නිතර සිහි කළ යුතු
සාරාණීය ධර්ම
පෑළියගොඩ
විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
දස ධම්ම සූත්‍රයේ
සාරාණීය කරුණු දහයක්
දැක්වෙයි. විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේ සඳහා දේශිත කරුණු වුවත්, ඇතැම්
ඒවා ගිහි පිරිසට ද ඉතා
වැදගත් වේ. මා විවර්ණ බවට
පත්වූවෙකැයි හෙවත්, ගිහියන්ගෙන් වෙන් වූ ස්වරූපයේ කෙනෙකැයි භික්‍ෂුව
නිතර සිහියේ තබා ගත යුතු බව පළමුවැන
කරුණයි. |
අප මේ ලෝකයට පැමිණියේ කොතැනක සිට ද, මරණින් පසු නැවත ගමන් කරන්නේ
කොතැනකට ද යන ගැටලු දෙකට ආදි කාලයේ සිට ම මිනිසාට විසැඳුම් සොයාගැනීමට
අවැසි විය. ඊට විසැඳුම් සොයා යෑමේ ප්‍රතිඵලයක් හැටියට ඇතැම් ආගම් හා
දර්ශනවාද බිහිවිය. බෝධිසත්වයන් වහන්සේ නමක සසර ගමන් කරමින් පෙරුම්දම්
පුරන්නේ ද මෙම ගැටලුවලට සදාකාලික විසැඳුමක් සොයා ගැනීමටයි. ඒ බව
‘තයෝධම්ම’ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේම මෙසේ පැහැදිලි කරති.
‘මහණෙනි, මේ ලෝකයෙහි ධර්මතා තුනක් නැත්නම් බුදුවරයෙකුගේ පහළවීමක් ද
නැත. ඒ ධර්මතා තුන නම් ජාති, ජරා හා මරණ යන තුනයි. එනම් ඉපදීම, වයසට
යෑම හා මරණය යන තුනයි.’
යම් යම් අවස්ථාවලදී අපට ජීවිතයේ සැප සහගත යැයි හැඟෙන අවස්ථා එළැඹුණත්,
ඒ සියල්ල පවතින්නේ ඉතාම සුළු මොහොතකි. අවසානයේ නැවතත් දුක්ම
පැමිණෙයි.එපමණක් නොව, මම මගේ යැයි සිතා සිටින සිරුරවත් මා කැමැතිවන
පරිදි පවත්වා ගැනීමට මට නුපුළුවන. සිරුර මගේ නම් එය මා කැමැති පරිදි
පවත්වාගෙන යෑමට මට පුළුවන්කමක් තිබිය යුතු ය. එහෙත් එසේ සිදු නොවේ.
මහලුවීම, ලෙඩ රෝගවලට ගොදුරුවීම, දුක් වේදනා විඳීමට සිදුවීම හා මරණයට
පත්වීම ආදියට මුහුණදීමට අප අකැමැති වුවත්, ඒවාට මුහුණ දීමට අප හැම
දෙනාටම සිදු වේ. ඒ, මේ සියල්ල සංස්කාර වන බැවිනි. සංස්කාරයන්ගේ ස්වභාව
නම් ඇතිවීම, වෙනස්වීම හා නැතිවයෑමයි. මේ ස්වභාව අවබෝධ නොකර ගන්නා තුරු,
මමය, මගේය, මේ සිරුර ස්ථිරය, නිත්‍යය යැයි සිතයි. එනිසාම එහි වෙනසක්
ඇතිවන විට දුකක්, කනගාටුවක් ඇතිවෙයි. හැකි හැම විටකම එය වෙනස් නොවී
පවත්වාගෙන යෑමට උත්සාහ ද දරයි.
සමහර දේ පිළිබඳ හරිහැටි අවබෝධ නොකර ගැනීම නිසා, අපේ සිතේ දුක් වේදනා
හටගනී. යථා ස්වභාව පිළිබඳ ඇති අනවබෝධය නිසාම දුක්ඛ වේදනා ඇතිවිය හැකිය.
එමෙන්ම දැනගෙන පසුව අමතකවීම නිසාත්, දුක් සහිත වේදනා ඇතිවීමට පුළුවන.
