ආදරණීය දුවේ පුතේ...
බත්තරමුල්ල, සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
මේ ළඟකදී අම්මා කෙනෙක් පැවසූ කතාවකින්ම ලිපිය පටන් ගන්න කැමතියි.
“ස්වාමීන් වහන්ස, අපේ ජීවිතයේ කවදාවත් අපට නොලැබුණු දේවල් අපේ දරුවන්ට
දෙනවා. ඒ වුණත් මේ දරුවන්ට අපි ගැන කිසිම හැඟීමක් නැහැ “ කඳුළු කැට ඇස්
දෙකේ පුරවාගෙන එහෙම පවසලා, දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙළුවේ,
කියාගන්නට බැරිතරමට මහ දුකක්, බරක් පපුවේ තදකරගෙන වගෙයි දැනුණේ.
මාතා කියල කියන්නේ, ‘මනේතීති මාතා, මමායත්තී මාතා ‘ මගේ මගේ කියමින්
දරුවන් රකින නිසයි. මාතා, මව, මෑණියන් ආදි විවිධ වචනවලින් හැඳින්වුවත්
ඒ අපගේ අම්මායි. තාත්තා අප්පච්චි , පියා ආදි බොහෝ වචනවලින් හැඳින්වුවත්
ඒ අපේ තාත්තායි. “රක්ඛතීති පිතා “ මගේ මගේ කියමින් , දරුවන් රකින
නිසායි පියා වුණේ. තමන්ගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා දැන ගත්ත
දවසේ පටන් ගුණබර අම්මා කෙනෙකුගේ හදවතේ හටගත්ත ආදරය, සෙහෙහස , කරුණාව හා
මෛත්‍රිය මෙපමණැයි කියා නිමකරන්නට බැහැ. තමන්ට දාව දරුවෙක් ලැබෙන්නට
සිටිනවා කියා දැනගත්ත දවසේ ගුණවන්ත තාත්තා කෙනෙකුගේ සිතේ ඇතිවෙන්නේත් ඒ
වගේම අපරිමිත සෙනෙහසක්. ඊට පස්සේ අම්මයි, තාත්තයි කියූ කළ දේ මේ ලෝකේ
හැම දරුවෙක්ම දැනගන්න ඕන. එතකොටයි, මවුපියන් බලාපොරොත්තු වන ආකාරයෙන්
තමන්ටත් වඩා ගුණ යහපත් වූ අතිජාත දරුවෙක් හැටියට, මේ ලෝකේ කොතැනක හෝ
සද්පුරුෂයෙක් ලෙස ජීවත්වෙන්නට හැකියාව ලැබෙන්නේ.
“අපිට නොපෙනුණ ලෝකය මගේ දරුවට කොහොම හරි පෙන්වලා දෙන්න ඕන. අපිට
නොලැබුණු සැප සම්පත්, උගත්කම් මොන දහ දුකක් විඳලා හරි අපේ දරුවට දෙන්න
ඕන. ඒ වුවත් මහමෙරක් වාගේ අපේ හිතට, හිසට දැනුණු දුක් වේදනා නම් මගේ
දරුවන්ට දෙන්නේ නැහැ. සිහිනෙන්වත් දරුවන්ට දුකක් ලැබෙන්න එපා “ එහෙම
හිතුවානම් ඒ ඔබේ අම්මයි, තාත්තයි. පුතේ , දුවේ ඔබ අවුරුදු දහය, දොළහේ
පටන් වඩාත් යාළුවෝ ගැන සිතාවි. යාළුවොත් එක්ක ආශ්‍රයට වැටේවි. හොඳට
හැදුණු වැඩුණු , පව් පින් හඳුනන යාළුවෝ ආශ්‍රය කරන එක කොයිතරම් හොඳද,
තවත් ටිකක් ලොකු මහත්වෙන කොට, සාමාන්‍යපෙළ, උසස්පෙළ වගේ පන්තිවලට එනකොට
රට ලෝකේ හඳුනාගන්න බොහෝම උත්සාහ කරාවි. වර්තමාන දියුණුයි කියන ලෝකේ
තිබෙන බොහෝ දේවලට සිත ඇදිලා යාවි. ඇහැ , කන, දිව පිනවන බොහෝ දේ වලටත්
සිත ඇදී යන්න පුළුවනි. ඇයි එහෙම වෙන්නේ? අද එළියට ආවම වැඩිපුරම අහන්න,
දකින්න ලැබෙන්නේ ඇහැ , කන, දිව රවටන දේවල්නේ. තරුණ වයසට පත්වෙනකොට හොඳට
අඳින්න පළඳින්න කැමතියි. එතන වරදක් නැහැ. නමුත් පිළිවෙළක් ,ක්‍රමයක්
තිබෙන්න ඕන. අපි බුදුදහමින් පෝෂණය වුණු පිරිසක්. වටිනා සංස්කෘතියක්
තිබෙනවා. තැනට සුදුසු ආකාරයට ඇඳුම් අඳීන්නට තරම් අවබෝධයක් හා හැදුණු
කමක් තිබීම හොඳයි. විහාරයට පැමිණෙන කොට අඳින පළඳින හැටි ඔබ හොඳටම
දන්නවා. අපේ දියණිවරු ඇඳුම් ඇඳීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන.
