Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අතීතයේ සිට පැවැතෙන අවමංගල සිරිත් විරිත්

ආගමික වශයෙන් සිදුකෙරෙන අවසන් චාරිත්‍රයන් ද මළගිය ඇත්තන්ට මෙන් ම  ජීවත්වන අයට වැඩදායී වන අයුරින් සකස් වී ඇත. අනිත්‍ය ප්‍රතිසංයුත්ත ගාථා සජ්ඣායනය, මතකවස්ත්‍ර පූජාව, පැන් වඩා පින් අනුමෝදන් කිරීම ආදිය මළ නොමළ දෙපසටම ප්‍රයෝජනවත් ය.

ලොව ඇති භයානක ම වචනය, අපි‍්‍රය ම වචනය කුමක්දැයි කෙනකුගෙන් විමසුවහොත් ‘මරණය’ යන වදන බව පවසනු නිසැක ය. මවුපියෝ දරුවන් මැරෙනවා යන වචනය භාවිත කළහොත් ‘අවකැපෙන වචන කියන්න එපා’ යැයි අවවාද කරති. කවුරුත් මරණයට බිය වෙති. මරණයට බිය නැත්තෝ රහත්හු ය. මරණයෙන් ජීවිතයක් අවසාන වෙයි. මැරුණා යින් පසුව මෙලොව ඇති අයිතිවාසිකම් සියල්ලක් ම අහිමි වෙයි. නෑදෑකම් නැතිවෙයි. මළ කෙනකු හැකි ක්‍රමයකින් නැවත පැමිණියහොත් දුම්මල ගසා පන්නා දමති.

‘මරණම්පි දුක්ඛං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ මංගල ධර්මදේශනාවේදීම පෙන්වා වදාළ සේක. ප්‍රාණය නිරුද්ධවන විට කායික වශයෙන් ඇතිවන වේදනාව මෙන්ම, සියල්ල ම සියලු දෙයක් ම අතහැර යන්න සිදුවෙනවා නේද යැයි කල්පනා වන විට ඇතිවන මානසික වේදනාවත් නිසා මරණය දුකකි.

ආදිකාලීන මනුෂ්‍යයාට මරණය ගැන හරි අවබෝධයක් නො තිබුණි. එනිසා ඔවුහු මරණයක් සිදු වූ විට නොයෙක් චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්නට පුරුදු වූහ. එම චාරිත්‍ර හා වාරිත්‍ර දේශ දේශාන්තර වශයෙන්, ප්‍රදේශ ප්‍රදේශාන්තර වශයෙන් සමාජ සමාජාන්තර වශයෙන් විවිධත්වයක් උසුලයි. මෙම ලිපියෙන් විශේෂයෙන් අවධානය යොමු කෙරෙනුයේ අපේ සිංහල අවමංගල චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි ය. අපේ නිවෙසක මරණයක් සිදු වූ වහා ම නිවෙසේ එල්ලා ඇති බුද්ධරූප හැර අනෙක් ඡායාරූප නොපිට හරවති.

මෙය ශෝකය පිළිබිඹු කිරීමට යොදාගන්නා චාරිත්‍රයකි. එමෙන් ම ගිහියන්ට දෙන බුලත් හෙප්පුවේ බුලත්කොළ පවා නො පිට හරවා තබනු ලැබේ. මරණයක් සිදු වූ විට නිවෙස ඉදිරිපිට සුදුරෙදි කඩක් එල්ලීම ද අනිවාර්ය සිරිතක් ව පවතී. මෙය මළගෙදරක සංකේතයක් බවට පත් වී ඇත.