අනවශ්‍ය දේ නිතර නිතර මෙනෙහි කිරීමෙන් ද මනැසට පීඩාකාරීබවක් ගෙනදෙයි.
වත්මන් ගිහි, පැවිදි සමාජයන්හි බහුතරයක් පීඩාවට, අසහනයට පත්වන්නේ තමන්ට
අනවශ්‍ය, නොගැළැපෙන දෑ පිළිබඳ නිතර නිතර සිහි කිරීමට යෑමෙනි. ඒ තුළින්
ඇති කරවන මානසික පීඩනය මතු පිටට එන්නේ තමන්ටත් අනුනටත් ඉමහත් විපතක්
සිදු කරමිනි. කෙනකුට ලොකුම විපත සිදු කරන්නේ වරදට යොමු කරගත් තම සිතයි.
එමෙන්ම යහපතට යෙද වූ සිතට කළහැකි මෙහෙවර අන් කිසිවෙකුටත් කළ නොහැකිය.
එබැවින්, තම සිත යහමඟට යොමු කරගෙන ආරක්‍ෂා කර ගැනීමට බුදුරජාණන් වහන්සේ
හැම විටකම ගිහි, පැවිදි අප සැමට උපදෙස් දෙති. භික්‍ෂූන් වහන්සේට නිතර
සිහි කටයුතු, සිහියේ තබා ගත යුතු කරුණු රාශියක් සූත්‍ර දේශනා තුළින්
ඉදිරිපත් කොට තිබේ. එකී කරුණු සාරාණීය ධර්ම ලෙස හැඳින්වේ.
දස ධම්ම සූත්‍රයේ සාරාණීය කරුණු දහයක් දැක්වෙයි. විශේෂයෙන් භික්‍ෂූන්
වහන්සේ සඳහා දේශිත කරුණු වුවත්, ඇතැම් ඒවා ගිහි පිරිසට ද ඉතා වැදගත්
වේ. මා විවර්ණ බවට පත්වූවෙකැයි හෙවත්, ගිහියන්ගෙන් වෙන් වූ ස්වරූපයේ
කෙනෙකැයි භික්‍ෂුව නිතර සිහියේ තබා ගත යුතු බව පළමුවැනි කරුණයි. තමාගේ
ජීවිතය විමුක්ති මාර්ගයේ ගමන් කිරීම සඳහා ම වූවෙකැයි පැවිද්දා නිතර
සිහියේ තබාගෙන කටයුතු කළ යුතු ය. එමෙන්ම තමන් ගිහියනට වඩා වෙනස් වූ
පැවැතුම් ඇත්තෙකැයි ද නිතර සිහියේ තබාගත යුතු ය. තමාගේ සීලය පිළිබඳ
තමන්ගෙන්ම චෝදනා එල්ලවන්නේදැයි නිතර සිහියෙන් සිටිය යුතු ය. මෙය ගිහි
පැවිදි හැම දෙනාම සිහි කටයුතු කරුණකි. පැවිද්දන් මෙන්ම, මවුපියන්,
ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්, සිසුදරු දැරියන්, සමාජ සේවකයන් මෙන්ම
පාලක, පාලිත හැම කෙනකුම තම තමන්ගෙන් කෙරෙන කටයුතු පිළිබඳ විමසා බලන්නේ
නම්, කිසිවකුගෙන් තවත් කිසිවකුට අගතියක්, අකටයුත්තක්, අසාධාරණයක් සිදු
නොවනු ඇත.
එක්ව වාසය කරන අනෙකුත් භික්‍ෂූන් වහන්සේ මගේ සීලය ගැන සොයා බලා මට
චෝදනා නොකරත්දැයි සිහියෙන් සිටිය යුතු බව, තවත් සිහි කටයුතු කරුණකි.
මෙහි ද පොදු බවක් තිබේ. අපි හැම දෙනාම උපතේ සිටම කිසියම් සමාජයකට
සම්බන්ධවන නිසා, සාමුහිකව ජීවත් වෙමු. සමූහයේ හැම දෙනා තම තමන්ගේ
ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිමත් වන්නේ නම්, ඔවුන් අතින් වරදක් සිදු
නොවේ. හැම විටකම තම ක්‍රියාකාරකම් පිළිබඳ චෝදනාවක් සෙසු අයගෙන්
එල්ලවීමෙන් වැළැකී සිටීම නිසාම, හැම දෙනාගෙන්ම යහපත් හැසිරීමක් දැකිය
හැකි ය.
