Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හදවත සනසන සදහම් සිසිලස

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන සතියේ අජපාල නුග රුක මුල වැඩ හිඳ ගුරු ඇසුරක් නොමැතිව ජීවත්වීම නුසුදුසුය. එබැවින් තමා කවරකු ගුරුතන්හි තබා ගනිම්දැයි, දිවැසින් බැලූසේක. ස්වකීය ගුරුවරයා වශයෙන් සැලකීමට යෝග්‍ය පුද්ගලයකු නොපෙනිණ. ඒ අනුව තමා දැඩි දුක් කන්දරාවක් මැද, අපමණ වෙහෙසක් දරා, අනන්ත වූ ගුණය සපුරා අවබෝධ කර ගත් උතුම් ධර්මයම ගුරුතන්හි තබා ගැනීමට උන්වහන්සේ තීරණය කළ සේක.

බරණැස ඉසිපතනයට වැඩ, තමන් වහන්සේ අවබෝධ කර ගත් ධර්මය අන්තර්ගතකොට, දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කරමින් ධර්මය දේශනා කිරීමට එළැඹුණු සේක. ජීවිත කාලය පුරාම ලෝ සතුන් සසර සයුරෙන් එතෙර කරවීමට දහම් දෙසූ සේක. පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවේදී, උන් වහන්සේගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක, ශාස්තෘවරයා වන්නේයැයි භික්ෂු සංඝයා අමතා දේශනා කර වදාළහ. මෙයින්ම ධර්ම රත්නයේ ඇති උතුම් බව හා ශ්‍රේෂ්ඨත්වය අපට වටහා ගත හැකිය.

ඉතා දුෂ්කර ක්‍රියා මාර්ගයක් ඔස්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයේ සුවිශේෂී ලක්ෂණ සයක් වන බව බුදුන් වහන්සේ පහදා වදාළහ. එම ගුණ සය අප වන්දනා කරන අවස්ථාවේ දහම් ගුණ සිහි කරන ගාථාවෙහි අන්තර්ගතව පවතී.

ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො
එහිපස්සිකො ඕපනයිකො පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි ‘ ති

බෞද්ධයෝ වන්දනා කරන සෑම අවස්ථාවකම මෙම ගුණ සිහිකර ධර්ම රත්නය වන්දනා කරති. ධම්මානුස්සති භාවනාවේ යෙදෙති. විපත් කරදර දුරු කර ගැනීම උදෙසා ධජග්ග සුත්‍ර දේශනාවේ උපදෙස් ප්‍රකාර දහම් ගුණ සිහි කරති. දහම් ගුණ සිහි කිරීම මෙන්ම ධර්මයේ උතුම්බව හා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීමද දහමට අනුව කටයුතු කිරීමද බෞද්ධකමේ ලක්ෂණයකි.

ස්වාක්ඛාත ගුණය

භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ධර්මයෙහි කිසිම ඌණතාවක් නැති අතර, එහි මුල, මැද, අග එකසේ අර්ථවත්ය. ඉන් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහම් කොටස් ඉතා ක්‍රමවත්ව ලොවට පහදා දෙනු ලැබ ඇත. කුමන අන්දමේ විමර්ශනයක් කළත් එහි ඌණතාවක් දොසක්, අඩුපාඩුවක් දැක්වීමට නැත. කළ හැකි කිසිම විවේචනයක් නැත. මෙය ධර්මයේ අන්තර්ගත ස්වාක්ඛාත ගුණයයි.

සන්දිට්ඨික ගුණය

මෙම ශ්‍රේෂ්ඨ වූ ධර්මය තමා විසින්ම දැකිය යුතුය. අවබෝධ කර ගත යුතුය. ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය යුතුය. වර්ණ ගැන්වූ උපැස් යුවළක් පැළැඳ බලන තැනැත්තාට යම් දෙයක නියම වර්ණය හඳුනාගත නොහැක්කාක් මෙන්, වැරැදි දෘෂ්ඨි කෝණයකින් හෝ මිථ්‍යාදෘෂ්ඨී ගුණයකින් ධර්මය දෙස බැලීමෙන් එහි තතු මනාව අවබෝධ කර ගත නොහැකි වේ. ප්‍රතිපත්ති පුරමින් හා ධර්මානුකූ®ලව හැසිරෙමින් ගුණධර්ම පිරීම අවශ්‍ය වේ. ධර්මය දකින්නා මා දකින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර වදාරණු ලැබ ඇත්තේ මෙකී සන්දිට්ඨික ගුණයෙහි ඇති වටිනාකමය.

