Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කාබුල් කෞතුකාගාරය ලොවෙහිම පිහිටි අති විශිෂ්ට ගණයේ කෞතුකාගාරයක් විය. එහි වැඩිපුරම ආරක්‍ෂා කොට තිබුණේ බෞද්ධ කලා කෘතීන් ය. ඊට අමතරව හින්දු කලා කෘති හා ඉස්ලාම් කලා නිර්මාණ ද විය. ලෝකයේ ඉතාම වටිනා මිල කළ නොහැකි බෞද්ධ මූර්ති රාශියක් මෙහි සුරක්‍ෂිතව තිබිණ

ඇෆ්ඝනිස්ථානය යනු පැරණි අවකන් දේශයයි. පුරාතන ඇප්ඝනිස්ථානය බෞද්ධ රාජ්‍යයකි. ඓතිහාසික විපර්යාසයන් හා ආක්‍රමණ නිසා එහි තිබූ අද්විතීය බෞද්ධ ශිෂ්ටාචාරය නිමාවට පත්විණ. ඇප්ඝනිස්ථානයේ ජාතික කෞතුකාගාරය කාබුල් කෞතුකාගාරයයි. එය හරියටම කාබුල් නුවර සිට කි.මී. 9 ක් පමණ නිරිත දිග දෙසට වන්නට පිහිටා ඇත. එය 1922 වර්ෂයේ දී ඉදිකළ අතර එවකට ඇප්ඝන් පාලකයා වූයේ අමනුල්ලා ඛාන් ය.

මධ්‍යාසියානු කලා කෘති

කාබුල් කෞතුකාගාරය ලොවෙහිම පිහිටි අති විශිෂ්ට ගණයේ කෞතුකාගාරයක් විය. එහි වැඩිපුරම ආරක්‍ෂා කොට තිබුණේ බෞද්ධ කලා කෘතීන් ය. ඊට අමතරව හින්දු කලා කෘති හා ඉස්ලාම් කලා නිර්මාණ ද විය. ලෝකයේ ඉතාම වටිනා මිල කළ නොහැකි බෞද්ධ මූර්ති රාශියක් මෙහි සුරක්‍ෂිතව තිබිණ. මධ්‍යාසියානු (චීන තුර්කිස්ථානීය) කලා කෘති ලක්‍ෂයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබීමෙන් ම පෙනෙන්නේ කාබුල් කෞතුකාගාරයේ වටිනාකමයි. ජනාධිපති නජිබුල්ලාගේ රජය බිඳ වැටීමෙන් පසු ඓතිහාසික කාබුල් කෞතුකාගාරය වරින්වර කොල්ලකෑමට ලක්විණ. 1990 වන විට මෙම කොල්ලකෑම් හා සොරාගැනීම් ආරම්භ වී ඇත. 1994 මාර්තු මාසයේ දී කාබුල් කෞතුකාගාරය හමුදා කඳවුරක් බවට පත්වීමත් සමඟ එය යුද්ධයෙන් සිදුවන රොකට් ප්‍රහාරවලට පවා ලක්විණ.

කණිෂ්ක ප්‍රතිමාව

කාබුල් කෞතුකාගාරයේ පිවිසුම් දොරටුව අසල ප්‍රවේශ ශාලාව  (Lobby) අභ්‍යන්තරයේ මහාධිරාජ කණිෂ්ක මහරජතුමාගේ ප්‍රතිමාවක් තැන්පත් කර තිබුණි. ඒ අසල ගී‍්‍රක් භාෂාවෙන් ලියන ලද සෙල්ලිපියක් ද විය. ප්‍රතිමාවේ හිස හා අත්පා කලකට පෙර විනාශ වී තිබුණ ද හිසෙන් පහළ ශරීරය ද වස්ත්‍රය ද රාජකීය විභූතිය අඟවන පාවහන් සඟල ද සියවස් ගණනාවක් ආරක්‍ෂා වී තිබුණි.

බුද්ධ ප්‍රතිමා

ඇත්දත්වලින් නිමැවුණ අති විශිෂ්ට කැටයම් පුවරු, හිඳි බුදු පිළිම, හිටි බුදු පිළිම, සැතපෙන ඉරියව්වෙන් පිහිටි බුදු පිළිම, වෙනත් ශ්‍රේෂ්ඨ මහායාන මූර්ති, ගී‍්‍රක් කාසි ආදී ලොව ඉතාම අගනා වස්තූන් සියල්ල විනාශ වී ගියේ ය. ඇප්ඝනිස්ථානයේ මූලධර්මවාදී ආක්‍රමණිකයෝ වටිනා පුරාවස්තූන් විනාශ කළා මෙන් ම එමඟින් ඇප්ඝන් රටේ අභිමානවත් ඉතිහාසයද වනසා දැමූහ.