මෘතශරීරය පිළිබඳ ද විවිධ චාරිත්‍ර වාරිත්‍ර පවත්වනු ලැබේ. මෘතශරීරයක් නිවෙසේ තැන්පත් කරනුයේ බස්නාහිරට හිස පැත්ත සිටින්නට ය. හිරු බැස යෑම සිදුවන්නේ බටහිර දෙසිනි. බස්නාහිර, බටහිර යැයි එම දිසාවට නම සෑදී ඇත්තේ ද එදෙසින් හිරු බැස යන නිසා ය. මේ නිසා ජීවතුන් අතර සිටින අය බටහිරට හිසලා නිදාගන්නේ ද නැත. දෙණ දෙපස පොල්තෙල් පහන් දෙකක් දැල්වීමද අවමංගල චාරිත්‍රයෙකි. විදුලි ආලෝකය නො පැවැති කාලයේ දී ආලෝකය ලබා ගැනීමට එසේ පහන් දල්වන්නට ඇත. එම චාරිත්‍රය අද පවා නොකඩවා සිදුකෙරෙයි. මෘතශරීරයෙන් පිටවෙන විෂබීජ පොල්තෙල් පහන්දැල්ලෙන් විනාශවන නිසා එය සෞඛ්‍යමය අංශයෙන් ප්‍රයෝජනවත් චාරිත්‍රයෙකි. මිනීපෙට්ටිය මෘතශරීරයට වඩා දිග පළල නම් බිත්තර තැබීම ද චාරිත්‍රයක් වශයෙන් සිදුකෙරෙයි. මෙය කෙතරම් දුරට යෝග්‍යදැයි බෞද්ධයන් වශයෙන් අප විමසිලිමත් විය යුතුයි.

ආගමික වශයෙන් සිදුකෙරෙන අවසන් චාරිත්‍රයන් ද මළගිය ඇත්තන්ට මෙන් ම ජීවත්වන අයට වැඩදායී වන අයුරින් සකස් වී ඇත. අනිත්‍ය ප්‍රතිසංයුත්ත ගාථා සජ්ඣායනය, මතකවස්ත්‍ර පූජාව, පැන් වඩා පින් අනුමෝදන් කිරීම ආදිය මළ නොමළ දෙපසටම ප්‍රයෝජනවත් ය. මෘතශරීරයට ගෞරව කිරීම හා මළ තැනැත්තාගේ අගුණ දොස් නොකීමද සිංහලයන්ට ආවේණික වූ සිරිතෙකි. මැරුණු සමහරුන්ගේ කියන්නට කිසිම ගුණයක් සොයාගැනීමට අපහසු වූ විට අනුශාසනා කරන හිමිවරුන් අමාරුවේ වැටෙන අවස්ථා ද නැත්තේ නොවේ.

මෘතශරීරයට තනි රැකීමේ චාරිත්‍රය හෙවත් මිනිය තනි නො කිරීම ද සිදුකෙරෙන්නකි. එයට හේතුව මිනිය තනිවුවහොත් අමනුෂ්‍යයන් බැල්ම හෙළනවාය යන විශ්වාසයයි. එවැනි උවදුරු අද සමාජයේ පවා අසන්නට දකින්නට තිබේ. එසේම පද්‍යාත්මක ශෝක ප්‍රකාශ කීමද අවමඟුල් උත්සවයකදී දකින්නට ලැබුණු චාරිත්‍රයෙකි. බුද්ධ පරිනිර්වාණයේ දී අනුරුද්ධ, ආනන්ද ආදී තෙරවරුන් හා ශක්‍රාදීන් පැවසූ ශෝක ප්‍රකාශ මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්නට ඇත.

ඒ චාරිත්‍රය ස්වාමීන් වහන්සේ නමකගේ ආදාහනයකදී දකින්නට ලැබුණත් ශෝකප්‍රකාශයට බැනරය ආදේශ වීම නිසා ගිහි අවසන් කටයුතුවලදී දකින්නට නැත.

සමහර පළාත්වල මෘතශරීරය ගෙනයන පෙරහරේ ස්වාමීන් වහන්සේ ද වැඩම කරවති. “මනදස්සනාය ගන්තබ්බං” මතපරිවාරාය න ගන්තබ්බං” යන නියමය අනුව මළ මිනියක් දැකීමට යා යුතු ය. එහෙත් ගිහි මළමිනියකට පිරිවර වශයෙන් වැඩම කරවීම භික්‍ෂූන්ට කැප සරුප් නොවේ.

