බෞද්ධ කාන්තා පැවිද්ද බුදුන් වහන්සේගේම කැමැත්ත පරිදි ඇතිවූවක්ද?
අම්බලන්ගොඩ කිරළගහවෙල
විදුහලේ ආචාර්ය
ගෝනපිනුවල
පියරතන හිමි
චුල්ල වග්ගයේ දැක්වෙන අන්දමට කාන්තා පැවිද්ද
පිළිබඳව තථාගතයන් වහන්සේ තුළ දැඩි
මනාපයක් නොතිබූ බව පෙනේ. කාන්තා පැවිද්ද දීම පිළිබඳ ගැඹුරු ලෙස
කල්පනා කොට කොන්දේසි අටකින් යුත් නීති මාලාවක් බුදුන් වහන්සේ ඉදිරිපත්
කිරීම තුළින් භික්ෂුණී සසුන ඇරැඹීය.
කාන්තා පැවිද්ද ශ්‍රමණ සම්ප්‍රදාය තුළ පැවැති හෙයින් කාන්තාව පැවිදි
වීමේ අභිලාෂයෙන් බුදුසමය වෙත නැඹුරු විය. රෝහිණී නදියේ ජල ප්‍රශ්නය
මුල්කොට ඇරැඹෙන අර්බුදය ශාක්‍ය කෝලිය සටනක් බවට පත්වීමත් සමඟ බුදුන්
වහන්සේ අත්ත දණ්ඩ සූත්‍රයෙන් දහම් දෙසීමෙන් ආරවුල සංසිඳවන ලදී.මෙහි
ප්‍රතිඵලය දෙපාර්ශ්වයෙන් දෙසිය පනහ බැගින් සසුන් ගත වීමය. කුමාරුවරු
පන්සීයක් සසුන් ගතවීමෙන් ගෘහයන්හි තනිවූ ඒ බිරියන් නැවතත් තම කුමාරවරු
ගෙන්වා ගැනීමට උත්සාහ කළද පලක් නොවූ හෙයින් ප්‍රජාපතී ගෝතමිය වටා එම
කාන්තාවෝ රොක්වී පැවිදි බව බලාපොරොත්තු වූහ.
භික්‍ෂූණී සසුන ඇති කරලීමට ප්‍රජාපතී ගෝතමිය පළමු වරට ගත් ප්‍රයත්නය
අසාර්ථක වූයේ ප්‍රජාපතීගෝතමිය හැර අනෙක් කාන්තාවන්ගේ පැවිදි වීමේ
පරමාර්ථය නිවන් ලැබීමේ අරමුණ නොවූ හෙයිනි. සුදෝවුන් රජු පිරිනිවන් පා
තිබීම, නන්ද කුමරු පැවිදි වී සිටීම තමා රැක ගැනීමට සිටි අය වරින් වර
පැවිදි වීම නිසා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පමණක් රජමැදුරේ
ඉතිරි විය.මෙයින් පැවිදි වීමේ ආශාව වැඩිවී යාම නිසා දැඩි සංවිධානයකින්
ක්‍රියා කිරීමට අදිටන් කරගත් ප්‍රජාපතී ගෝතමිය රාජකීය කතුන් පන්සීයයක්
හිස මුඩු කොට කසාවත් හැද පයින් යාමෙන් ඇතිවූ තුවාල සහිතව දූවිල්ලෙන්
වැකුණු සිරුරු ඇතිව පෙර පරිදි හඬ හඬා යොදුන් පනස් එකක් පා ගමනින් පැමිණ
කූඨාගාර ශාලාවෙහි බිහි දොරටුව වෙත පැමිණීමෙන් අනතුරුව ආනන්ද හිමියන්
විසින් මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් සනසවා ඔවුන්ගේ
අභිමතාර්ථයන් ඉටුකර දීම වෙනුවෙන් උන්වහන්සේ මැදිහත් වූ සේක.
“සෝවාන් ආදි මාර්ග ඵලාවබෝධයනට ස්ත්‍රිය සුදුසු නම් මහණකමට නුසුදුසු
වන්නේ කෙසේද?
යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසමින් ප්‍රජාපතී ගෝතමියගේ මවු ගුණ
සිහිකරමින් ඇයට පැවිද්ද ලබාදෙන ලෙස බුදුන් වහන්සේගෙන් අනඳ හිමි
තර්කානුකූලව කළ ඉල්ලීමට අනුව භාරතීය කාන්තාවන්ට පැවිදි උපසම්පදාව
පිරිනැමීමෙන් භික්ෂුණී සසුන ඇරැඹීමට බුදුන් වහන්සේ අනුමැතිය දෙනු
ලැබූහ.
“අනුජානාමි භික්ඛුණී භික්ෂුණියො -උපසම්පදා දෙතුං” යනුවෙන් කාන්තාව
පැවිදි කිරීමට භික්ෂූන්ට බලය පිරිනැමුණි. ප්‍රජාපතී ගෝතමිය අෂ්ට
ගුරුධර්ම පිළිගැනීමත් සමඟම පැවිදි උපසම්පදාව ලැබීමෙන් බුදුසමයෙහි
භික්ෂුණි සසුන ඇරැඹුණි.
