Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙවියන්, රහතන් වහන්සේ සහ රජ මැති ඇමැතිවරුන් විසින් සාදවනු ලැබ අනේකවිධ පුද පූජාවන්ට පාත්‍ර වන මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ “මහියංගණ හාමුදුරුවෝ” යන ගෞරව නාමයෙන් පොදු ජනතාව හඳුන්වති. තම තමන්ගේ දෛනික ජීවිතයේ සහන් සුවය ලබමින් නිර්වාණාවබෝධයටද මංපෙත් විවර කර ගැනීමට ඔවුහු මහියංගණ සෑ රදුන් වන්දනා කරති

ලංකාය යත්ථ පඨමං සුගතො නිසජ්ජ
යක්ඛේ දමෙසි නිජ සාසන පාලනාය
ඨානෙ තහිං නිහිත කුන්තල ගීවධාතුං
වන්දාම් සාධු මහියංගණ ථූපරාජං

සකල සත වෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් නවවැනි මස එළැඹි දුරුතු පුර පසළොස්වක පෝ දින ලංකාදීපයෙහි මිනිපේ ජනපදයට අයත් බිම් තැන්නේ මහා නාගවන උයනට වැඩි සේක. මෙයින් තමන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් ලක්බිම අතිපාරිශුද්ධ භූමියක් බවට පත් කළ සේක.

මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලික පදනම සකස් වූයේ මහියංගණයට බුදුරදුන් වැඩම කිරීමෙන් බව සියලු ඓතිහාසික සාධකවලින් ප්‍රත්‍යක්‍ෂ වන්නේය. අබුද්ධෝත්පාද කාලයන්හි ලක්දිව යක්‍ෂ, නාගාදීන්ට වාසස්ථානවන බවද, පූජාවලී ආදි ඓතිහාසික ග්‍රන්ථවල විස්තර වේ. මෙම කප පළමුව බුදු වූ කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට වැඩ, ඒ ඒ කාලවල ඇතිවූ යක්‍ෂ භය, යුද බිය දුරුකොට පුණ්‍ය භුමියක් බවට මේ බිම පත් කළහ. මේ නිසා ලක්දිව බුද්ධ දේශයක්ම වන්නේය.

බෝධිතෝ නවමේ මාසේ
ඵුස්ස පුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීපමුපාගම්

අප බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යපාදී ජටිලයන් දමනය කොට උතුරුකුරු දිවයිනේ පිණ්ඩපාත චාරිකාවෙහි වැඩම කර අනෝතත්ත විල සමීපයේදී දන් වළදා සවස් භාගයේ ලොව බලා වදාරන සේක්. මතු ශාසනය තිරසරවන භූමිය නම් මෙම සිරිලක බව දැන, ලක්දිව මණිභේද නම් දනව්වෙහි මහාවාලුකා නදී සමීපයේ මහානාගවන නම් උයනේ අහසෙහි වැඩ සිටි සේක. එදවස එම නාගවනය පුරා අතුරු නොදී හුන් මහා යක්‍ෂ පිරිස තැති ගන්වා පෙනී අපටත් වැඩ හිඳීමට තරම් අවකාශයෙක් දෙවයි ඉල්වා ඒ යක්‍ෂයන් නොදුන් හෙයින් අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් ක්‍රමයෙන් එම යක්‍ෂයන්ගේ සිත් සතන් සන්සුන් කළ සේක.පහතට වැඩම කර තේජෝ කසිණ සමාපත්තියට සමවැද ප්‍රාතිහාර්ය පා යක්‍ෂයන් යක්ගිරි දිවයින වෙත පිටත් කළ සේක.

ඉක්බිත්තෙන් සමනොළ සමන් දෙවියන් ආදි ඒ ඒ පර්වත හා වක්‍ෂයන්ට අධිපති දිව්‍ය සේනාව බුදුරදුන් පිරිවරා ගත්හ. බුදුරජාණන් වහන්සේ බණ වදාරා දෙවියන් සසරින් මුදා වදාළ සේක. සෝවාන් ඵලයට පත් සමන් දෙව්රජ බුදුන් වැඳ අප ඇතුළු ජනතාවට වැඳ පුදා ගැනීමට පාරිභෝගික ධාතුවක් දෙවා වදාළ මැනවැයි අරාධනා කළේය. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් ශිරෝධාතුව පිරිමැද කේශධාතු මිටක් දී වදාළ සේක. ඉතා ශ්‍රද්ධාවෙන් සොම්නසින් ඉපිලගිය සමන්දෙව් රජ එම කේශධාතු රන් කරඬුවෙන් පිළිගෙන බුදුරදුන් වැඩ සිටි තැන සත්රියන් උස ඉඳුනිල්මිණි සෑයක් කරවා එම කේශධාතු නිදන් කොට අපමණ පූජා පැවැත්වීය.

