Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටුවාවේ ඉතිහාසයි ධම්මපදට්ඨ කථාවයි

පාලි අටුවා ග්‍රන්ථ අතර ඉතාම වැදගත් කෘතියක් බවට පත්වන්නේ ‘ධම්මපදට්ඨ’ කථාවයි. ඛුද්දක නිකායෙහි ධම්මපද කොටසට සැකසුණු මෙම කෘතිය ඉතා සාරවත් ධර්ම සංග්‍රහයක් මෙන්ම කථා සංග්‍රහයක් බවට ද පත්විය

ශ්‍රී ලාංකේය ඉතිහාසයෙහි ශ්‍රේෂ්ඨතම සන්ධිස්ථානය ක්‍රි. පූ. තුන්වන සියවසෙහි සම්බුදු දහමේ ආගමනය බව ඓතිහාසික පිළිගැනීම වෙයි. පුරාවෘත්ත සාක්‍ෂි මෙන්ම රජගලතැන්නෙන් හමු වූ ශිලා ලේඛනයෙන් එය පුරාවිද්‍යාත්මක ලෙස සනාථ වී ඇත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර තුන්සියයකට පසු අශෝක අධිරාජයාගේ දායකත්වයෙන් සිදුවූ තෙවන ධර්ම සංගීතියෙහි උසස්ම ප්‍රතිඵලයක් ලෙස සම්බුදු දහම ශ්‍රී ලංකාගත කෙරිණි. එය ඉතා මැනවින් ඉටු කරනු ලැබුවේ මහා මහින්ද මහ රහතන් වහන්සේ විසින් ය. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මිහිඳු හිමියෝ ථේරවාද ත්‍රිපිටකය රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළහ.

ශ්‍රී ලංකාවේදී පැවිදි බව ලද අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු සිංහල භික්‍ෂු වංශය මෙම ථෙරවාද ධර්මය මනාව හදාරා ප්‍රගුණ කළහ. මගධ බසින් පැවැති ධර්මයේ ගැඹුරු ස්ථාන පහදන්නට ඔවුහු හෙළ බසින් අරුත් විවරණය කළහ. ඇතැම් විට සමස්ත ධර්මයම පහදන්නට ඔවුහු දේශිය කථා සම්ප්‍රදායයන් භාවිතයට ගනිමින් අරුත් පැහැදූහ. ජන සමාජයේ පැවැති පුරාණෝත්ති උපහැරණ ආදිය ද එක් කොට ධර්ම කරුණු විවරණය කෙරිණ. මේ නිසාම හෙළ බස මැනවින් පෝෂණය විය. බසට නව වදන් සමූහයක් ද අක්‍ෂර මාලාව ද එක්වී සංවර්ධිත විය. ක්‍රි. පූ. පළවන සියවස පමණ වන විට මුළුමනින්ම ලේඛනාරූඪ බසක් බවට හෙළ බස පත් විය. එසේ වූයේ ත්‍රිපිටක ධර්මයට අර්ථ විවරණ සපයන්නට සිංහල භික්‍ෂූන් වහන්සේ සතුව තිබූ දැනුමයි. එබැවින් භික්ෂූන් වහන්සේලා කළ විශිෂ්ට කාර්යය වන්නේ ත්‍රිපිටක ධර්මය හෙළ බසින් විවරණය කෙරෙන අටුවා සාහිත්‍යයක් සම්පාදනය කිරීමයි. එම අටුවා හැඳින්වෙන්නේ “ හෙළටුවා” යනුවෙනි. හෙළටුවා යනු මුල්ම සිංහල ව්‍යාඛ්‍යාත සාහිත්‍යයයි.

