Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ හැඳින නමදිමු තෙරුවන

තම සිත සහ කය සංවර කරගනිමින් කෙලෙස් තවන වීර්යයෙන් යුතුව අප්‍රමාදීව කටයුතු කරන්නෝ මෙකලද හිඟ නොවෙත්, බුදු හිමි දෙසූ නිවන් මඟ මනාව පිළිපදිතහොත් මේ සම්බුද්ධ ශාසනයේදීම නිර්වාණාවබෝධය ලැබීම නුවණැත්තන් හට අසීරු නොවේ.

පථව්‍යා එකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං
(ධම්මපදය - ලෝක වග්ගය)

ඉහත ගාථාවෙන් කියැවෙන්නේ සක්විති රජ වීමටත්, දෙව්ලොව යෑමටත්, ශක්‍ර දේවත්වය ලැබීමටත් වඩා සෝවාන් ඵලයෙහි පිහිටීම උතුම් බවයි.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කළේ යමකුට අනුකම්පා කරනවා නම්, මිතුරන් සහ ඥාතීන් ඇතුළු ඒ සියල්ලන් සෝතාපත්ති අංගවල සමාදන් කරවිය යුතු බවය.

ධර්ම මාර්ගයේ ගමන් කරන මෙබඳු සියල්ලන්ටම නිතර සිහි කිරීමෙන් බොහෝ ආනිශංස ලැබෙන්නක් වනුයේ ත්‍රිවිධ රත්නයේ මහා ගුණ සමුදායයි. ඊට උපකාරවත් වනු සඳහා තෙරුවන් ගුණ අපට හැකි පමණ පිඬු කොට මෙසේ දක්වමු.

බුද්ධරත්නයේ ගුණ

1. අරහං ගුණය
සත්වයා සංසාරයේ භවයන්හි මැරී මැරී ඉපදීමට මූලික හේතුව වන තණ්හාව බුදුරජාණන් වහන්සේගේ සිතෙහි හට නොගන්නා හෙයින්, රහසින්වත් පව් නොකරන සේක. රහසින්වත් පව්නොකරන නිසා, සියලු දෙව්, බඹ , මිනිසුන්ගේ වන්දනාවන්ට සුදුසු වන සේක. ඉහළම පූජාවන් සඳහා සුදුසු වන නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

2. සම්මා සම්බුද්ධ ගුණය
දත යුතු සියලු ලෝක සත්‍යයන්, දුක්ඛ , සමුදය, නිරෝධ සහ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන් පරෝපදේශ නොමැතිව, තමන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්‍ෂ සතරක් පාරමී වශයෙන් ගුණ ධර්ම පුරා ලබා ගන්නා ලද කුසල ශක්තියේ බලයෙන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළහෙයින් සම්මා සම්බුද්ධ වන සේක.

3. විජ්ජාචරණ සම්පන්න ගුණය
බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සහ පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වන හෙයින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

4. සුගත ගුණය - නිර්වාණය නමැති ක්ෂේම භූමිය වෙත ආර්ය මාර්ගයෙහි ගමන් කළ හෙයින් ද අන්‍යයන් නිවනට පමුණුවන හෙයින් ද දීපංකර පාද මූලයේ පටන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම දක්වා අවශ්‍ය සමතිස් පෙරුම් දම් සාරාසංඛ්‍යකල්ප ලක්‍ෂයක් අන් කිසිදු සත්වයකුට සම කළ නොහැකි අයුරින් සම්පූර්ණ කළ හෙයින්ද සුන්දර වූ ගමන් ඇත්තේ සුගත වන සේක.

5. ලෝකවිදු ගුණය - රූප,වේදනා, සඤ්ඤා , සංස්කාර, විඤ්ඤාණ යන සත්ව ලෝකයද, සියලු ලෝක සත්වයන් සංස්කාර වශයෙන් කුසල් අකුසල් රැස් කරමින් තම ඉදිරි ජීවිත සකස් කරගන්නා ආකාරයද සියලු අවකාශ ලෝකයන් පිළිබඳ ද අසීමිත ඥානයක් ඇති බැවින් ලෝක විදු නම් වන සේක.

6. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණය - අනුත්තර යනු සමකළ නොහැක යන අර්ථයයි, සීලයෙන් දමනය කළ යුතු පුද්ගලයන් සීලයෙන්ද, සමාධියෙන් දමනය කළ යුතු පුද්ගලයන් තමන් වහන්සේගේ සමාධිය උපයෝගි කොටගෙනද ප්‍රඥාවෙන් දමනය කළ යුතු පුද්ගලයන් තමන් වහන්සේගේ ප්‍රඥාව උපයෝගි කොටද දමනය කළ හෙයින් සහ එසේම දමනය කළ යුතු වූවන් දමනය කිරීම අන් කිසිවකුට සම කළ නොහැකි අයුරින් කළ හැකි නිසාද අනුත්තරො පුරිස ධම්ම සාරථී නම් වන සේක.

