඒ නිසා අප ආරම්භයේ ඉඳලම සමාධියක් තිබුණා හෝ නොතිබුණා හෝ භාවනාවෙන් ඇස් ඇරල නැඟිටින්ට කලින් සිතේ පවත්වන අරමුණෙන් සිත බැහැර කරගන්ට ඕනෑ. ඒක කරන්නෙ කොහොමද? අපි භාවනාවෙන් අයින් වෙන්ට ඕන, කියල සිතන කොට භාවනා මනසිකාරය නතර කරනව. කලබල කරගන්නෙ නෑ.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.