Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටමස්ථානය – 4

මිරිසවැටි මහා සෑ රදුන්

ලංකා රාජ්‍ය එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා රාජවංශ කතාවේ ඔටුණු පලන් රජ වරු අතර විශිෂ්ටයෙකි. පූජාවලිය පවසන්නේ මේ මහා නරපතිඳුන් ලෝක ශාසනයට මවක බවයි. මහා වංශයට සහ පූජාවලියට අනුව දුටු ගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161–137) තම වසර 24 ක රාජ්‍ය කාලය තුළ විහාර අනූනවයක් කළ බව කියැවෙයි.

එවන් වූ මහී පාලකයාණන් විසින් කළ ප්‍රථම ස්තූපය මිරිසවැටිය චෛත්‍ය නිසා මෙය සුවිශේෂී ස්මාරකයකි. අටමස්ථානයෙන් එකක් වූ මිරිසවැටි චෛත්‍ය අනුරාධපුර ශුද්ධ භූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරින් පිහිටා තිබේ.

සොලීන්ට යටත්ව තිබූ අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ රාජභිෂේකයෙන් සත් දිනකට පසුව ඇරැඹුණු විහාර කර්මාන්තය නිමා කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. එය සිදු වී ඇත්තේ බුද්ධ වර්ෂ 385 දී පමණ ය.

කුඩා කල තම දෙමාපියන්ට වූ පොරොන්දුවක් පරිදි සංඝයා වහන්සේට නොදී රජතුමා කිසිවක් අනුභව නොකළේ ය. එහෙත් පෙර දිනක අමතක වීමකින් භික්‍ෂූන්ට නොදී මිරිස් වැටියක් (මෙය මිරිස් ව්‍යාංජනයක් විය හැක) අනුභව කළ නිසා තම හෘද සාක්‍ෂිය විසින් ම පමුණුවා ගත් දඬුවමට වන්දි ගෙවීමට රජතුමා මිරිසවැටිය චෛත්‍ය කළ බව ඉතිහාස ග්‍රන්ථයන්ට අනුව සනාථ කර ගත හැක.

දුටුගැමුණු රාජාභිෂේකය සිදු වී සත් දිනක් ඇවෑමෙන් රජතුමා සර්වඥ ධාතූන් සහිත තම කුන්තායුධය නොහොත් ජයකුන්තය පෙරටු කර ගනිමින් මහ පෙරහරින් අනුරපුර තිසා වැවට සම්ප්‍රාප්ත වූයේ ජල ක්‍රීඩාව පිණිස ය. ඒ අසළ එම ජයකුන්තය සෘජුව තබන ලද බවත් ජලස්නානයෙන් පසුව පසු ගමන් ඇරැඹීමේදී “රාජ පුරු- ෂයිනි ජය කුන්තය වඩම්මවව්” යැයි අණ කළ කල්හි එය එසවීමට හෝ සෙලවීමටවත් රාජපුරුෂයන්ට නොහැකි වූ බවත් පැවැසෙයි. මෙය ආශ්චර්යයකි. රැස් වූ සේනාවන් නෙක නෙක වූ සුවඳ මලින් ජයකුන්තයට පූජෝපහාර දැක් වූ පසුව කුන්තායුධය එසේම තිබෙන්නට හැර එය වටා චෛත්‍යයක් ගොඩනැඟුවේ පෙර කළ වරදට ද වන්දි ගෙවීමක් වශයෙනි. එම වන්දිය නම්, මිරිසවැටි මහා දා ගැබයි.

දඹදිව් පුරයෙන් ද අප මව්බිමෙන් ද වැඩම වූ ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේ සහ අනූ දහසක් භික්‍ෂුණීන් වහන්සේ ද පෙරටු කර අරහත් අජයෙන් බැබලුවා වූ පුණ්‍ය භූමියේ දී සත් දිනක් කළ මහා පුද සත්කාර මධ්‍යයේ මිරිසවැටිය නම් මහ දා ගැබ සඟ සතු කොට පූජා කළ බව වංශ කතාවල සඳහන් කර තිබේ.

