Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කපුගොල්ලෑව අඹගස්වැව පුරාණ රජමහා විහාරය


ප්‍රතිසංස්කරණය කර ඇති ඉපැරණි චෛත්‍යය

ජනවහරේ පැවැසෙන්නේ අඹගස්වැව පුරාණ රජමහා විහාරය විහාරමහා දේවිය විසින් කරවන ලද්දක් බවයි. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශයේ මායිමට ආසන්න පිටිසරබද ග්‍රාමයක් වූ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කපුගොල්ලෑව තැපෑල් වසමේ පිහිටා තිබේ. අඹගස්වැව පුරාණ රජමහා විහාරය, අඹගස්වැව, කපුගොල්ලෑව විහාරයේ ලිපිනයයි.


පැරැණි බෝධින් වහන්සේ

හොරොව්පතානේ සිට කි.මී 10 ක් පමණ දුරින් පිහිටා ඇති විහාරස්ථානයට පිවිසිය හැක්කේ හොරොව්පතාන සිට දුටුවැව වෙත ධාවනය වන බසයෙන් පැමිණීමෙනි. හොරොව්පතාන සිට කපුගොල්ලෑව දක්වා ධාවනය වන බසයෙන් පැමිණෙන්නේ නම් අඹගස්වැව හන්දියෙන් බැසිය යුතු වෙයි. එතැන් සිට විහාරස්ථානයට තවත් කි.මී. 4 ක පමණ දුරක් තිබේ.

ඇසිදිසි මානය සීමා කරනා නිල්ලෙන් පිරි කඳු පන්තියත් කඳුපාමුල සිහිල් කරනා ඇස ගැටෙන මානය වසනා දුටවැව නෙල්ලිගම වැව - කුඩාගම වැව - කුඩා අඹගස් වැව ආදී වූ වැව් පන්තීන්ගෙන් සොභාවත් වූ මෙම ප්‍රදේශය එදා රජවරුන් විසින් වැව් බැඳි රාජ්‍යයේම කොටසකි.

විහාරස්ථානයට දායකත්වය සපයන පවුල් 170 ක් පමණ මෙම පිටිසරබද ග්‍රාමයේ දිවි ගෙවන්නේ කටුක වූ අත්දැකීම් සමඟය. සතරදිග් භාගයේ වැව් බොහොමයක් ඇතත් වසරේ වැඩි කාලයක් නියංසායෙන් පීඩා විඳින ගම්වැසියාට අවැසි ජල පහසුකම් සලසීමට මේ විසල් වැව්වලට නොහැකි වී ඇත්තේ අද වනවිට ඒවා බොහොමයක් ගොඩවෙමින් පවතින බැවිනි.
 


පැරැණි උපෝසථාගාරයේ නටබුන්

මේ බිමේ බහුතරයක් ජනතාව ගොවිතැන් බතින් දිවි ගෙවති. අවශ්‍යතාවයට සරිලන සේ යටිතල පහසුකම් රිසි ලෙස සැළසී නොමැති බැවින් ඔවුන් බහුතරයක් දුප්පතුන් ය. එවන් වූ මිනිසුන්ගේ දායකත්වයෙන් විහාරස්ථානය නඩත්තු වෙයි. අනුරාධපුර යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියතත් විහාරස්ථානයේ ඉතිහාස කතාව පැහැදිලි ලෙස ගලා නොඑන්නේ ඉතිහාසයේ සිට ඇති වූ විවිධ මුහුණුවරින් පැමිණි ව්‍යසනයන් විපත් විසින් එහි පරිච්ඡේදයන් මකා ඇති බැවිනි. තැනි බිමෙක පිහිටි මෙම පුද බිම ඉහැත්තෑවේ ඇත්තේ කඳු යායකි. කුඹුරුයාය, වැව් පන්තීන් හේන් මුඩු ඉඩම් මෙන්ම වනයෙන් ද ගම්මානයන්ගෙන් ද පුද බිම මැදි වී තිබේ. මෙහි ඇති පුරාණ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර ඇති බව විහාරාධිපති අඹගස්වැවේ ඉන්ද්‍රජෝති හිමියෝ පවසති. එය සාදා ඇත්තේ සම්පූර්ණයෙන්ම මැටියෙනි. උඩ ස්ථරස කපරාරු කර ඇත. තැන තැන අති පිපිරීම් නසා මැටි තට්ටු මතු වී තිබේ. එසේම වේයන් වැනි කෘමි සතුන්ගෙන් වන හානිය නිසා මෙය විනාශයේ අබිමුවට පැමිණ තිබේ. එසේ ඉතිහාසයේ ප්‍රබල සලකුණක් මියැදීමට ඉඩ හළහොත් එය ඛේදනීය විපතකි. චෛත්‍යය ආසනනයේ දෙපස ලඟ ලඟ සිටුවා ඇති පැරැණි ගල්කණු රාශියක් දැක ගැනීමට ලැබේ. එම ගල් කණු අභිබවමින් වල් වැවී ඇත. මෙම ගල් කණු ඉපැරැණි විහාර මන්දිරයක් හෝ ආවාස ගෘහයක් දරා ගෙන සිටි කල්කණු විය හැක. පාදමේ ඇති ශෛලමය පඩිය සහ කොරවක් ගල් ද දැක ගැනිමට හැක. මේ සමීපයේ වන ශෛලමය හිටි සහ හිඳි පිළිම වහන්සේලා ඉතා පැරැණි ලක්ෂණ පෙන්නුම් කරන අතර ඒවායේ ශිර්ෂ පථ නොමැත. විහාර භූමියේ තවත් පසෙක ඇති වල් බිහි වී ඇති පස්ගොඩැල්ල වටේ ඇති ශෛලමය සීමා කුළුණු සහිත ලක්ෂණයන් මතින් හැඟී යන්නේ දුරාතීතයේ මෙය විහාරස්ථානයේ පොහොය ගෙය විය හැකි බව ය. අප මේ දකින්නේ වසර දෙදහසක් පමණ විය හැකි විහාර සංකීර්ණයක අද වනවිට ශේෂව ඇති මතු පිට ලකුණු පමණක් විය හැක. තවත් ඉතිහාසයේ විශාල සාධකයන් රාශියක් මිහිමඬල පතුලේ ගිලී සැඟැවී පැරැණි බෞද්ධ සංස්කෘතියක හැඩ තලයන් දෘෂ්ඨි පථයෙන් සගවා දමා තිබෙනවා විය හැක. පෞඩ අතීත සම්ප්‍රදාය සංස්කෘතිය, උදාරතර අනාගතයක අඩිතාලම වේ. ලොව හමුවේ මේ උතුම් දහම්දීපයේ අපගේ අනන්‍යතා ලකුණු මෙසේ මිහිදන් වී යාමට ඉඩ සළසමුද?