මහා අට්ඨකථාව, කුරුන්දි අට්ඨකතාව සහ පච්චරිය අට්ඨකථා යනුවෙන් ප්‍රධාන හෙළටුවා වර්ග තුනක් ලෙස සඳහන් වුවද ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් නම් “ පුරාණ ලංකාවේ බෞද්ධ ඉතිහාසය” නමැති කෘතියෙහි හෙළටුවා ග්‍රන්ථ විසි හතරක් කොට දක්වා තිබෙයි. මෙම අභියෝගය පිළිගත් භික්ෂූන් වහන්සේ “ විශුද්ධි මාර්ගය” නැමැති ශ්‍රේෂ්ඨ ථෙරවාදී සංග්‍රහයක් ලියා මහාවිහාරික භික්‍ෂූන්ගේ සමීක්‍ෂණයෙන් සමත් වූ සේක. එවිට හෙළටුවා පරීක්‍ෂා කරන්නට භික්ෂූන් වහන්සේට අවසර ලැබිණි. ඒවා කියවා එහි අන්තර්ගත වූ විවරණ වෙනස් නොකොට පාලි භාෂාව සකස් කිරීමට ද අවසර ලැබුණි. ඒ සඳහා මහාවිහාරික භික්‍ෂූන්ගේ කොන්දේසිය වූයේ “ මහාවිහාර මාර්ගයට විරුද්ධ මත ඒවායෙහි ඇතුළත් නොවන සේ පාලියට සැකසිය යුතු බවයි. තම අනන්‍යතාව රැක ගන්නට මහා විහාර භික්‍ෂූන් දැරූ වෑයම මෙයින් පෙනේ. මේ නිසාම බුද්ධඝෝෂ හිමියන් තම කාර්යය අරඹන්නේ මෙම අර්ථකථාවන්හි යම් විනිශ්චයක් වේද එහි යුක්තාර්ථ සහ ස්ථවිර වාදය ද අත් නොහරිමින් භාෂාව පමණක් අත්හැර සියලු විනිශ්චයන් ඇතුළත් කොට සංවර්ණනා කරන බව ප්‍රකාශයට පත් කරමිනි.

මේ අනුව බුද්ධඝෝෂ හිමියන් භාරතයෙන් ගෙන්වා ගත් බුද්ධදත්ත, ධම්මපාල, මහානාම සහ උපසේන යන අටුවාචාරීන් වහන්සේලාගෙන් ද සහාය ලබමින් හෙළටුවා ග්‍රන්ථ පාලියට සකස් කිරීමේ කාර්ය ඇරැඹුණි. මේ අනුව මහාවිහාරික සත්‍යයක් නම් හෙළටුවා කෙතරම් සාරවත් සාහිත්‍ය සම්ප්‍රදායයක් වන්නට ඇත්දැයි සිතා ගත හැකිය. හෙළටුවා කෙතරම් විශිෂ්ට ව්‍යඛ්‍යාත ග්‍රන්ථාවලියක් වූවාද යන්න පෙන්වන හොඳම නිදසුන වන්නේ එහි කීර්තිය දඹදිව දක්වා පැතිරී පැවතීමයි. පස්වන සියවසේ දී භාරතයේ සිට බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩම කරන්නේ හෙළටුවා පිළිබඳ ආරංචි ලැබීමෙනි. බුද්ධඝෝෂ යනු එවකට දඹදිව විසූ ව්‍යාකරණ, දර්ශනය, වේදය, ඉතිහාසය හා පුරාවිද්‍යා ආදියෙහි පාරප්‍රාප්ත පඬිවර හිමි නමකි. එවැනි කෙනෙකුගේ අවධානය දිනන්නට තරම් හෙළටුවා කීර්තිය පැතිරී පැවතුණි.

පස්වන සියවසෙහි මහානාම රජ දවස බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩම කරන්නේ මෙම හෙළටුවා කියවීමෙහි අවශ්‍යතාව නිසාවෙනි. භික්ෂුන් වහන්සේ අනුරපුර මහා විහාරයට තම අවශ්‍යතාව ඉදිරිපත් කළ විට මහාවිහාරික භික්‍ෂූහු බුද්ධඝෝෂ හිමියන්ගේ දැනුම පරීක්‍ෂා කරන්නට “අන්තො ජටා බහි ජටා” යන ගාථා පාඨයට අරුත් වියරණ සපයන්නැයි ඉල්ලා සිටියහ. භික්‍ෂූහු විසින් සැකසූ හෙළටුවා ග්‍රන්ථ සියල්ලම පාලි අටුවා බවට පත් කරන ලදහ. ජාත්‍යන්තර බසක් වූ පාලි බසින් සැකසූ මෙම අටුවා එවකට අවට තිබූ බොහෝ රටවල් වෙත හඳුන්වා දීමේ ක්‍රියාවලිය ද සිදු විය.

බුද්ධඝෝෂ හිමියන් වෙතින් සිදුවු විශිෂ්ට මෙහෙවර එයයි. එහෙත් එය ශ්‍රී ලාංකේය සාහිත්‍යය සම්බන්ධයෙන් ඉතා අවාසනාවක් රැගෙන එන්නක් ද විය. එනම් වර්ධනය වෙමින් ආ ආදීන සිංහල සාහිත්‍ය සම්ප්‍රදායක් එතැනින් පසු අභාවයට පැමිණීමයි. පාලිය වැදගත් වී පාලි බස සාහිත්‍යයේ මාධ්‍යය බවට පත් වී ඇත.

