Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රේරුකානේ මහ නා හිමියන්ගේ මහා ශාසන සේවයට වසර 106 යි

රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශීය ක්‍රියාශීලියකු ලෙස හා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි.

ඒ වන විට බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බුරුමයට ගොස් ත්‍රිපිටකය හදාරා උපසම්පදා වී ලක්දිව සැපත්ව සිටි උන්වහන්සේ තම භාෂා දැනුම ද ප්‍රගුණ කරගෙන හරි බුද්ධාගම්කාරයකු වන්නේ කෙසේද යන අදහස ජනතාව අතර ප්‍රචලිත කරන්නට ආරම්භ කළහ. අවබෝධය නැතිව කරන කුශලයට වඩා අවබෝධයෙන් ත්‍රිහේතුක කුශලයක් කිරීමෙන් ලබන ආනිසංසයේ ස්වභාවය තේරුම් කරන්නටත්, භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් සිතෙහි සැනසීම මෙන්ම සසර ගමනෙහි ආදීනව තේරුම් ගැනීමටත් ජනතාව යොමු කිරීම උන්වහන්සේගේ අදහස විය.

ඒ අරමුණ ඇතිව උන්වහන්සේ අතින් ලියවුණු බෞද්ධයාගේ අත්පොත, පුණ්‍යෙීපදේශය, සූවිසි මහ ගුණය, මංගල ධර්ම විස්තරය, පොහොය දිනය, බෝධි පූජාව, බුද්ධ නීති සංග්‍රහය, බෝධිපාක්‍ෂික ධර්ම විස්තරය, පාරමිතා ප්‍රකරණය, ධර්ම විනිශ්චය, නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය, අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම, කෙලෙස් එක්දහස් පන්සීය, පට්ඨාන මහා ප්‍රකරණ සන්නය, අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහය, චතුරාර්ය සත්‍යය, විදර්ශනා භාවනා ක්‍රමය, චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනා විවේචනය හා වෙනත් කෘති, පටිච්ච සමුප්පාද විවරණය, ශාසනාවතරණය, උපසම්පදා ශීලය, විනය කර්ම පොත, අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය ආදී පොත් තිහක් පමණ වෙයි.

එම ග්‍රන්ථ මීගමුවේ සෝරත හිමියන් හා හේන්ගොඩ කල්‍යාණධම්ම හිමිවරු මුද්‍රණය සඳහා සහාය ලබා දුන්හ. එහෙත් මූල්‍ය සම්පාදනයේ අපහසුතා නිසා මේ පොත්වල පැවැත්ම දුර්වල විය. වරකට පොත් 5 – 6 කට වඩා පොත් හලකින් ලබා ගන්නට නොහැකිව තිබිණ. මේ කාලය වන විට නාහිමියන්ගේ පොත් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස පැවිදි බව ලබා සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන්, දැක නොතිබුණු තම පූජනීය ගුරුවරයාට උවටැන් කිරීම පිණිස නාහිමියන් වෙත වැඩම කර සිටියහ. පොත්වල වටිනාකම ප්‍රායෝගිකව ම දැන සිටි උන්වහන්සේ මේ පොත් නොකඩවා පවත්වාගෙන යාමේ වැදගත්කම සළකා ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය පිහිටුවීම කෙරෙහි සංවිධායකයකු විය.

සමකාලීන විද්වතුන්ගේ මහත් ගෞරවාදරයට පත් වූ මේ පොත් පෙළ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියන් හැඳින්වූයේ ‘ත්‍රිපිටකය තේරුම් ගන්නට මේ පොත් ටිකම කියවීම ප්‍රමාණවත්” බව ය.මේ වකවානුව තුළ මුද්‍රණ තාක්‍ෂණයේ සිදු වූ වෙනස්කම් අනුව යමින් පැහැදිලි නිමාවෙන් යුත් පොත් පෙළක් පවත්වාගෙන යන්නට හැකි වූ නමුත් අන්තර්ජාල පහසුකම් නො සැලසුනොත් තරුණ පරපුරට මේවා ප්‍රයෝජනයට ගන්නට නො ලැබෙන බව පෙනී ගිය බැවින් ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව ද මතුව ඇත. එසේ නිවැරදි සරල පොත් මඟින් තරුණ පරපුර වෙත බුද්ධ ධර්මය ළඟා කරන්නට නුපුළුවන් වන්නේ නම් “බණ වැනි බණ, වැරදි බණ” වලට ඔවුන්ගේ මනස කොටු වීම ස්වභාවිකය.දැන් 2600 සම්බුද්ධත්ව ජයන්තියයි. එසේ ම 2012 ජනවාරි 08 වන දින රේරුකානේ නාහිමියන්ගේ 106 වන ජන්ම සංවත්සරයයි. බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ලක්දිවට පැමිණ ත්‍රිපිටකයේ ආරක්‍ෂාව උදෙසා කළ මෙහෙයට නොදෙවෙනි ශාසන මෙහෙයක් කළ රේරුකානේ නාහිමියන්ගේ වගතුග, පොත් පෙල, ධර්ම දේශනා ඹඹඹ. පඥපභඬචදඥථචඩචදචඩඪථඪ. තඬ වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා එම වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාව ජනවාරි 08 වන පුන් පෝදා පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමස්ථ ශ්‍රී චන්දවිමල සද්ධර්ම සාගර ශාලාවේ දී උදා කැරිණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.