මෙම දානමය පුණ්‍ය කර්මයට කළ පරිත්‍යාග සහ අනර්ඝ වස්තූන් හැර දහනව කෝටියක් කහවණු වැය කළ බව සඳහන් වෙයි. මෙහි මුල් ස්වරූපය අර්ධ කවාකාරය. එහි හතරැස් කොටුව හා ඡත්‍රය තිබුණ ද දේවතාකොටුව සහ කොත් කැරැල්ල චෛත්‍යයට එක් වී ඇත්තේ පසු කාලයකැදී ය.වොහාරතිස්ස (වර්ෂ 757 ) මෙහි නවකම් කළ බවත් පළමුවෙනි ගජබාහු (කි.ව. 112 – 134 ) සිට බොහෝ රජවරු චෛත්‍යයේ වර්ධනයට සහ පිළිසකර කිරීම් වලට තම අනුග්‍රහය දැක්වූ බවත් කියැවෙයි. පසු කලෙක සොලී ආක්‍රමණිකයන් කඩාබිඳ දැමූ චෛත්‍ය මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153-1186) රියන් 80 ක් (අඩි 120) උසට බැන්ද වූ බවත් පැවසෙ යි.

ඉතාම කලාත්මක කැටයම් වාහල්කඩ ආදියෙන් අලංකෘත වූ ස්තූපයේ මුල් ස්වරූපය පසුව එලැඹි නෙක විපත් සහ පිළිසකර කිරීම් ආදියේ දී විනාශ වී ඇති බවට සාධක හමු වී තිබේ. හෙන්රි පාකර්ගේ විස්තරයක සඳහන් වන්නේ ක්‍රි.ව.1873 වන විට මෙය වල් බිහි වී තිබූ බව ය.

1885 වසරේ දී එස්.එම්. බරෝස් යටතේ මිරිසවැටි චෛත්‍ය කැනීම් සිදු කෙරිණි.1888 වසරේ සියම් කමරකු පරිත්‍යාග කළ පවුම් 1000 ක මුදලින් ගොඩන් (1883 – 1890 ) ආණ්ඩුකාරයාගේ කාලයේ ස්තූපය පිළිසකර කරන ලදී. ‘යුරෝපීය කර්මාන්තකාරයන්ගේ අදහස් පරිදි කළ ප්‍රතිසංස්කරණයන් සතුටුදායක ලෙස නිම කිරීමට නුපුළුවන් වීම බෞද්ධයන්ට මහත් පාඩුවක්’ වූ බව වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව’ පොතේ සඳහන්ව තිබේ.

මෑත වකවානුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්තූපය පිළිසකර කළ නමුත් 1987 වසරේ දී එය කැබැලි වලට කැඩී මහ හඬ නංවමින් පුපුරා ගියේ ය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම නැවත ප්‍රතිසංස්කරණ කරන ලද වර්තමාන ස්තූපයේ උස අඩි 192 කි. විශ්කම්භය අඩි 141 කි.

දුටුගැමුණු නරෝත්තමයාණන් කළ ප්‍රථම ස්තූ®පය මෙයයි. අටමස්ථානයේ තවත් එක් පූජනීය වස්තුවක් වන්නේ ද මෙයයි. මිරිස් වැටියකට වන්දි ගෙවමින් බලවත් මිනිසකු සතු නිහතමානී ගුණය මොනවට පසස් කරලීමට දායක වූයේ ද මෙයයි. ජය කුන්තයෙන් සංකේතවත් කළ විජයග්‍රහණයේ බලය, ශ්‍රද්ධාවේ මහා ගුණයට පරිවර්තනය කළ ස්මාරකය ද මෙයයි. වියවුල් කොතෙක් පැමිණියද අදත් නොසැලෙමින් මිරිසවැටි සෑ රදුන් පුරාවිද්‍යාත්මක වටිනාකම අභිබවමින් සදාතනික ගුණ කඳක වටිනාකම පිළිබඳ පණිවිඩය අද ද එලෙස සන්නිවේදනය කරවන සුළු ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.