මෘතශරීරය ගෙනයන විට පාවාඩ එළමින් ගෞරවාන්විතව ගෙනයෑම ද සිරිතකි. දෙන ආදාහනය පිණිස හෝ භූමදානය පිණිස ගෙනයන විට හිස පැත්ත ඉස්සරහට හරවා ගෙන යෑම ද දරසෑය හෝ වළ වටේ තුන් වතාවක් මිනිය කරකැවීම ද අද පවා සිදුකෙරෙන චාරිත්‍රයෙකි. මළ තැනැත්තා නැවත ආපසු එතැයි ආදිකාලීනයෝ විශ්වාස කළහ. ඒ නිසා ඔවුහු මිනියට පාර නො පෙනෙන්න හිස ඉදිරිපසට හරවා ගෙනයෑමත්, සෑය හෝ වළ වටේ තෙවතාවක් කරකවා දරසෑයට මිනිය ඇතුළු කිරීම හෝ වළට මිනිය බැස්වීමත් කළහ. එම චාරිත්‍රය දැනුදු අපි කරමු. එහි අර්ථය නොසලකමු. මළ මිනියකට එසේ පාර වැරැද්දීමට නොහැක. ක්‍රෝධයකින් හෝ ආශාවකින් මළ කෙනකු මළයකෙකු හෝ ප්‍රේතයකු වීමේ ඉඩකඩ ඇත. පින් ගැනීමට බලාපොරොත්තුවන පරදත්තූපජීවී ප්‍රේත ආත්මයක උපනි නම් දූදරුවන්, නෑදෑයන් සොයා එනු ඇත. “තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංගාටකේසු ච” යනුවෙන් තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි පින් ගන්න බලාපොරොත්තු වන ප්‍රේතයන් තම නිවෙස් කරා පැමිණ බිත්තියෙන් එහා පැත්තට වී නැතිනම් ගෙට හැරෙන හන්දියට වී එසේත් නැතිනම් අගුපිළකට වී බලා සිටින බව දක්වා ඇත.

සිරිතක් වශයෙන් සිංහලයෝ අඟහරුවාදා හෝ සිකුරාදා හෝ අවසන් කටයුතු නොකරති. මේ චාරිත්‍ර අපට බොහෝ සෙයින් භාරතයේ බමුණු සමාජයෙන් ලැබුණු ඒවා ය. බමුණෝ අඟහරුවාදා, සිකුරාදා ජලස්නානය කිරීම පවා නො කළ යුතු බවද ඉගැන්වූහ. හේතුව? ඒ දිනවල පුණ්‍යතීර්ථවල බමුණන්ට පහසුවෙන් පවු සෝදාහැරීමට ඉඩ කඩ ලබාගැනීමට ය. එම බමුණු චාරිත්‍ර අපේ අවමංගල උත්සවයන්ට එකතු වී ඇත.

මළවුන් උදෙසා පින් පැමිණවීමට දන් දීම ද සිරිතෙකි. මේ සිරිත බුදුරදුන් දවස බිම්බිසාර රජුගෙන් ආරම්භ වී ඇත. එම සිද්ධියෙන් පැහැදිලි වනුයේ මළවුන්ට පින් දීමට, දන් දීමට කාල වකවානුවක් නැති බවයි. එහෙත් පසුකාලීනව මළවුන් උදෙසා තුන් දවසින්, හත් දවසින්, හතළිස්පස් දවසින්, තුන් මාසෙන්, සහ අවුරුද්දෙන් දන් දීමට පුරුදු වී ඇත. සමහර පළාත්වල මෘත ශරීරය නිවෙසේ තිබියදීම දන් දෙති. මෘත ශරීරයක් ඇති තැන විෂබීජ බෙහෙවින් ඇති බැවින් එය නුසුදුසු ක්‍රියාවක් බව කිව යුතු ය.