මනුලොව මෙම බුද්ධෝත්පාද කාලයේ තනන ලද ප්‍රථම චෛත්‍ය මෙය නිසා ඓතිහාසික ග්‍රන්ථවල ප්‍රථමක චෛත්‍ය වශයෙන් හඳුන්වා ඇත. චෛත්‍ය නිර්මාණ ශිල්පයේ ආරම්භයද මෙය බව පැහැදිලි වන්නේය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට එයින් ඉතා විශාල ශක්තියක් ඇති විය.

මහියංගණය ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයට බලපාන ආකාරය විමර්ශනයේදී ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතු වන්නේය. එනම්

බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් වීම, සිංහල රාජ්‍ය තන්ත්‍රය තහවුරු වීමට බලපෑම, ලාංකික ආර්ථික මධ්‍යස්ථානයක් වීම සහ ඓතිහාසික ජනාවාස ව්‍යාප්තවීම යනාදියයි.

අප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන වසර දහස් ගණනකට ජනාවාසවීම බුදු ගුණ මහිමය ප්‍රකට කරන්නකි. එය මෙම සම්බුද්ධ ශාසනය පවත්නා තාක් බලපාන ආශ්චර්යමත් සනාතන දහමකි. මහියංගණ සිද්ධස්ථානය බුද්ධාගමේ ප්‍රධාන මූලස්ථානයක් වශයෙන් සිංහල ජාතියේ ආරම්භයේ සිට මේ දක්වා විරාජමාන වන්නේ බුද්ධ බලය, දේවබලය සංයුක්තව ජනීජනයාගේ ප්‍රාර්ථනාවේ ශක්තිය වසර දෙදහස් හයසීයකට ආසන්න කාලපරාසයක් තුළ නොසිඳී ජනජීවිතයත් සමඟ පවත්නා බැවිනි.

අප බුදුන් පිරිනිවි කල සරභූ මහ රහතන් වහන්සේ ආදාහන චිතකයෙන් ගී‍්‍රවාධාතු රැගෙනවිත් මෙම මහියංගණ භූ®මියේ නිදන් කොට, සමන් දෙවියන් පිහිටවූ චෛත්‍ය මතුයෙන් මේඝවර්ණ පාෂාණමය දොළොස් රියන් චෛත්‍යයක් කරවා පූජා පැවැත්වූහ. දෙවනපෑතිස් රජුගේ සහෝදර උද්ධචූලාභය රජතුමා තිස්රියන් උසට චෛත්‍ය කරවා මහත් පුද පූජා සිදු කළේය.

ලක්දිව දෙමළ සේනා කඳවුරු බැඳගෙන බෞද්ධ ශිෂ්ටාචාරය සුන් කරන්නට ප්‍රයත්න දරන්නට වූයෙන් දුටුගැමුණු රජතුමා රාජ්‍ය බලය ගෙන රුහුණෙන් ආරම්භ කළ සටන ක්‍රමයෙන් මහියංගණ ප්‍රදේශය හරහා ගෙන යන විට එකල මෙම ප්‍රදේශයේ පාලන බලය ගෙන ගිය දමිළ නායකයන් මර්දනය කරන්නට විශාල ප්‍රයත්නයක් දරන්නට විය. දමිළ බලය සුන් කළ රජතුමා මහියංගණ ප්‍රදේශය සංවර්ධනය කරන්නට ප්‍රථමයෙන් මහියංගණ චෛත්‍ය අසූ රියන් උස් කොට බඳවා මහත් පූජා සිදු කළේය.

ආගමික වශයෙන් මෙන්ම ජාතික වශයෙන්ද මිනිපේ ජනපදය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන්නේය. දෙවන පෑතිස් රජදවස පටන් කෘෂිකර්මාන්තයේ දියුණුවද මහියංගණ සිද්ධස්ථානය කේන්ද්‍ර කරගෙන හටගත් ආගමික, සංස්කෘතික දියුණුව ඔස්සේ පියවරෙන් පියවර ඇති වූ අයුරු මනාව පැහැදිලි වන්නේය. ආදි සිංහලයන්ගේ වාරිකර්මාන්තයේ අතිදක්‍ෂ බුද්ධියත්, ගෘහ නිර්මාණශිල්පීය ඤාණයත්, විචිත්‍ර කලා කුසලතාවත් මහියංගණ ප්‍රදේශය පුරාවිහිදී ඇති සිද්ධස්ථාන සහ වැව් අමුණුවලින් දැකගන්නට පුළුවන.

