Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෛත්‍රියේ පාඩම කියාදෙන තුරුලතා

තමාට සෙවණ දුන් ගසකට හානි කිරීම ගුණමකුවීමක්, මිත්‍රද්‍රෝහී වීමක්. මිනිසා තමාට පිහිටවන පරිසරයෙහි ගස්වැල්වලට හානි නොකළ යුතුවාක් මෙන්ම ගස්වැල් පෝෂණය කිරීමටත් කටයුතු කරන්න ඕනෑ. එය ගුණගරුක පුද්ගලයකුගේ ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේත් තමන් වහන්සේට සෙවනදුන් බෝධි වෘක්ෂයට ගරු කළා

මිනිසා ආරක්ෂා කරන්නේද, පෝෂණය කරන්නේද පරිසරයයි. වායු,ජල,ශබ්ද සහ පාංශු දූෂණයෙන් තොර ස්වභාවිකත්වය පිළිබිඹු වන භෞතික පරිසරය මනුෂ්‍ය වර්ගයා සතු උත්තම දායාදයක් වනවා. ඒ නිසා එය රැකගැනීමට හැම අයුරකින්ම ක්‍රියාකිරීම අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණක්. බෞද්ධ දර්ශනය තුළ පරිසරය ආරක්‍ෂාකිරීම සඳහා අගය කළ යුතු ආදර්ශ හා උපදේශ රැසක් දක්නට ලැබෙනවා.

බුදුදහම පෙන්වාදෙන්නේ භෞතික පරිසරයෙහි සමතුලිත බව රකින, සුන්දරත්වය ඔප් නංවන , විවිධාකාරයෙන් මිනිසාට ප්‍රයෝජනවත්වන ගස් වැල් වැවීම මහා පින්කමක් බවයි.

කවරෙකුට නම් දිවා රාත්‍රි පින් වැඩේද? දහම් හි පිහිටි සිල්වත් වූ කවරෙක් නම් සුගතියට එත්දැයි දේවතාවෙක් දිනක් බුදුරදුන්ගෙන් විමසනවා. එහිදී බුදුන් වහන්සේ ලබාදෙන පිළිතුර පරිසරය රැකීමටත් පෝෂණයටත් අනුබල දෙනවා.

එනම් :- “යමෙක් මල් පල උයන් වතු වවන්නේද වන වගා කෙරේද, ඒදඬු ,පාලම් , පැන්හල් පොකුණු හා ආවාස තනාදෙයිද ඔවුනට දිවා රැය පින් වැඩේ. දහම් හි පිහිටි සිල්වත් වූ ඔවුහු සුගතියට යෙත්” යනුවෙනි.

තුරුලතා වැනසීමත්,ඒවාට හානි සිදුකිරීමත් උපසපන් භික්ෂුවකට විනයෙන්ම තහනම් වෙනවා. උපසම්පදාව අධිශීලයක්. එයට ඇතුළුවන එකී ශික්ෂණය භික්‍ෂු ප්‍රාතිමෝක්ෂයෙහි, සප්‍රනී වෘක්ෂලතාදිය සිඳලීමෙන් පචිති වෙන බව දැක්වෙනවා.

අලව් නුවර වාසය කළ භික්‍ෂූන් නව විහාර කර්මාන්තාදියට ඉඩ සලසා ගනු සඳහා වෘක්ෂලතාදිය සිඳ දැමීම එම විනය නීතිය පැනවීමට හේතුවුණා. දෙවියන්ද මිනිසුන්ද ගස් වැල් නැසූ ඒ භික්‍ෂූන්ට දොස් නැඟුවා. එකී පුවත දැනගත් බුදුරදුන් පෙර කී ‘භූතාගම ශික්ෂාව “ පැනවූවා.

භූතාගම යන්නෙන් ගස්වැල් එනම් පොළොවෙහි ජලයෙහි හෝ ගල් පව්වක හෝ අන්තැනක හෝ සප්‍රාණිව වැඩෙමින් පවත්නා සියලු සජීවි උද්භිද වර්ග අදහස් කරනවා. එබන්දක් සිඳළීම භික්ෂුවකට පචිති අවැතක් වෙනවා.

සුත්‍රාන්තයන්හි ශීලය විවරණය කළ තැන්වල පරිසර ආරක්‍ෂණය උසස් ප්‍රතිපදාවක් නැතහොත් ශීලයක් ලෙසට සැලකිය යුතු බව සඳහන් වෙනවා. ඒ අනුව ජීවි පරිසරය වනසාලීම නුසුදුසුයි. එය දුසිල් බවක් වෙනවා.