මෙසේ සැකැසුණු පාලි අටුවා ග්‍රන්ථ අතර ඉතාම වැදගත් කෘතියක් බවට පත්වන්නේ ‘ධම්මපදට්ඨ’ කථාවයි. ඛුද්දක නිකායෙහි ධම්මපද කොටසට සැකසුණු මෙම කෘතිය ඉතා සාරවත් ධර්ම සංග්‍රහයක් මෙන්ම කථා සංග්‍රහයක් බවට ද පත්විය. විශේෂයෙන් ‘ ධම්මපදය’ සෑම කල්හිම බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය හස්තසාර ග්‍රන්ථය බවට පත්ව තිබුණි. ‘ හින්දුන්ගේ භගවත් ගීතාව‘ මෙන්’ බෞද්ධයන්ගේ අත් පොත’ වූයේ ධම්මපදයයි. ඒ සඳහා ලියැවුණු ධම්ම පදට්ඨ කථාව ද ඒ තරමට ම ජනප්‍රිය විය. මෙහි කතුවරයා බුද්ධඝෝෂ හිමියන් ය. මුලදී හෙළබසින් පැවැති මෙම කෘතිය අටුවාකරණයේ දී කුමාර කස්සප නම් තෙරුන්ගේ ආරාධනයෙන් පාලියට නැගූ බව ග්‍රන්ථාරම්භයේ දැක්වෙයි. එසේම අනුවාදයේ දී හෙළටුවාවල පැවැති විස්තර හැකි තරම් සංක්‍ෂිප්ත කර ඇත. එයින් පෙනෙන්නේ පාලි අටුවා කෘතියට වඩා හෙළටුවාව ඉතා සම්පූර්ණ විවරණ ග්‍රන්ථයක් වන්නට ඇති බවයි.

ධම්මපදයේ ‘ වග්ග‘ විසි හයක් ඇතුළත් ගාථා 423ක් වන අතර ඒ ගාථාවලට පසුබිම් වූ කථා පුවත් 299ක් මෙහි ඇතුළත්ව තිබෙයි.

ධම්මපදට්ඨකථාව පැරැණි භික්‍ෂු අධ්‍යාපනයේදී අනිවාර්ය පාඨ ග්‍රන්ථයක් බවට පත්ව තිබුණි.

එහි ඇතුළත් ධර්ම කාරණා රසවත් කථා පුවතකින් සහ භාෂාත්මක සරලත්වය ආදිය උසස් විෂය ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපනයේ දී වැදගත් විය. පරිවාර ග්‍රන්ථයක් ලෙස දහවන සියවසේදී පස්වන කාශ්‍යප නරේන්ද්‍රයන් විසින් සකසන ලද ධම්පියා අටුවා ගැටපදය ද දඹදෙණි යුගයේදී ධර්මසේන නම් යතිවරයෙකු අතින් සැකසුණු සද්ධර්මරත්නාවලිය ද ධම්මපදට්ඨකථාව මූලාශ්‍ර කර ගෙන ඇත.

සම්භාව්‍ය ග්‍රන්ථ සිංහල සාහිත්‍යයේ විශිෂ්ට කෘති බවට පත් වීමෙන් ධම්මපදය කෙතරම් ජනාදරයට පත් කෘතියක් වුණාද යන්න පෙනී යයි. වර්තමානයේ පවා උසස් විභාග රාශියක් සඳහා මෙම කථා පුවත් නිර්දේශ කර ඇත.

චක්ඛුපාල තෙරුන් වහන්සේ මට්ටකුණ්ඩලී, චුල්ලතිස්ස, කුම්භඝෝෂක, පූතිගත්තතිස්ස සොරෙය්‍ය මච්ඡරිය කෝසිය, ඡත්තපානි, කුණ්ඩලකේශී, පටාචාරා, කිසාගෝතමී, බෝධිරාජ, චිඤ්චිමානවිකා ලකුණ්ටක භද්දිය, චූල සුභද්‍රා, සුන්දරී, ඛේමා වක්කලී, උප්පලවණ්නා, සුන්දර සමුද්ද, ධම්මදින්නා ආදී චරිත කථා බෞද්ධ සමාජයේ ඉතා ජනප්‍රිය කථා වී ඇත්තේ ධම්මපදට්ඨකථාවෙහි ඒවා විස්තරාත්මකව ඇතුළත්වීම නිසාවෙනි.

මෙම කථා පුවත් එකිනෙක ඉදිරි “බුදුසරණ” පුවත්පත් ඔස්සේ විවරණය කරන්නට බලාපොරොත්තු වෙමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.