Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - ලංකා ශාසන ඉතිහාසයෙහි ඉතා සුවිශේෂි පුවතක් වංශකතාවල මෙසේ සඳහන් වෙයි. මේ ප්‍රකාශය ඇතුළත් එම පුවත ගැන විස්තරයක් සපයන්න.

‘අයං බුද්ධංච ධම්මංච සරණං ගතො උපාසකත්තං - දෙසෙසිං සඛ්‍ය පුත්තකස්ස සාසනෙත්වම්පිමානි රතනානි උත්තමානී නරුත්තම චිත්තං පසාදයත් වාන සද්ධාය සරණංවජ’

මම තෙරුවන් සරණ යමි. බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමයාණනි, ඔබ ද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න.

පිළිතුර - අශෝක මහ රජතුමන් විසින් මසකට පමණ කලින් ලක් රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය, මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිසේ කාර්යභාරය පිළිබඳ කළ පෙර වදනක් ලෙස සැලකිය හැකිය.

ප්‍රශ්නය - සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට සංචාරය කළේය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට පත්කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද?

පිළිතුර - වලිසිංහ හරිස්චන්ද්‍රතුමා. ඔහුට ජාතියේ උපහාරය පිණිස අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය නම්කොට ඇත.

ප්‍රශ්නය - ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් සාංචි හා හාරූත් කැටයම්වල සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. ඒ සඳහා කලාකරුවන් යොදාගත් සංකේත කවරේදැයි පැහැදිලි කරන්න.

පිළිතුර - සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ් පරිනිර්වාණයෙන් ශ්‍රාවක පිරිස අතර දොම්නස් සිතිවිලි ජනිත වීම නිසා උන්වහන්සේ නියෝජනය වීම සඳහා සංකේත භාවිතා විය.

දාගැබ් වහන්සේ හෙවත් වෛත්‍ය, බෝධින් වහන්සේ සහ පිළිම වහන්සේ යන අංග තුන සංකේත වශයෙන් භාවිත කළහ.

ප්‍රශ්නය - යුරෝපීයයන් තමන් උරුමකරගත් ආගම තම වැඩිහිටි වියේහි දී අතහැර දමා බුදු සමය වෙත ඇදී ඒමට ඔවුනට අතිශය ආකර්ශනීය වූ තාර්තික වු හේතු තිබෙන්නට පුළුවන. එසේ බුදු සමය වෙත අකාර්ශනීය වූ සමහර ඉහළ අතිශය ප්‍රසිද්ධියට පත් වූ අයයි.

ශ්‍රී ලාංකිකයන් මෙන් පුද පූජා පිළිබඳ විශ්වාසය වාසයකින් තොර ව ඔවුන් බුදුසමය වෙත ආකර්ශනීය වීමට හේතු පැහැදිලි කරන්න.

පිළිතුර - ලන්ඩන් විහාරාධිපති මැදගම ශ්‍රී‍්‍ර වජිරාඥාණ නාහිමි අභිනන්දන ග්‍රන්ථයේ මහාචාර්ය කේ. එන්.ඕ. ධර්මදාස මහතා මෙම ප්‍රශ්නයට ලියූ පිළිතුරකි මේ.

බටහිර විද්වතුන් තුළ බුදුසමය ජන විශ්වාසයන් අධිවාසනයෙන් සැලකීම හෙවත් සහන ශීලිත්වය බටහිර ලෝකයේ ඊශ්වරවාදී හෙවත් සර්වබලධාරි දෙවි කෙනෙකු ගේ සර්වාධිපත්‍ය පූර්ණ විශ්වාසය තැබූ ආගම් ගැන පමණක් දැන සිටි ඔවුනට බුදු සමයේ එන සහනශීලී දර්ශනය අමුතු ම අත්දැකීමක් වූ බව පෙනේ.

තවද යුරෝපීය ජනයා දාහත්වන දහ අටවන සියවස්හි අති දරුණු ම මනුෂ්‍ය ඝාතන යුද්ධ කිහිපයක් තම තමන් අතර යෙදුනාහ. එසේම පසළොස්වක සියවසින් පසුව ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය, වැනි රටවල යටත් විජිතයන් පිහිටුවාගෙන ඒ ඒ රටවල පැවැති ආගම් වෙනුවට තමන් අදහන ... අන්‍ය ආගම් ගැන කනස්සල්ලට පත් යුරෝපීයෝ බුදු සමයෙහි එන මානව හිතවාදී සහනසීලි ආකල්පය මහත් සේ ආකර්ශණීය වූහ. සුප්‍රකට දාර්ශනිකයෙකු වූ බර්ටර්න්ඩ් රසල් (1872 - 1970) විසින් මෙසේ කියනු ලැබ තිබේ.

ඉතිහාසයෙහි දක්නා ලැබෙන ශ්‍රේෂ්ඨ ආගම් අතුරෙන් මගේ කැමැත්ත බුදු සමය වෙතට ය කුමක් හෙයින් එහි මුල් ස්වරූපයෙහි දී අන්‍ය පීඩනය අඩුවෙන් දැකිය හැකි බැවිනි.

ප්‍රශ්නය - තථාගතයන් වහන්සේ ගොඩනැගූ සමාජවාදී ප්‍රජාතන්ත්‍රික සමාජය නම් සංඝ සංස්ථාවයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක් ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ෂනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් විමසීමට ලක් කරන්න.