“ යම් සේ වනාහි සමහර භවත් මහණ බමුණන් සැදැහැයෙන් දුන් බොජුන් වළදා මූල බීජ එනම් හි¼ගුරු ආදි පැළ වන මුල් ද නුග ආදි කඳින් පැළ වන ස්කන්ධ බීජද උක්, උණ බට ආදි පුරුක්වලින් පැළවන පලු බීජද , ඉරිවේරිය ආදි දල්ලෙන් පැළවන අග්‍ර බීජද වී ආදී ඇටයෙන් පැළවන බීජද යන මෙකි බීජ සමූහද (පැළවනදේද භූත සමූහද (පැළවී ඇති දේද) සිඳ බිඳ තලා නවා වැනසීමෙහි යෙදුණේ වේද හෙතෙම එබඳු වූ බීජයාම, භූ®තාගම වැනසීමෙන් වැළැකිය යුත්තේ වෙයි.මෙයද (සම්‍යක් දෘෂ්ඨික වු ) ඔහුගේ ශීලයයි “

භික්ෂූන් වහන්සේ ගත කළ යුත්තේ පරමාදර්ශී ජිවිතයක්. තණකොළ ආදි කුඩා ශාකයක් වුවද ආරක්‍ෂා කර ගැනීමේ අපේක්‍ෂාව ඇතිව තමයි භික්‍ෂූන්ට අදාළ වු වස් විසීමේ ශික්‍ෂාව විනයට එක් කළේ. කුඩා ශාකයක් වූවත් අනිසි ලෙස නොපෙළිය යුතුයි.

වැසි සමය තුළ පොළොවෙහි තණකොල නව දළුලමින් වැඩෙනවා භික්‍ෂූන් ඒවා පාගමින් චාරිකාවේ හැසිරුණා. එය දුටු ජනපද වැසියන් උන්වහන්සේට චෝදනා කළා. මේ පුවත දැනගත් බුදුරදුන් වැසි සමයෙහි චාරිකා නොකොට වස් එළැඹීමට අනුදැන වදාළා.

උපසපන් බව ලබන නවක පැවිද්දකුට අවවාද සංඛ්‍යාත ‘ නිස’ දීමෙහි ඇතුළත් කරුණු සතරෙන් එකක් වන්නේ, ‘පැවිද්ද නම් රුක්මුල්, සෙනසුන් කොට වුවද වසනු පිණිස යැයි සැලකීමයි ‘ යන්නයි.

කිසියම් ගසක සෙවණේ හිඳ ගැන්මෙන් හෝ නිදාගැන්මෙන් පිහිට ලද තැනැත්තකු විසින් එම ගසෙහි අත්තක් කඩාදැමීම අකෘතඥ වීමක් ලෙස ජාතක පාලියෙහි සඳහන් වෙනවා. තමාට සෙවණ දුන් ගසකට හානි කිරීම ගුණමකුවීමක්, මිත්‍රද්‍රෝහී වීමක්. මිනිසා තමාට පිහිටවන පරිසරයෙහි ගස්වැල්වලට හානි නොකළ යුතුවාක් මෙන්ම ගස්වැල් පෝෂණය කිරීමටත් කටයුතු කරන්න ඕනෑ. එය ගුණගරුක පුද්ගලයකුගේ ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේත් තමන් වහන්සේට සෙවනදුන් බෝධි වෘක්ෂයට ගරු කළා.

තුරුලතා නොයෙක් අයුරින් මිනිසුන්ට පිහිට වෙනවා. පැරැන්නෝ පැවසුවේ ගස් පලදරන්නේ පරෝපකාරයට බවයි. වැස්ස ගස්වැල්,පොළොව සහ වාතය ආදි පාරිසරික සාධක ජාලයක් මෙන් එකිනෙකාට සම්බන්ධව එකිනෙකාට උපකාරීව පවතිනවා. පරිසරයේ සමතුලිතතාව ස¼ඳහා මේ සාධක සියල්ල නිසිලෙස සුරක්ෂිතව පැවැතිය යුතු වෙනවා.

ගස්වැල් මිනිසාට කරන යහපත පිළිබඳ පසුකාලීන බෞද්ධ ග්‍රන්ථයක් වූ මිලින්ද පඤ්හය සඳහන් කරන්නේ මෙසේය.

ගස නම් මල්ද ගෙඩිද දරන්නේය. (රුක්ඛො නාම පූප්ඵ ඵලධරෝ) මලින් සෞන්දර්යය උපදවයි.

ජීවිතයේ යථාර්ථය උගන්වයි. (පුප්ඵං මිලායාති යථාං ඉදංමෙ කායෝ තථායාති විනාසභාවං) ගෙඩි රස ලබාදෙයි. ශාක පරපුර පවත්වයි.ගස තමා වෙත පැමිණෙන්නවුනට සෙවණ ලබාදෙයි. (රුක්ඛො උපගත මනුපවිට්ඨානං ජනානං ඡායා දේතී) එය ස්වභාවික වූ සිසිල් සෙවණකි.

ගස් සෙවණ නොවෙනස්ව සැමට ලැබේ. (රුක්ඛො ඡායා වේමන්තං න කරෝති) සතුරු, මිතුරු සැමටම නොවෙනස්ව සෙවණ දෙන ගස සැබෑ මෛත්‍රියේ පාඩම උගන්වයි.

මේ අනුව තුරුලතා රක්‍ෂණය, පෝෂණය කිරීම මිනිසාට අතිශය ඵලදායක වූ කටයුත්තක්. තුරුලතාවනට හිතෛශිවන්ත වීමටද ඒවා රැක ගැනීමටද බුදු සමය මඟපෙන්වයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.