බුදුගුණ
පානදුරේ අරියධම්ම හිමි
සටහන -
එස්.ඩී. රසිකා ප්‍රියදර්ශනී
බුදුගුණ මෙනෙහි කිරීමෙන් කුසල් සිත් වැඩෙනවා. අකුසල් සිත් දුරුවෙනවා.
පින් හිත් පුරවනවා. පින් උල්පත් මතුකරන්න බුදුගුණ මනසිකාරයෙන් ලැබෙන
පිහිට අපමණයි. එය හදවත් සනසනවා. බුදුගුණ මෙනෙහි කරන විට සුළුවෙන් උපදින
හිතේ සතුට විදුලියක් ශරීරයට බැහැගත්තා වගේ සිත සැහැල්ලු කරලා,
ප්‍රබෝධමත් කරලා විශාල සංසිඳීමක් සිතට ලබාදෙනවා.
අති පාරිශුද්ධ සන්තානයක් ඇති බුදුරජාණන් වහන්සේ මිනිස් සිතේ වවාගන්න
පුළුවන් උදාරම ගුණ වවාගත් උත්තමයන් වහන්සේයි. රාග, දේෂ, මෝහ, මදමාන,
ඊර්ෂ්‍යා, ක්‍රෝධ, ක්ලේශ ධර්ම ඒ බුදු හිතේ නෑ.
බුදුරජාණන් වහන්සේගේ
අසිරිමත් ධම්ම විලාශය,
චරිතාපදානය සිහිපත් වෙනවිට හද සැනසෙනවා. බුදුගුණ
ඇසුරෙන් නැවුම් වූ කුසල චේතනා පහළ වෙලයි ඒ
සංසිඳීම හිතට උපදින්නෙ.
මේ ලෝකය සංකීර්ණයි.
ඒ සංකීර්ණ සමාජ ප්‍රශ්නවලට බුද්ධ චරිතයෙන් මහඟු
උපදේශ ලබාගන්න පුළුවන්. |
මෛත්‍රිය, කරුණාව, මුදිතාව,උපේක්‍ෂාව, ශීල, සමාධි, ප්‍රඥා, ආදි
ශ්‍රේෂ්ඨ මිනිස් ගති ඒ බුදුහිතේ විද්‍යමානයි. පැහැදිලි, නිරවුල් මඟක්
ඔස්සේ මඟ පෙන්වා දෙමින් වැඩම කළ නිසා මාර්ග දේශකයාණෝ, අක්ඛාතාරෝ තථාගතා
යනුවෙන් බුදුරජාණන් වහන්සේට සම්මානනීය නාම ලැබෙනවා. මග්ගඤ්ඤු,
මග්ගවිදූ, මග්ගයෝනිසෝ යන නමින්ද බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. එහි
තේරුම නම් නියම මාර්ගය, ආර්ය මාර්ගය දැනගත්තු තැනැත්තා යන්නයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ නියම මාර්ගය දුකින් මිදීමයි. ලොව්තුරා
බුදුරදුන් නුවණින් සොයාගත් මග ගමන්ගත් කිසිවෙකුට කිසිම දවසක මොනම
තැනකවත් වැරදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට වුවමනා කරපු එකම කාරණය නොමග
යන ලෝකයා හරිමගට ගමන් කරවීමයි. මේ හරි මඟ කියන්නේ ආර්ය අෂ්ඨාංගික
මාර්ගයයි. අංග අටකින් පිරුණු මේ මගෙහි ගමන් කරන්නාගේ ප්‍රතිපදාව මධ්‍යම
ප්‍රතිපදාවයි. වෙන අයුරකින් කියනව නම් සීමා නොයික්ම වූ මැඳුම්
පිළිවෙතයි. හොඳම හොඳ ගුණයහපත් පුද්ගලයකු වන්න මේ මුළු මහත් තුන් ලෝ
තලයෙ තිබෙන එකම පාර තමයි මේ. යහපත යහපත ලෙස දකින නුවණ පහළ කරගන්න,
බුදුදහමින් ලැබෙන්නෙ මහ පුදුම විදියෙ මගපෙන්වීමක්. හොඳ නරක, කුසල්
අකුසල්, කළයුතු නොකළයුතු දේ, හලයුතු නොහලයුතු පැත්ත, යා යුතු නොයා යුතු