බාමීයාන් බුදුපිළිම

ලොව පුරා ඉතිහාසඥයෝ ද පුරාවිද්‍යාඥයෝ ද සිහිබුද්ධිය ඇති සියලුම දෙනා ද මෙම කාබුල් කෞතුකාගාර විනාශයෙන් විශ්මයටත් ඉමහත් කම්පාවටත් පත්වූහ. බාමීයාන් නිම්නයේ පිහිටි ඓතිහාසික හිටි පිළිම යුගලය සිත් පිත් නැති මිලෙච්ඡ මූලධර්මවාදීන් විනාශ කළ පසු කාබුල් කෞතුකාගාරයට ද කඩා වැදුණු මිලේච්ඡයෝ එහි තිබූ පිළිම දින කීපයක් පුරාම විනාශ කිරීමෙහි නිරත වූහ. එහෙත් සැනසුමකට කරුණක් වී ඇත්තේ එම විනාශයට පෙර ඇතැම්හු වරින්වර එහි අගනා මූර්ති සොරකම් කොට විකුණා දැමීම නිසා ඒවා ලොව කොතැනක හෝ සුරක්‍ෂිතව තිබීමයි.

සේද මාවත

කාබුල් කෞතුකාගාරයේ තිබූ බෞද්ධ හා හින්දු මූර්ති හා වෙනත් කලාවස්තූන්ගේ එකතුව අති විශිෂ්ට ය. එබඳු අතිදුර්ලභ ගණයේ බෞද්ධ මූර්ති එකතුවක් ලෝකයේ වෙනත් කිසිදු රටක තිබුණේ යැයි සිතිය නොහැක. ලක්‍ෂයට අධික වූ එම කලා වස්තු එකතුවෙන් ප්‍රකට වූයේ ඇප්ඝන් දේශයේ අතිවිශිෂ්ට වූ සංස්කෘතික හා ආගමික ඉතිහාසයයි. ඇප්ඝනිස්ථානයේ කාබුල් නගරය චීනය හා රෝමය අතර වැටී ඇති සේද මාවතේ (Silk Route) පිහිටා ඇති පැරණි බෞද්ධ සංස්කෘතික නගරයකි.

සෝවියට් හමුදාව

1979 දී සෝවියට් හමුදාව කාබුල් නගරය ආක්‍රමණය කළ ද කිසිවිටෙක මෙම ඓතිහාසික වස්තූන් කිසිවක් සොරකම් කොට ගෙන ගියේ නැත. එසේම ඒවා විනාශ කෙළේ ද නැත. 1992 දී සෝවියට් හමුදාව කාබුල් අත්හැර ගිය පසු වරින් වර ඇතැම් අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් කෞතුකාගාරයේ විවිධ වෙනස්කම් සිදුකරන ලදී. ඒ සෑම අවස්ථාවකදී ම එහි තිබූ වටිනා ප්‍රතිමා මූර්ති සොරකම් කර ඇත. 1994 දී කෞතුකාගාර කාර්ය මණ්ඩලය එහි ගිය විට දුටුවේ බොහෝ මූර්ති විනාශ කර ඇති බව හා බොහෝ ප්‍රතිමා සොරකම් කර ඇති ආකාරයයි.

පෙෂවෝර්

1994 ට පෙර කාබුල් ප්‍රදේශයේ සටන් පැවැති අවස්ථාවලදී කෞතුකාගාරයෙන් පුරාවස්තු විශාල සංඛ්‍යාවක් සොරකම් කරගෙන ගොස් ඇත. ආරංචි මාත්‍රවලට අනුව එක් රාත්‍රියක පෙළ ගැසුණු බොහෝ වාහන සංඛ්‍යාවකට කෞතුකාගාරයේ තිබූ මූර්ති හා වෙනත් කැටයම් පුවරු පටවා ඒ මත මෙට්ට දමා ආවරණය කරගෙන ගොස් ඇත. එම වාහන පේළිය කෛබර් දුර්ගය (Khyber Pass)  හරහා ධාවනය කොට පෙෂාවෝර් නගරයට (Peshawar) ගෙන ගොස් ඇත. ඇප්ඝනිස්ථානය තුළ පසුගිය දශක කිහිපය තුළ නීති විරෝධී ලෙස පැරණි පුරාවස්තු විකිණීමේ මධ්‍යස්ථානයක් ලෙස පෙෂාවෝර් නගරය භාවිතා කළ බව ලූක් හාඩින් (Luke Harding)  සඳහන් කරයි.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.