තමන්ට පි‍්‍රයමනාප, තමන් කැමැති සියල්ල වෙනස් බවට පත්වන බව, විනාශයට යන
බව නිතර සිහියේ තබාගෙන කටයුතු කළ යුතු බව තවත් සාරාණීය ධර්මයකි. සියල්ල
වෙනස් වෙන බව දැන සිටියත්, ඒ බව නුවණින් වටහා නොගැනීම නිසා බොහෝ දෙනා
තමන් කැමැති දේ ලබා ගැනීමට, එක් රැස් කර ගැනීමට වෙහෙසෙති. අන්සතු දේ
පැහැර ගනිති. අපරාධවලට යොමුවෙති. බොහෝ ගැටුම්වලට හේතුව ද වෙනස්වීමේ
ස්වභාව වටහා නොගැනීමයි. විපරිණාමය පිළිබඳ අවබෝධය ඇති තැනැත්තා තමන්
කැමැති දේ වෙනස් වන විට කනගාටුවට පත් නෙවේ.
කර්මය උරුම කොට ඇති බවත්, කර්මය ඤාති කරගෙන හා පිළිසරණ කරගෙන තමන් උපත
ලබා ඇති බවත් නිතර සිහිපත් කළයුතු ය. අප හැම කෙනකුටම ප්‍රතිසන්ධියේ දී
මෙන්ම ප්‍රවෘත්ති විපාක වශයෙන් ද කර්මයේ බලපෑම ලැබෙන බව බුදුදහමේ
ඉගැන්වීමයි. එයින් මිදීමට කිසිවකුටත් නුපුළුවන. කර්මය පිළිබඳ විශ්වාසය
ඇති තැනැත්තා කිසිවිටෙකත් තමන් අතින් අකටයුත්තක්, අහිතකර යමක් සිදු
නොකරයි. තම මිනිස්කමට අයෝග්‍ය කිසිවක් නොකරනු ඇත. එබැවින් හැම කෙනකු
තුළම මේ සාරාණීය ධර්ම පවත්වාගෙන යෑමට උනන්දුවක් ඇතිකර ගත යුතු ය.
තමාගේ දිවා, රාත්‍රී දෙක ගත වන්නේ කෙසේදැ’යි නිතර විමසිල්ලෙන් සිටීමද
තවත් සාරාණීය ධර්මයකි. අප යමක් කළත් නොකළත් කාලය ගෙවීයයි. කිසිවකුටත්
එය නවතාලිය නොහැකිය. සමහරු නිකරුණේ කාලය ගතකර පසු කාලයේ දී දුක් සුසුම්
හෙළති. තව සමහරු වැඩ කිරීමට කාලය නැතැයි මැසිවිලි නඟති. එහෙත් කාලය මනා
ලෙස කළමනාකරණය කරගෙන කටයුතු කරන්නකුට මේ කිසිදු ගැටලුවක් ඇති නොවේ.
එමෙන්ම කෙනකුගේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ ද ජීවත්වන කාලය තුළ අර්ථවත්
වූ යමක් කළ පමණටයි. එදිනෙදා තමාගේ කාලය ගෙවෙන ආකාරය පිළිබඳ මෙනෙහි
කරන්නකුට, ගෙවී ගිය දිනයේ නිකරුණේ කාලය ගත වී ඇත්නම් යළි එසේ නොවන
පරිදි කටයුතු යොදා ගත හැකි ය. එමෙන්ම තමාට දෛනිකව කිරීමට තිබෙන කටයුතු
කල් නොදමා නිසි කලට ඉටු කිරීමට ද පුළුවන. නවතම වැඩ කටයුතු යොදා
ගන්නේනම් ඊට වුවමනා කාලය වෙන් කරගැනීමට ද හැකි ය. දෛනික කටයුතු
අර්ථසම්පන්නව කිරීමටත්, අනලස්ව හා ක්‍රමානුකූලව වැඩි වැඩ කොටසක්
කිරීමටත් ඒ තුළින් පුද්ගලයාට හැකි වේ.