මග හොඳ වැඩ කළොත් හොඳ විපාක ලැබෙනවා. මේ සියල්ලම සෙනෙහෙරබර මවෙක්,
පියෙක් වගේ පරමාදර්ශී අනුශාසකයෙක් වගේ නිරන්තරයෙන් බුදුරදුන් දේශනා
කළා. අපට හොද මග කියල දුන්න. නියම මග පෙන්නලා දුන්න. ශාස්තෘවරයන්
වහන්සේ අක්ඛාතාරෝ තථාගතා අපට ලැබුණු ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන්
වහන්සේයි. සංකීර්ණ ගිහිජීවිත වල සුළු වේලාවක් හරි බුදුගුණ සිහිකරමින්
වඳින්න. බුදුරූපයක් ලඟ තියාගන්න එක බොහොම හොඳයි. බුද්ධ රූපයක් නැතිවම
බැහැ කියනව නෙවෙයි. එවැන්නක් තිබීම බුදුගුණ මෙනෙහි කරන්න ලොකු පහසුවක්
වෙනවා. අරමුණට සිත නංවන්න ලේසියි. එතකොට බුද්ධ රූපය ලෝකෙ තිබෙන ලස්සනම
රූපයයි. බුද්ධ රූපය කියලා කියන්නෙ අපේ සන්තාන බුදුරජාණන් වහනසේට සමීප
කරවන්න ලැබිලා තියෙන වස්තුවක්. බුදු කුටියෙ පැත්තකට වෙලා වාඩිවෙලා
බුද්ධ රූපය දිහා බලාගෙන බුදුරුව හිතේ මවාගෙන බුදුගුණ මෙනෙහි කරන්න.
මනුෂ්‍ය ජීවිතයක් හැඩගස්වගන්න නම් මේ දෙයට වඩා හොඳ දෙයක් නැහැ.
බුදුරදුන්ගේ අසිරිමත් ධම්ම විලාසය චරිතාපදානය සිහිපත් වන විට හද
සැනසෙනවා. නිවුණ ගතියක් උපදින්නෙ. බුදුගුණ ඇසුරෙන්, නැවුම් වූ කුසල
චේතනා පහළ වෙලයි ඒ සංසිඳීම , හිතට උපදන්නෙ. ඒ ලොව්තුරා බුදුගුණයට අපි
ගරු කරන ගමන් වඳීන පුදන ගමන් බුදුසිරිතෙ, බුදුගුණවලින් එකක් හරි තෝරගෙන
ඒ අනුව පිළිපදින්න ඕන. අත්හදා බැලීමක් වශයෙන් හරි එක ගුණ දහමක් හරි
වඩන්න ඕන. කිසියම් ප්‍රාර්ථනාවක් ඇතිව ඒ ගුණ ධර්මය පුරන්න ඕනෑ.
ප්‍රාර්ථනා බලය මුදුන් පත්කරගන්න දිගුකලක් ගතවෙන්න පුළුවන්. එයට කමක්
නැහැ. ගුණදහමක් නොපුරා පරමාර්ථ රහිත ගමනක් අනන්ත දුක් විඳ විඳ යනවට වඩා
එක ආත්ම භවයකදී එක ගුණධර්මයක් අඩු නැතිව පුරාගන්න ලැබෙනවා නම් එය මොන
තරම් සැනසිල්ලක්ද? නිහඬව පැත්තකට වෙලා සිහිකරන්න. හිත සනසන බොහෝ දේ
බුදුසිරිතෙහි තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධම්ම විලාශය, චරිතාපදානය සිහිපත් වෙනවිට
හඳ සැනසෙනවා. බුදුගුණ ඇසුරෙන් නැවුම් වූ කුසල චේතනා පහළ වෙලයි ඒ
සංසිඳීම හිතට උපදින්නෙ. මේ ලෝකය සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජ ප්‍රශ්නවලට
බුද්ධ චරිතයෙන් මහඟු උපදේශ ලබාගන්න පුළුවන්. රාජ්‍යයත්වය අතහැරලා තමයි
සිද්ධාර්ථ කුමරා ගියේ. කිසිවෙකුට කළ නොහැකි අභීත ගමනක් එලෙස සිදුකළ
හැක්කේ සසර අනන්ත කාලයක් පාරමීදම් පිරූ බෝධිසත්ව උත්තමයෙකුටම පමණයි.