මහියංගණ සිද්ධස්ථානය ලෝකයේ අසහාය පින්කෙතක් වශයෙන් ජනතා සන්තානයේ ශ්‍රද්ධාව, ප්‍රසන්නතාව, වීර්යය සහ සමාධිය ජනිත කරවීමට හේතුවන කාරණා රාශියක් ඉහතින් දැක්විණි. ඒවා කැටිකොට යළි දක්වන්නේනම් මෙසේය.

1. අප බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් මෙම ස්ථානයට වැඩම කර පුණ්‍යභූමියක් කිරීම
2. දෙවියන් විසින් තනන ලද චෛත්‍යයක් වීම
3. රහතුන් විසින් ගොඩනඟන ලද චෛත්‍යයක් වීම
4. කේශධාතු, ගී‍්‍රවා ධාතු ඇතුළු සර්වඥධාතු නිදන් කර තිබීම
5. රජවරුන් කිහිප දෙනෙකු තම දේශපාලන ජයග්‍රහණ මෙම ප්‍රදේශයේදී ලබා ගැනීම

දෙවියන්, රහතන් වහන්සේ සහ රජ මැති ඇමැතිවරුන් විසින් සාදවනු ලැබ අනේකවිධ පුද පූජාවන්ට පාත්‍ර වන මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ “මහියංගණ හාමුදුරුවෝ” යන ගෞරව නාමයෙන් පොදු ජනතාව හඳුන්වති. තම තමන්ගේ දෛනික ජීවිතයේ සහන් සුවය ලබමින් නිර්වාණාවබෝධයටද මංපෙත් විවර කර ගැනීමට ඔවුහු මහියංගණ සෑ රදුන් වන්දනා කරති. ලංකාව පරාධීන යුගයේ මෙම සිද්ධස්ථානය ගරා වැටුණද අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ මහියංගණ චෛත්‍යාවර්ධන සමිතිය විසින් පිළිසකර කරන ලදී.

මහියංගණ සිද්ධස්ථානය අස්ගිරි මහාසංඝ සභාවෙන් පාලනය වෙයි. අතීතයේ වැඩ සිටි ඉදවලුගොඩ ධම්මපාල මාහිමි, ගුන්නෑපාන සරණංකර මාහිමි, මුල්ලේගම ගුණරතන මාහිමි සහ යටවත්තේ ධම්මරතන මාහිමි යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරාවැටුණූ චෛත්‍ය ප්‍රදේශ පවිත්‍ර කිරීම, වෙහෙර විහාර ප්‍රාකාර වාහල්කඩ ඉඳිකිරීම, අභිනව ධර්මශාලා තැනවීම මෙන්ම පුද පෙරහර පැවැත්වීමද උපදේශ අනුශාසනා දීමාදි කුදුමහත් කටයුතු වලදීද පුරෝගාමීව ක්‍රියා කළහ. මුල්ලේගම ගුණරතන මාහිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් චෛත්‍යයේ පිළිසකර කිරීම් ආරම්භ කළ අතර යටවත්තේ ධම්මරතන මාහිමියන්ගේ පාලන කාලය තුළ වැඩ නිමවා වර්ෂ 1961 දී කොත්කැරැල්ල මුදුනේ චූඩා මාණික්‍ය පැළඳවීමේ මහෝත්සවය සිදු කරන ලදී.

වර්තමාන මහියංගණ සිද්ධස්ථානය උපරිම සංවර්ධනයෙන් විරාජමානවීම සමස්ත ලංකා වාසී ජනතාවගේ ප්‍රසාදයට හේතුවන්නේය.මෙම මහා පුණ්‍යභූමිය ආරක්‍ෂා කිරීම, සංවර්ධනය සහ පුද පෙරහර පැවැත්වීම ආදී කුදුමහත් කටයුතු සිදු කරන්නේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ගලගම අත්ථදස්ස්‍යාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ ගරු භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙනි.

බෞද්ධ අබෞද්ධ ලෝක ප්‍රජාවගේ වන්දනාවට සහ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වන, බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් වන්නා වූ, සගමොක් සුව ලබාදෙන පින්බිමක් වන මහියංගණ සිද්ධස්ථානය සම්බුදු සසුන පවත්නාතාක් පැවැතෙමින් අප සැමට දෙව්, මිනිස්, නිවන් සම්පත් සාධනය කෙරේවා !


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.