මළගෙදරක ගිනිමෙළවීමක් ද නැත. ඔවුන්ට ආහාරපාන නෑදෑයෝ, අසල්වාසීහු සපයති. විපතකදී පිහිටවීම වැදගත් මනුෂ්‍ය ගුණධර්මයෙකි. මෘතශරීරය අස්කළ දිනයේ මළගෙදර ළිපගිනි මොළවා අහර පිසති. ඒ බත් නෑදෑහිත මිත්‍රයෝ අනුභව කරති. එය මළබත නමින් හැඳින්වේ. එසේම පසුදා විහාරස්ථානයට ද දානය රැගෙන යති. සත් දවසින් මතක බණ කියා දන්දීම ද බෞද්ධයන් නොකඩවා පවත්වන චාරිත්‍රයෙකි. මළගියවුන්ට පින් දීමට දින වකවානු අවශ්‍ය නැතත් දින නියමකරගෙන තිබෙන නිසා අනිවාර්යයෙන් ම ඒ දිනයන්හි දානාදී පින්කම් කිරීම සිදුවෙයි. මියගිය අයද ජීවත්වන කාලයේ මේ කාලසීමා දන්නා බැවින් පින්ගැනීමට සුදුසු තැනක ඉපදී සිටී නම් ඒ දිනවල විශේෂයෙන් පින් බලාපොරොත්තු වනවා ඇත.

ප්‍රේතගොටු තැබීම ද බොහෝ පළාත්වල සිදුවන චාරිත්‍රයකි. හත් දවසේ බණ කියන විට ප්‍රේතගොටුව තැබීමට කණුවක් සිටුවා වටේට ගොක් රෑන් ඇද සුදුවැලි අතුරා සරසයි. මතක බණ පටන්ගැනීමට ආසන්න වූ විට පවුලේ ඤාතිවරයෙක් ඤාතිත්වය පවසා ‘බත් කා බණ අසා යන්න එන්ඩෝ’ යයි අඬ ගසයි. මේ චාරිත්‍ර එතරම් අර්ථවත් නොවුවත් කාලයක් පවත්වා ගෙන එන නිසා පැවැත්වීමට සිදුව ඇත.

වර්තමාන කාලයෙහි මේ සිරිත් විරිත් පැවැත්වූවත් මළගෙවල සුරාව සූදුව රජකරයි. මිනියට තනි රකින්නට යැයි රැස්වෙන මිනිස්සු නිදිවරන්නට ය කියා සුරාපානය කොට සූදුව පටන්ගනිති. තව අයෙක් කැරම් ගසති. කාඩ් සෙල්ලම් කරති. දාම් අදිති. මළගෙයක ශෝකී පරිසරය මඟුල් ගෙයක ස්වභාව උසුලයි. සිහිමඳ ගතියෙන් කරන විහිළු තහළු එමට ය. සමහර විට ඒවා කල කෝලාහල බවට ද පත්වන අවස්ථා අනන්තවත්ව අසන්නට දකින්නට ලැබෙයි. මෘත ශරීරය දින ගණනාවක් නිවෙසෙහි තබාගෙන සූදුවෙහි යෙදෙන්නෝ ද යොදවන්නෝ ද සිටිති. තමන්ට ලැබෙන සුළු ලාභයක් අපේක්‍ෂාවෙන් විශාල පිරිසකට කරදරයක්, වෙහෙසක් ඇති කරති.

මළගෙයක කටයුතු වලින් පසු වෙස්සන්තර ජාතකය කීමේ සිරිතක් අප කුඩා කාලයේ තිබුණත් දැන් ඒ සිරිත නැති තරම් ය. මළගෙය යනු සංවේගය උපදවාගත යුතු, සසර ස්වභාව වටහාගත යුතු ස්ථානයෙකි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.