අකාලික ගුණය

භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සනාතනිකය. එය කලින් කල වෙනස් වන්නක් නොවේ. එසේ වූ එම ධර්මය මනාව පිළිපැදීම තුළින් වහ වහා යහපත් ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. රාගාදී කෙලෙසුන් නසා සිත තුළ මානසික සුවය ජනිත කරවන අතර, සමාජයෙන් කිත් පැසසුම් නොමදව ලැබෙනු ඇත.

ඒහිපස්සික ගුණය

ඕනෑම කෙනකුට ධර්මය දෙස බලා සිය නුවණින් නිරීක්‍ෂණය කළ හැකිය .අවබෝධ කර ගත හැකිය. සිත පහදවා ගත හැකිය. තම දිවි පැවැත්මට සම්බන්ධ කර ගනිමින් යහපත් ප්‍රතිඵල ලඟා කර ගත හැකිය. මේ නිසා ‘ එන්න ධර්මය දෙස බලන්න’ යනුවෙන් ඕනෑම කෙනකුට දැකීමට සැලැස්විය හැකිය.

ඕපනයික ගුණය

භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය අරමුණු කොට ගෙන සිත වැඩීම කළ හැකිය. එසේ ප්‍රගුණ කළ ධර්මය ජීවිතයට යහපතක්ම සලසමින් සෝවාන් ආදි මාර්ගඵල අවසන නිවනට ඍජුවම මග පාදයි.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි

සසර සියලු දුක් නසා නිවන අවබෝධ කර ගැනීම උදෙසා එක් එක් පුද්ගලයා පෞද්ගලිකව තම තමන් විසින්ම මනාවූ ධර්මය අවබෝධ කර ගත යුතුවේ. ස්වකීය ආදරණීය මවුපියන් අවබෝධ කර ගත් ධර්මය පිළිසරණ කොට ගෙන දූ දරුවනට නිවන ලැබිය නොහැකිය. එසේම ආදරණීය දූ දරුවන් අවබෝධ කර ගත් ධර්මය පිළිසරණ කොටගෙන මවුපියන්ට නිවන ලැබිය නොහැකිය. ධර්මයේ ඇති මෙම ගුණය මැනැවින් අවබෝධ කර ගෙන, එක් එක් තැනැත්තා පෞද්ගලිකව නිවන උදෙසා ක්‍රියා කළ යුතුවේ.

මෙසේ වූ ශ්‍රේෂ්ඨ ධර්මය බෞද්ධයාට ඇති උතුම්ම වස්තුවකි. එම උතුම් වස්තුව තමන් වෙත පෞද්ගලිකව ළඟා කර ගෙන සසර දුක් නසා, නිවන ලබා ගැනීම උදෙසා ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීම අවශ්‍යය. ඊට අදාළව ධර්ම ශ්‍රවණය ධර්ම පොත්පත් කියැවීම ඇතුළු ධර්මය උගෙනීම් කටයුතු ක්‍රියාත්මක කළ යුතුය. ඒ පර්යාප්ත යනුවෙන් හැඳින්වේ.