බුද්ධත්වය උදෙසා බෝසත් සිද්ධාර්ථයන් වහන්සේගේ ලෝකාර්ථ චර්යාව මහා
පුදුමාකාරයි. ලෝකේ බොහෝ අය දුක් විඳිනවා. සැපයක් කියලා හිතාගෙන දුක
තුළම වෙළෙනවා. ලොව අන් අය විඳින මානසික ප්‍රශ්න මහබෝසතාණන් වහන්සේ
ඉදිරියට වැටුනෙ පාරමිතා හැටියට. ඒ අත්දැකීම් තුළින් අධ්‍යාත්මික,ජීව
ශක්තියක් ලබාගෙන මුළු ලෝකයම සුවපත් කළා. මිනිස් සිත ගැඹුරට තේරුම් ගත්
බුදුන් වහන්සේ අසරණ අහිංසක අත්හළ අනාථ උදවියගෙ දුක් වේදනා හොඳින්
තේරුම් ගත්තා. තුන් ලෝකයේම කාටවත් නැති මහා කරුණා ගුණය ලොවපුරා අහස්
කුස පුරා පැතිර ගිය හැටි මහපුදුමයි. උන්වහන්සේ හැමදාම උදේ පාන්දර
අළුයම් වෙලාවෙ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක සත්වයා දිහා බලනවා.
දිනපතා වැඩසටහනේ පළමු කාරණය වුනේ එයයි.
ගොවි කම්කරුවන් කසල ශෝධකයන් කියල සමාජෙ කොන්කරපු ඇත්තො වහලුන් සැඩොලුන්
කියල සමාජෙ කොන්කරපු ඇත්තො ඔක්කොම දිහා බුදුරජාණන් වහන්සේ බැලුවෙ මහ
කරුණාවකින්. ලෝකයාට සේවයක් කරද්දී සමාජ මට්ටමින් කොන්කරන්න බැලුවෙ නෑ.
බුදුරජාණන් වහන්සෙ අන්න ඒක වටින තැනක්. මිනිස්සු කොටස් කොටස් වලට
බෙදුවෙ නෑ. තමන්ගෙයි කියල ලඟට ගත්තු කෙනෙක්වත් අනුන්ගෙයි කියල ඈත් කරපු
කෙනෙක්වත් නෑ. දාමරිකයන් සොරුන් සෝපාකයන් ගණිකාවන් නොමග ගිය අය
කරුණාවෙන් හදා ගත්ත. යහමග පෙන්වල සුවපත් කලා. උසස්කම් පහත්කම් උගත්කම
නූගත්කම් ඔය සමාජ අනන්තවත් තියෙන දරුණුකම් විෂමාචාරකම් ඒව ගැන
බුදුරජාණන් වහන්සේ තැකීමක් කළේ නෑ. මිනිස්සු නොමගට යන්නෙ නොදැනීම
මුලාව නිසා. ඔය ටික ඈත් කළාම එම නරක අය හොඳ අය වෙනව. එහෙම හිතල වරද
අයින් කළා. වරද කරපු අය හොඳ මිනිසුන් කළා.
ගුවන්විදුලි ධර්ම දේශනාවකි.
මතු සම්බන්ධයි |