හිරි ඔතප් හෙවත් පවට, වැරැද්දට , අසම්මතයට ලජ්ජාව, බිය ඇතිවෙන්න ඕන.
ගුණවන්ත අම්මලා තාත්තලා ඔය ටික කියාල දේවි. සමහර දරුවෝ මවුපියන්ට
ඇහුම්කන් දෙනවා. ඒත් සමහර අය හිතාගෙන සිටින්නේ මම තමයි ඔක්කෝම දන්නේ
කියලා. සමහරවිට කියාවි, ඔය පරණ කාලේ, පරණ තාලේ ඒවා අදට ගැළපෙන්නේ නැහැ
කියලා. නැහැ පුතේ, දුවේ සමහර විට ඔබට වැරදිලා. යම් විටෙක අම්මා තාත්තා
ඔබ වගේ පරිගණකය ගැන, ජංගම දුරකතනේ ගැන එස්.එම්.එස්. ගැන දන්නේ නැතුව
ඇති. නමුත් හැබෑ ජීවිතය ගැන, හොඳ නරක ගැන අඩුම තරමේ මනුස්සකම ගැන හොඳ
අවබෝධයක් ඒ අයට තිබෙනවා. තමන්ට වැරදිලා මහ අමාරුවක වැටෙන තෙක් හෝ අම්මා
තාත්තා මියැදෙන තෙක් බලා සිටින්නට එපා ඔය ටික තේරුම් ගන්න. ඔබට මෙහෙම
කියන්න සිදුවේවි. “අපේ අම්මා තාත්තා මේවා කොහොම දැනගෙන හිටියද දන්නේ
නැහැ. “ එනමුත් ඒ ටික වැටහෙන විට ඔබ ප්‍රමාද නම්, පසුතැවීමක් විනා
වෙනයමක් ඉතිරිවෙන්නේ නැහැ.
මෙහෙම ලියන කොට දුවේ පුතේ යම් දරුවෙක් කියාවි, අපේ අම්මාගේ තාත්තාගේත්
අඩුපාඩු තිබෙනවා කියලා, අම්මා තාත්තා මෙහෙමයි කියලා. හැබෑවමයි. හොඳයි,
එහෙම අඩුපාඩු තිබෙනවානම්, ටිකෙන් ටික හදාගන්න උත්සාහ ගන්න පුළුවනි.
ධර්මයෙහි එය පැහැදිලි කළේ මෙහෙමයි. යම් මවුපියන්ගේ ජීවිතවල ශ්‍රද්ධා,
සීල, චාග, ප්‍රඥා ගුණ නොමැත්තේ නම්, සත්පුරුෂ දරුවන් එම ගුණයන්ට
මවුපියන් කැඳවාගෙන යායුතුයි. කිසිවිටෙකත්, මවුපියන්ට පරුෂ වචනයෙන්
බනින්නට හෝ පහරදෙන්නට හෝ ධර්මයට අනුවත් සදාචාරාත්මකවත් ඔබට අයිතියක්
නැහැ. සමහර මවුපියන්ගේ චරිතවල හදන්නට බැරි, වෙනස් කරන්නට අපහසු කර්මදෝෂ
තිබෙන්නට පුළුවනි. පාපි කර්ම දෝෂ ඔබ වෙනස් කරන්නට යෑමෙන් ඔබ බරපතළ
අකුසල් රැස් කරගත යුතු නැහැ.