ප්‍රගුණ කළ ධර්මය පිළිපැදීම හා ඒ අනුව පිළිවෙත් පුරමින් ධර්මානුකූ®ලව ක්‍රියාත්මකවීම, ප්‍රතිපත්ති යනුවෙන් වේ. කය, වචනය, හික්මවා ගනිමින් සංවරවීමත්, භාවනා කිරීමත්, නුවණ දියුණු කර ගැනීමත් මින් බලාපොරොත්තුවේ. ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ධර්මානුකූ®ලව ජීවිතය හැඩ ගස්වා ගැනීම් උගත් ධර්මයෙන් ලැබිය හැකි උතුම් ඵලයයි. ප්‍රතිපත්තිවලින් පරිපූර්ණව, ධර්මානුකූ®ලව ජීවිතය හැඩගස්වා ගෙන උගත් ධර්මයෙන් උපරිම ඵල නෙලා ගැනීම ප්‍රඥාවන්තයාගේ ස්වභාවයි. ප්‍රතිපත්ති පුරමින් ධර්මය ක්‍රියාවට පරිවර්තනය නොකරන්නේ නම් උගත් ධර්මයෙන් ලැබිය යුතු ප්‍රතිඵලය අත් නොවේ. ධර්මය එදිනෙදා දිවි පැවැත්ම සම්බන්ධ කර නොගෙන සමාජයේ සෙසු සාමාජිකයන්ට එය ඉගැන්වීමට වෙර දැරීමෙන් උතුම්ම ප්‍රතිඵලයට තමාට ළඟාවිය නොහැකිය. එවැනි පුද්ගලයන් අනුන්ගේ ගවයන් බලාගන්නා ගොපල්ලන් බඳුයැයි ධම්මපදයේ යමක වග්ගයේ දක්වනු ලැබ ඇත්තේ මෙලෙසිනි.

බහුම්පි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති
නරො පමත්තො
ගොපෙ ච ගාවො
ගණයං පරෙසං
නභාගවා සාමඤ්ඤස්ස හොති”

ධර්මය මනාව අධ්‍යයනය කොට, නිසි ලෙස පිළිවෙත් පුරන තැනැත්තාට ධර්මාවබෝධය ලැබිය හැකිය. දැඩි කැපවීමකින් හා දැඩි වෙහෙස මහන්සියකින් ලැබිය හැකි මේ තත්ත්වය ප්‍රතිවේධ යනුවෙන් දැක්වේ. ධර්මයෙන් ලැබිය හැකි ඉහලම ප්‍රතිලාභය මෙය ලෙස බුදුදහම විස්තර කරයි. නිවන අවසන් කොට ඇති ධර්ම නවයක් බුදු දහමේ දැක්වේ. ඒවා සෝවාන් මග හා ඵලය, සකෘදාගාමි මග හා ඵලය අනාගාමී මග හා ඵලය, රහත් මග හා ඵලය නිවන යනුවෙනි. මෙම ධර්ම නවය නවලෝකෝත්තර ධර්මය ලෙස හැඳින්වේ.

ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය සෑම මනුෂ්‍යයකුම සතුව පවතී. අවශ්‍ය වන්නේ වීර්යය වඩ වඩාත් වර්ධනය කර ගැනීමෙන් යුතුව, කැපවී ක්‍රියා කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළේ “සුනාථ, ධාරේථ, චරාථ ධම්මේ” යනුවෙනි. ධර්මය ඇසීම ධර්මය සිත්හි දරා ගැනීම, ධර්මයෙහි හැසිරීම එනම් ධර්මය අවබෝධ කර ගැනීම කළයුතු බවයි. එම අවවාදය අනුව පිළිපදින පුද්ගලයා රාග, ද්වේෂ මෝහ දුරලා සිහිනුවණින් යුතුව මෙලොවත් පරලොවත් ජය ගනී.

බෞද්ධයෝ වන්දනා කරන සෑම අවස්ථාවකම
මෙම ගුණ සිහිකර ධර්ම රත්නය වන්දනා කරති.
ධම්මානුස්සති භාවනාවේ යෙදෙති. විපත් කරදර
දුරු කර ගැනීම උදෙසා ධජග්ග සුත්‍ර දේශනාවේ
උපදෙස් ප්‍රකාර දහම් ගුණ සිහි කරති. දහම් ගුණ

සිහි කිරීම මෙන්ම ධර්මයේ උතුම්බව හා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීමද දහමට අනුව කටයුතු කිරීමද බෞද්ධකමේ ලක්ෂණයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.