කාන්තා පැවිද්දේ ප්‍රමාදය හා විනය ශික්ෂා
භික්ෂුණීන් පිළිබඳව තොරතුරු පෙළපොත් අටුවා වංශ කථාවලින් හෙළිවන අතර එම
මූලාශ්‍රවලට අනුව කාන්තාව බුද්ධිමත් වුවත් එඩිතර වුවත් ධෛර්ය සම්පන්න
වුවත් ශ්‍රද්ධා සම්පන්න වුවත් ස්ත්‍රී භාවය නිසා ඇතිවිය හැකි සාමාජික
ගැටලු පිළිබඳව බුදුන් වහන්සේගේ දැඩි අවධානයට යොමුවී තිබීමම කාන්තා
පැවිදි බව ප්‍රමාදයට හේතු විය හැකිය. විශේෂයෙන් කුමන පියවරක් ගනු
ලැබූවද අදාළ සමාජයට අනුරුප වන පරිදි එය සකස් කළ යුතු විය. එසේ
නොවුණහොත් ශාසනික කාර්ය පද්ධතියම අක්‍රියශීලි වීමටද චිරස්ථායි නොවීමටද
හේතු වේ.
චුල්ල වග්ගයේ දැක්වෙන අන්දමට කාන්තා පැවිද්ද පිළිබඳව තථාගතයන් වහන්සේ
තුළ දැඩි මනාපයක් නොතිබූ බව පෙනේ. කාන්තා පැවිද්ද දීම පිළිබඳ ගැඹුරු
ලෙස කල්පනා කොට කොන්දේසි අටකින් යුත් නීති මාලාවක් බුදුන් වහන්සේ
ඉදිරිපත් කිරීම තුළින් භික්ෂුණී සසුන ඇරැඹීය. ප්‍රජාපතී ගෝතමිය එම ගරු
ධර්ම අට මල්මාලාවක් පිළිගන්නා සේ දොහොත් මුදුනින්ම පිළිගැනීමෙන්ම ඇයගේ
මහණකම හා උපසම්පදාව විය.
අෂ්ඨ ගරු ධර්ම
1. උපසම්පදාවෙන් වර්ෂ සීයයක් ගතවුවත් භික්ෂුණිය එදින උපසම්පදාව ලැබූ
භික්ෂුවට වැඳීම් පිදීම් ආදි ගරු සැළකිලි කළ යුතුය.
2. භික්ෂූන් නැති පෙදෙසෙක භික්ෂුණිය වස් නොවිසිය යුතුය
3. අඩමසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
4.වස් අවසානයේ භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ
යුතුය.
5. මෙහෙණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතුය
6. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
7.භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය
8.මෙහෙණිය විසින් භික්ෂුවට අවවාද නොකළ යුතුය. භික්ෂූන් මෙහෙණින්ට අවවාද
කළ යුතුය . ඔවුන් ඒවා පිළිගත යුතුය.
චුල්ලවග්ග භික්ෂුණී ඛන්දකයෙහි දැක්වෙන අන්දමට අෂ්ටගුරු ධර්ම හා
භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෙහි එන විනය ශික්ෂා පද භික්ෂූන්ට වඩා දැඩි නීති
රීති මාලාවක් භික්ෂුණීන් වෙනුවෙන් දැක්වීම ශාසනයෙහි චිරස්ථිතිය සඳහාම
කරන ලද්දෙකි. භික්ෂූන් භික්ෂූණීන්ට නොවැඳිය යුතුය යන ගරු ධර්ම තත්කාලීන
සමාජයේ පිළිගැනීම අනුව පනවන ලද්දකි.
සසුන් ගතවන කතුන් වැඩිවීමත් සමඟම ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ශාසනයේ
චිරස්තිථියට අහිතකර විය. මෙය පදනම් කරගෙන බුදුන් වහන්සේ භික්ෂූණීන්
උදෙසා විනය නීති මාලාවක් පැනවූහ. එම විනය නීති වරදේ ප්‍රමාණය අනුව වර්ග
වූණි.
බුදුන් වහන්සේ විනය නීති පැනවීමේදී අනුගමනය කළ සම්ප්‍රදාය පූර්ව
සිදුවීමක් පදනම් කරගෙන නමුත් භික්ෂුණී සසුන ඇරැඹීමේදී පනවන ලද අෂ්ට ගරු
ධර්ම එබඳු පූර්ව සිදු වීමකින් තොරව විශේෂයෙන් බුදු සසුනේ භික්ෂුණී
ශ්‍රාවිකාවන් බිහිවීමටත් පෙරාතුවම ඇතිවීම සසුනේ චිරස්තිථීය වෙනුවෙන්ම
සිදුවූවක් බව නිගමනය කළ හැකිය.
භික්ෂුණීශාසනය ආරම්භ කිරීමේ වෘතාන්තය පිළිබඳව දිගු විස්තරයක යෙදෙන
පූජාවලි කතු බුද්ධ පුත්‍ර හිමි කාන්තා පැවිද්ද දිගින් දිගටම කළ
ඉල්ලීම්වලට ඇහුම්කම් දීමේ ප්‍රතිඵලයක් බව දක්වමින් ස්වාභාවිකව බුදුන්
වහන්සේගේ කැමැත්ත පරිදි ඇති වූවක් නොවන බව දැක්වීමට යත්න දරයි. |