තමන් ශුන්‍යාගාරයක සිත් අලවමින් ජීවත් වන්නේදැයි භික්‍ෂූන් සිහි
කටයුතුබව දේශනා කළ බුදුරජාණන් වහන්සේ, මරණාසන්න අවස්ථාවේ දී අනෙකුත් අය
තමන්ගෙන්, ලද අධිගමයක් පිළිබඳ විමසා සිටියොත්, නිශ්ශබ්දව සිටීමට සිදුවේ
දැයි නිතර සිහි කළ යුතුයැයි වදාරා තිබේ. බුදුදහම කෙනකුගේ මෙලොව
ජීවිතයත් පරලොව ජීවිතයත් යහමඟට යොමු කරවන ධර්ම මාර්ගයකි. එය කටපාඩම් කර
තබාගැනීමෙන් හෝ යාඥා ස්වරූපයෙන් කන්නලව් කිරීමෙන් හෝ ප්‍රතිඵල
බලාපොරොත්තු විය යුත්තක් නොවේ. ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීමෙන්ම
ප්‍රතිඵල ලබා ගත යුතු ඉගැන්වීමකි. නියම බෞද්ධයා මුළා වන්නකු නොවේ.
අඥානයකු ද නොවේ. සිතින්, කයින් හා වචනයෙන් තමන්ටත්, අන් කෙනකුටත්
හිරිහැරයක්, කරදරයක් සිදු කරන කෙනකු ද නොවේ. එපමණක් නොව ධර්මයේ
ප්‍රතිලාභ අත්කරගන්නකු ද වේ. ධර්මානුකූලව කටයුතු කරන්නකුට අත්කර ගත
හැකි ප්‍රතිලාභ රැසක් පිළිබඳ ධර්මයේ ම මෙසේ සඳහන් වෙයි.
“චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්ති”
බුද්ධිමත්බව පළමුවැනි ප්‍රතිලාභයයි. ලොව පහළ වූ උසස්ම බුද්ධිමතා
බුදුරජාණන් වහන්සේ යි. බුද්ධත්වය යනු බුද්ධිමත්බවේ ඉහළම ඵලයයි. එබැවින්
බුදුරජාණන් වහන්සේ අනුව යෑමට එකඟ වන බෞද්ධයා බුද්ධිමතකු විය යුතුමය.
ජීවිතයේ තීන්දු තීරණ ගැනීමේ දී බුද්ධිමත් නොවුණහොත් ජීවිතය ම අඳුරට
වැටෙයි. කෙලෙස් යටපත් කිරීම හෝ මුළුමනින්ම නැතිකර දැමීම දෙවැනි
ප්‍රතිලාභයයි. ඉඳුරන් අරමුණු හා ගැටීම නිසා සිතුවිලි උපදී.
සිත අපිරිසුදු කරන, නරක් කරන සිතුවිලි නිසා, පුද්ගල ක්‍රියාකාරකම් ද
අනර්ථකාරී වේ. නපුරු, පාපතරයකු ලෙස කෙනකු හැසිරෙන්නේ එහි ප්‍රතිඵල
වශයෙනි. එවැනි කෙලෙස් යටපත් කිරීම හෝ මුළුමනින්ම නැතිකර දැමීමට හැකිවීම
ධර්මයෙන් ලැබෙන ප්‍රතිලාභයකි. තමන් පිළිබඳත්, අවට ලෝකය පිළිබඳත්
යථාවබෝධය ලැබීම ද පරම විමුක්ති සුවය අවබෝධ කර ගැනීමට හැකිවීමද ධර්මයෙන්
ලද හැකි උසස්ම ප්‍රතිලාභයයි.
මෙකී උත්තරීතර ඵල ලබාදෙන වෙනත් ධර්ම මාර්ගයක් තවත් ලොව නැත. ඒ දහම් මඟ
නුවණින් තේරුම් ගෙන කටයුතු කිරීමට අදිටන් කර ගනිමු. |