ඔබට මෙහෙම හිතන්නට පුළුවන්ද? කොහොම වුවත් ඒ මා මෙලොවට බිහි කළ අම්මා,
තාත්තා. මේ ලෝකයේ බොහොමයක් මවුපියෝ වගේ, ජීවිතයේ මටත් මම නුඹට ආදරෙයි
කියලා මුලින්ම කිව්වේ මගේ අම්මයි, තාත්තයි . අඩුම තරමේ , පුංචිම කාලයේ
පටන්, දෑත දෙපය කැඩෙන්නට නොදී මාව ;ලාකු මහත් කළානේ. මොන විදියේ රස
මසවුළු වල රස පසු කලෙක මගේ දිවට දැනුණත්, මුලින්ම මගේ දිවට දැනුනේ
අම්මගේ කිරිවල රසයයි.අඩුම තරමේ ඒ ගුණයවත් මම මතකයේ තබාගන්නට ඕන .
මේ දහම් පුවත ජීවිතයේ කවදාවත් අමතක කරන්නට එපා. සීවලී මහ රහතන්
වහන්සේගේ අම්මා, සුප්පා වාසා දේවීන් සීවලී කුමරු උපදින්නට පෙර, එම දරු
ගැබ දරාගෙන සත් අවුරුදු, සත්මාසයකුත් දුක් වින්දා. දින සතක් ප්‍රසූත
වේදනාවෙන් දුක් වින්දා. එසේ බොහෝ දුක්විඳ දරුවා මෙලොවට බිහිකිරීමෙන්
පසු බුදුපාමොක් මහ සඟනට මහ දන් පිදුවා. එසේ දන් පිදූ දින මහත්
සොම්නසින් සිටි සුප්පාවාසවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ විචාළා.
“ සුප්පාවාසාවෙනි, තෙපි තවත් මෙබඳු පුතෙකු කැමැත්තෙහිද? “ ලොවේ හැම
ගුණබර අම්මාවරුන්ගේ මෙන් මේ දයාබර අම්මාගේත් පිළිතුර වූයේ කුමක්ද? “
භාග්‍යවතුන් වහන්ස, මම තවත් මෙ බඳු සත් පුතුන් කැමැත්තෙමි ‘ යි යන්නයි.
දරුවනේ, ගුණබර අම්මා කෙනෙකුගේ, ගුණබර අප්පච්චි කෙනෙකුගේ හදවත තේරුම්
ගන්නට පුළුවන්ද? . ගණන් කරන්නට හා මිට මොළවන්නට පුළුවන් මිල මුදල්
ලැබුණා වගේම නැතිවේවි. දිග පළල මනින්නට හැකි ඉඩම් කඩම් ලැබුණා වගේම
දාලා යන්නට වේවි. ඒ වුවත් මේ ලෝකයට ඔබ ගෙනා අම්මා තාත්තා මරණෙදි දාලා
යන්නට සිදු වූවා වුවත් ඔවුන් ලබාදුන් ජීවිත අවබෝධයත් සෙනෙහසත් ඔබ
සදාතනික යහපත වෙත යොමුකරනවා නොවේ ද?.
ඔබත් අම්මා කෙනෙක් වූ දවසට ඔබත් තාත්තා කෙනෙක් වූ දවසට, ඔබගේ අම්මගේ,
තාත්තාගේ වටිනාකම අවබෝධ වේවි. ඒත් අජාසත්ත කුමරා වගේ, තාත්තාට දස වධ
දීලා පිය සෙනෙහස තේරුම් ගන්නට තමාට දාව දරුවෙක් ලැබෙන තෙක් බලා
සිටින්නට එපා. මා මෙහෙම සඳහන් කරනවා වුවත් අපේ රටේත් මුළු ලෝකයේමත්
කොපමණ ගුණගරුක, සද්පුරුෂ, කළගුණ සලකන දරුවෝ සිටිනවාද? පුතේ, දුවේ ඔබත්
ඒ බෝධිසත්ව දරුවන් අතරද? එහෙම වෙන්න. හැමදාම එහෙම වෙන්න.”මේ වගේ
දරුවෙක් ලබන්නට මම සංසාර ගමනේ පින් කරලා තිබුණානේ ‘ මේ විදියට ගෙදරින්ම
ඔබට අහන්න ලැබේවි. |