7.සත්ථාදේව මනුස්සානං ගුණය
සත්වයාගේ මෙලොව සුබ සිද්ධිය පිණිසත් පරලොව සුබ සිද්ධිය පිණිසත් නිර්වාණ පරමාර්ථය පිණිසත් සීලය සමාධිය සහ ප්‍රඥාව උපකාර වන සැටි, ඒ ඒ සත්වයන්ට අනුරූපව අනුශාසනා කරන හෙයින්ද සීලස්කන්ධයෙන් තමන් වහන්සේ ඉතා උසස් හෙයින්ද සත්ථා දේව මනුස්සානං වන සේක.

8. බුද්ධ ගුණය
දුක,දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය දැනීම සම්මා සම්බෝධි ඤාණය ලැබීමත් සමඟම සිදු වූ අතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන්‍යයන්ට අවබෝධ කරවීමේ ශක්තිය ඇති බව බුද්ධ ගුණයෙන් ප්‍රකාශිතයි.

9. භගවා ගුණය
රාගය, ද්වේෂය, මෝහය සහමුලින් නැති කළ හෙයින් ද, ආශාවන් නිසා හට ගන්නා අකුසල් හා කුසල් එකතු කිරීමේ ශක්තිය නැති කළ හෙයින් ද, දස පාරමී තිස් ආකාරයකට පුරා ලද පුණ්‍ය භාග්‍යයෙන් සමන්විත වන හෙයින් ද, තැනට සුදුසු ධර්ම ඒ මොහොතේම ප්‍රකාශ කිරීම යන ධර්ම භාග්‍යයෙන්ද කීර්තිය හා ලැබීමේ භාග්‍ය වන යස භාග්‍යයෙන් සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ඇති රූප භාග්‍යයෙන් ආදි වූ අපමණක් භාග්‍යයන්ගෙන් සමන්විත වන හෙයින් භගවා නම් වන සේක.

සද්ධර්ම රත්නයේ ගුණ

1. ස්වාක්ඛාත ගුණය
බුදුරජාණන් වහන්සේ විසින් පිරිසුදු බ්‍රහ්ම චරියාව විස්තර කරන සූත්‍ර, විනය සහ අභිධර්මය පිටක වශයෙන්ද සීල, සමාධි, පඤ්ඤා වශයෙන්ද සම්මා සම්බෝධිය, පසේ බුදු බව සහ රහත් බව ලැබීමට අවශ්‍ය ධර්ම දේශනා කරන ලද්දේය. මධ්‍යම ප්‍රතිපදාව පදනම් කොට සත්වයාගේ භව ගමන නවතාලීමට හේතුවන ලෝකෝත්තර ධර්මය මනා කොට දේශනා කළ හෙයින් ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතය

2. සන්දිට්ඨික ගුණය
බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය නැවත ඉපදීම නැවැත්වීමට අවශ්‍ය ආර්ය මාර්ගයේ ගමන් කොට තමා විසින්ම තමාගේ ඥාන ශක්තියෙන්ම අවබෝධ කරගනු ලැබිය යුතුයයි යන අර්ථයෙන් සන්දිට්ඨිකය. එසේම මෙම ලෝකෝත්තර ධර්මය භාවනා ප්‍රතිවේද වශයෙන් පුහුණු කරන තැනැත්තා සසර භය නවත්වාලයි යන අර්ථයෙන්ද සන්දිට්ඨිකය.

3. අකාලික ගුණය
සෝවාන් ආදි සතර මාර්ග සද්ධර්මය කල් නොයවාම ඵලය උපදවන බැවින් අකාලික නම් වන සේක.

4. ඒහි පස්සික ගුණය - බුදුරජාණන් වහන්සේ භවය නැවත හට නොගැනීම සඳහා දෙසූ ධර්මයේ සැඟවූ රහස් කිසිවක් නැත්තේය. උන්වහන්සේ විසින් ලෝකයාට අනුකම්පාවෙන් දේශිත ධර්මයෙහි මෙලොව සැප ලබන ආකාරයත්, පරලොව සැප ලබන ආකාරයත්, නිවන් සැප ලබන ආකාරයත් පැහැදිලිව දක්වා ඇත. ශ්‍රී සද්ධර්මයේ දැක්වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මකකොට ධර්මයේ සත්‍යතාව වටහා ගන්නා ලෙස දැක්වීම ඒහි පස්සික ගුණයයි.

5. ඕපනයිකෝ ගුණය - බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී‍්‍ර සද්ධර්මයෙහි ලෝක සත්වයන් සතර අපා දුකින් ගලවා,දේව මනුෂ්‍ය බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන මඟ හා නැවත උප්පත්තියක් නොලබන මඟ පිළිවෙළින් ඔප්නංවන ක්‍රමය දැක්වෙන නිසා ඕපනයිකය. හැඳි වස්ත්‍රය හෝ හිස හෝ ගිනිගත්තද ඒ ගැන නොසලකා වුවත් භාවනා වශයෙන් සිත තුළට පමුණුවාගත යුතු බැවින්ද ඕපනයිකය.

6. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහි ගුණය
නැවත හට ගැනීම නැවත්වීමේ ක්‍රමය සත්වයා තමන් විසින්ම අවබෝධ කරගනු ලැබිය යුතුය. ඒ මඟ දත යුතුය. වඩා වර්ධනය කළ යුතුය. අනෙකකුගේ මාර්ග ඵල තමන්ට නොලැබේ. මෙම ධර්මය ඥානවන්තයන් විසින් තම තමා විසින්ම පුරුදු පුහුණු කරනු ලැබිය යුතුය අවබෝධ කර ගනු ලැබිය යුතුය යන අරුත පච්චත්තං වේද තබ්බෝ විඤ්ඤුහී යනුවෙන් දැක්වේ.

සංඝ රත්නයේ ගුණ

1. සුපටිපන්න ගුණය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන සංඝරත්නය ධර්මානුධර්මයන්ට අනුකූ®ලව සුචරිත ප්‍රතිපත්ති අනුව ජීවිත ගත කරන හෙයින් සුපටිපන්නය.

2. උජුපටිපන්න ගුණය
බුදුරජාණන් වහන්සේගේ අවවාද, අනුශාසනා වංක ගති පැවැතුම් වලින් තොරව, ඍජු ගුණයෙන් හා අප්‍රමාදීව පිළිපදින හෙයින් මහා සංඝරත්නය උජුපටිපන්නය.

3. ඥායපටිපන්නෝ ගුණය
ඉහත ගුණයෙන් සමන්විත වූ භික්‍ෂූන් වහන්සේ නියම භික්‍ෂූ ප්‍රතිපදාවට පැමිණි නිසාද මැඳුම් පිළිවෙත අනුගමනය කරන නිසාද නැවත ඉපදීම නැති කිරීමට අවශ්‍ය කාරණා දන්නා හෙයින්ද ඥානවන්තයෙක් වෙයි. නිවන් දොරටුව විවෘතකර ගැනීමට අවශ්‍ය ඥානය ඉහත ගුණ ධර්ම දියුණු කර ගැනීමෙන් ලබා ගනී. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ සංඝරත්නය ඥාය පටිපන්නවේ.

4. සාමීචිපටිපන්නෝ ගුණය
බුදුරජාණන් වහන්සේගේ සංඝරත්නය ඉහත කරුණුවලට හරියාකාරව අනුගතවීම නිසා නිවන් ලබාගැනීමේ මඟට පැමිණි අය වනු ඇත. ජීවිතයේ, අනිත්‍ය, දුක්ඛ අනාත්මතාව ගැන සොයන ගැඹුරු නුවණක් මෙම සංඝරත්නය සතුවේ. එම නිසා සංඝරත්නය නිවන් මාර්ගයටම පැමිණ වාසය කරන්නේ වෙයි. ගරු බුහුමන් ලැබීමට සුදුසු මේ මහා සංඝරත්නය සාමිචී පටිපන්න වේ.

5. ආහුනෙය්‍ය ගුණය
සෝවාන් මාර්ගය ඵලය, සකෘදාගාමි මාර්ගය ඵලය, අනාගාමි මාර්ගය ඵලය, අරහත් මාර්ගය ඵලය යනුවෙන් යුගළ වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අට දෙනෙක් වූ භාග්‍යවතුන් වහන්සේගේ මහා සංඝරත්නය සැදැහැයෙන් දුර සිට ගෙනවුත් පිරිනමන සිවුරු, ආහාරපාන, සේනාසන සහ බෙහෙත් යන සිවුපසය ලැබීමට සුදුසු හෙයින්ද මේ ආකාර පූජා මහත් ඵල මහානිශංස බවට පත්වෙන හෙයින්ද ආහුනෙය්‍ය නම් වන සේක.

6. පාහුනෙය්‍ය ගුණය
විශේෂයෙන් සකස් කරගත් මහ දන් භික්ෂූන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් පූජා කිරීමට සුදුසු බව පාහුනෙය්‍ය ගුණයෙන් ප්‍රකාශිතයි.

7. දක්ඛිනෙය්‍ය ගුණය
කම්ඵල අදහා දෙන සියලු දාන වස්තු පූජා කිරීමට සුදුසු වන අතර සමූහ වශයෙන් නිවෙස්වලට ආරාධනා කොට දානය පූජා කිරීමට සුදුසුවේය යන අරුතයෙන් සහ එම දන් මහත්ඵල මහානිශංස වන්නේය යන අර්ථයෙන්ද මහා සංඝරත්නය දක්ඛිනෙය්‍ය නම් වේ.

8: අංජලිකරණෙය්‍ය ගුණය - භාග්‍යවතුන් වහන්සේගේ මහා සංඝරත්නය සියලු ලෝකයා විසින් පසඟ පිහිටුවා කරනු ලබන වන්දනා මාන ලැබීමට සුදුසු බව අංජලිකරණෙය්‍ය ගුණයෙන් දැක් වේ.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ගුණය
මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලෝකෝත්තර ශ්‍රී ධර්මය ලෝකයාට දේශනා කරන හෙයින්ද දානාදි පින්කම් කිරීමට පින්කෙතක් බඳුහෙයින්ද අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං නම් වන සේක.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.