Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසුන බැබළ වූ මහා පඬිරුවන අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, ප්‍රවචන විශාරද, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය සාහිත්‍ය ශිරෝමනී, පරියන්තිධර විශාරද, සාහිත්‍යශූරී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි රාහුල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා (1) අපවත් වී වදාළහ.

අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ධර්ම විනයධර ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමක් වූහ.

සම්බුදු දහමේ ආරක්‍ෂාවට හා පෝෂණයට බොදු සාහිත කෙත පෝෂණය කරමින් අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන් විසින් පළ කළ ග්‍රන්ථ සංඛ්‍යාව අඩ සියය ඉක්මවති.

1919 දෙසැම්බර් 19 වන දා මාතර අත්තුඩාවේ දී උපත ලද උන්වහන්සේගේ දයාබර මව්පිය දෙපළ වූයේ ඩී.ජේ. හේවානාදුගල සහ ඩී.ජේ.එම්. අබේසේකර දම්පතීහු ය. කාලයාගේ ඇවෑමෙන් ඇටම්පොළ රතනපාල මා හිමියන් වෙතින් අත පොත් තැබූ කුඩා කුමරුවා නිසි වයසේ දී පාලටුවේ ගුණරතන විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. අත්තුඩාවේ සිරි රතනපාලාරාමයේ දී 1932 මැයි 20 වන දා බැදිගම පියරතන මාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට පත් විය.

පළමුව බෞද්ධෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා 1936 දී ගෝනගල සුධර්මාකර පිරිවෙනට ඇතුළත් වී පිරිවෙන්පති යගිරල ශ්‍රී ප්‍රඥානන්ද නාහිමියන් වෙතින් භාෂා ශාස්ත්‍ර හදාළ උන්වහන්සේ 1940 දී මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උපෝෂිත පුෂ්පාරාමයේ දී අධිසිල් ලැබූහ.

රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වූ උන්වහන්සේ ප්‍රවීණාචාර්යවරයකු වූ අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ලබා ගත්හ. අනතුරුව පිරිවෙන් කීපයකද සේවය කළහ.

1959 දී රජයේ ගුරුපත්වීමක් ලැබූ උන්වහන්සේ අම්බලන්ගොඩ දේවානන්ද මහ විදුහල ගොඩඋඩ මහ විදුහල සහ දික්වැල්ල විජිතමැදි විදුහල යන පාසල්වල සේවය කළහ.

අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියෝ අධ්‍යාපනයට, සාහිත්‍යයට කළ මෙහෙවර අගනේ ය. එමෙන්ම උන්වහන්සේගේ ශාසනික මෙහෙවරද අතිමහත්ය.

පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමියන් සමඟ ශ්‍රී රෝහණ සංඝ සභාව පිහිටුවීමෙහි ද උන්වහන්සේ ඇපකැප වූහ. එම පාර්ශ්වයේ අනුනායක ධුරයෙන් පිදුම් ලද උන්වහන්සේ කඹුරුපිටියේ වනරතන මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ.

දික්වැල්ල දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමාධිපතිව වැඩ විසූ අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියෝ අල්පේච්ඡයහ. නිරහංකාර වූහ.

කැලණි සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය පල්ලේගම සමිත හිමි, ශාස්ත්‍රපති මහගල්වැවේ විමල හිමි, මෑල්ලකැටිගොඩ සරණහිමි, ඌරුගමුවේ අස්සජි හිමි යන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ සසුනට දායාද කළ අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියෝ ගිහි පැවිදි හැම දෙනා අතර පි‍්‍රයශීලී වූහ. සිංහල භාෂා සාහිත්‍යයට උදාර යුග මෙහෙවරක් ඉටු කළ අත්තුඩාවේ රාහුල මහ නාහිමියන්ගේ අපවත්වීම සම්බුදු සසුනට බලවත් පාඩුවකි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.