පිළිතුර - සංඝ යනු සාමුහිකත්ව යයි. සාංඝික ක්‍රමය යනු සමුහයාට පවරන අයිතියයි. සංඝ යන පොදු නාමයෙන් හඳුන්වන මෙහි භික්ෂු - භික්ෂූණී යනුවෙන් කොටස් දෙකකි. සංඝ සාමාජිකත්වය ලබා ගැනීමට විශේෂිත කිහිප දෙනෙකුට හැර ඕනෑම පුද්ගලයෙකුට වාරණ කිසිවක් නැත. විවිධ සමාජ කරුණු සැලකිල්ලට ගෙන විශේෂිත පුද්්ගලයන් තිස් නව දෙනෙකුට ඊට ඇතුළත් වීමට අවස්ථාව ලබාදී නොමැත. එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ. ඒ අයට ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරතවීමට කායික හා මානසික වශයෙන් යහපත් තත්ත්වයක් නොමැතිවීම නිසා ගත් පොදු තීරණයකි.

බුදුරදුන් ආරම්භ කළ ශාසනය විධිමත් සංවිධානයකි. එහි සෑම ඉරියව්වක් ම විනයානුකූ®ල වී පැවැත්විය යුතු වේ. සාමාජිකයන් බඳවා ගැනීමෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග හා ඔවුන් ගේ සුදුසුකම් ද ඔවුන් ස්ථිර සාමාජිකයන් බවට පත්කර ගැනීමෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ද විනය පිටකයේ දක්වා ඇත.

දිනක් ආනන්ද හිමියන් වහන්සේ පිරිසක් සමග ‘සොබ්බ’ නම් ස්ථානයට වඩින විට එහි විසූ ‘සන්දක’ පිරිවැජියා සිය අතවැසියන් සමඟ කොක් හඬලමින් සිනාසෙමින් නොයෙකුත් අවිචාරශීලි කතාවල යෙදෙමින් ඉදිරියට එද්දී සන්දක පිරිවැජියා තම පිරිසට මෙසේ පැවසුවේය. ‘කෑ ගහන්න එපා. සිනාසෙන්න එපා. නිශ්ශබ්ද වන්න. ශ්‍රමණ බවත් ගෞතමයන් ගේ ශ්‍රාවකයන් සමඟ ආනන්ද තෙරහු පැමිණෙති. ඒ තෙරවරු නිශ්ශබ්ද බව, ශාන්ත බවට, විනීත බවට බෙහෙවින් කැමැති අය වෙතියි’ යනුවෙනි.

සංඝ ශාසනය, සංඝයා විසින් සංඝයා සඳහා ඇති කර ගැනුණු, සංඝයාගේ ම පාලන ක්‍රමයකි. වැරැදි කරන්නන්ට දඬුවම් දීමේ ක්‍රම ද වඩාත් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණවලින් යුක්ත ය. මානුෂික ද වේ. සාධාරණීකරණයෙන් යුක්ත ය. දඬුවම ඒක පුද්ගල අහිමතය මත සිදු නොවේ. චෝදනාව වෝධක වශයෙන් පැහැදිලිව ම සාධක මගින් තහවුරු කරනතුරු - චූදිතයා නිදහස් පුද්ගලයෙකි.

ප්‍රශ්නය - නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම ප්‍රචාරය කිරීම, බෞද්ධයන් ගේ සදාතනික ප්‍රතිපත්තියයි. බුද්ධ චරිතයෙහි සිදුවීම් පසුබිම් කොට ගෙන මෙම බෞද්ධ පිළිවෙත අගය කරන්න.

පිළිතුර - සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂූ තම බුදුරජාණන් වහන්සේ තමන්ට එර්දි ප්‍රතිහාර්ය නොපෙන්වන නිසාත් ලෝකෝත්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවේ දී තථාගතයන් වහන්සේ සුනක්ඛත්ත කැඳවා මෙසේ පැවසූහ.

‘සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න’ කියා මම ඔබට කීවෙම්ද? ‘නැත ස්වාමිනි’

සුනක්ඛත්ත - මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි කියා ඔබ මට කීයෙහි ද? ‘නැත ස්වාමිනි’.

සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේනම් දැන්මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කොතරම් අඥාන සාවද්‍ය කියමනද්ද?

මෙයින් පැහැදිලි වන්නේ යම් යම් ප්‍රතිඥා දීමෙන් (වර්තමානයේ ඇතැම් අන්තවාදීන් මෙන්) ධර්ම සමාදානයට පුද්ගලයන් පොළඹවා ගැනීමක් බුදු දහමෙහි නොමැති බවයි. මිනිසා ගේ (උපසමාය) ව්‍යාපසමය (අභිඥාය) අවබෝධය (සම්බෝධාය) සම්බුද්ධත්වය - (නිබ්බාණය) නිර්වාණය සඳහා (අක්ඛාතරෝ තථාගතා) මග දැක්වීම, තථාගතයන් වහන්සේ ගේ කාර්යයි. එම නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම ප්‍රචාරය කිරීම බෞද්ධයන් ගේ් සදාතනික පිළිවෙත වී තිබේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.