විහාරාධිපති අඹගස්වැවේ ඉන්ද්‍රජොති හිමි


සිරස්පථය විනාශ වී ගිය පිළිම වහන්සේ සහිත දසුනක්

අද මෙහි ඇති විහාරස්ථානය මෙම වල් බිහිවුණු ඓතිහාසික සාධකයන් මත්තේ එමෙන්ම ඉතා අපහසුතා මධ්‍යයේ තවමත් පණනළ ගැටගසා ගෙන සිටීම අගය කළ යුතු වෙමු.

දුප්පත් ගැමි ජනතාවගේ තවමත් නොසිඳුණු සවිය සහ අපමණ දුක් ගැහැට මැද බොදු ලකුණ සංකේතවත් කරනා සැබෑ බුදු පුතණුවන්ගේ අප්‍රතිහත අධිෂ්ඨාන ශක්තියත් මේ සඳහා පන්නරය ලබාදී ඇතැයි සිතේ. වත්මන් විහාර භූ®මියේ බුදු මැදුරක් නොමැති වීම මහත් අඩුවක් වූ නිසා අද විහාර මන්දිරයක් ගොඩ නංවා තිබේ. ඒ සඳහා දායකත්වය ලබාදී ඇත්තේ මෙහි වෙසෙන දුප්පත් ගැමි දනන්ම ය. සියල්ල කළමණාකරණය කරමින් එයට නායකනත්වය දුන් විහාරාධිපති ඉන්ද්‍රජෝති හිමියෝ මෙහි ඉතිරි වැඩ කොටස අවසන් කර ගැනීමට මහත් වෙහෙසක් දරති. ගොඩනැගිල්ල ඉදිවී ඇතත් ඇතුලත පිළිම සිතුවම් ආදිය තවමත් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වී අඇත්තේ මුදල් අපහසුතා නිසාය.
 


සුවිසල් මැටි පාත්‍රය

ගොවිතැන්බත් කෙරෙන ගොදුරු ගම්හි අස්වැන්න ගෙට ගත් විට අලුත් සහල් මංගල්‍යය නම් සම්ප්‍රදායික විශේෂ උත්සවයක් පැවැත්වෙන්නේ ද ගමේ පන්සල මුල්කර ගනිමිනි. අලුත් සහලින් පිස ගෙන එන කිරිබත් පැස පළමුව බුදුරදුන්ට පුද දී දෙවියන්ට පින් අනුමෝදන් කර ඉතිරිය විහාරයේ ඇති සුවිශාල පාත්‍රයට දමනු ලැබේ. සතර දිගින් ගෙනෙනා කිරිබතින් පිරෙනා මේ මහා පාත්‍රය විහාරස්ථානයේ සුරැකිව තබා තිබේ. මෙහි ඇති එම මැටි පාත්‍රයද කාලය නිර්ණය කිරීමට නොහැකි තරම් පෞරාණික පාත්‍රයක් බව පෙනෙයි.


පෞරාණික නටබුන්

එදා කොටි ත්‍රස්තවාදී භීතියෙන් සසළ වූ අවධානම් ගම්මානයක පිහිටි මෙම විහාරස්ථානය හැර නොගිය භික්ෂූන් වහන්සේ මෙන්ම ගැමි දනන් රට දැයට මහත් අභිමානයකි. එදා ත්‍රස්තවාදීන් සැඟවී සිටි විහාර කන්ද ද ඇත්තේ පන්සල් භූමියට ආසන්නයේ ය. අද එම බිය තුරන් වී නිදහස් වාතාවරණයක් උදාවී තිබීම මහත් සැනසිල්ලකි. නමුත් වෙනත් ආපදාවන් තවමත් සම්පූර්ණයෙන්ම මැකී ගොස් නොමැත. විහාරාධිපතීන් වහන්සේ පවසන්නේ යාන්ඔයෙන් නොනවත්වා වැලි අදින ට්‍රිපර් නිසා මංමාවත් කැඩී බිඳී හෑරී ඇති බවයි. ඒ මාවත්හි වාහනයක් ධාවනය කිරීම මහත් අපහසුවකි.

මෙවන් වටිනා විහාරස්ථාන ගම්බිම් පෝෂණය කරමින් ආරක්ෂා කිරීමට නම් යන එන මංවාවත් හොඳින් නඩත්තු කළ යුතු වෙයි. ගොවිතැන්බත් සරු කර ගැනීමට අවශ්‍ය වැව් අමුණු ප්‍රතිසංස්කරණය කර වාරිමාර්ග නිසි ලෙස සැකැසිය යුතු වෙයි. එවන් අඩුපාඩු සපුරාලීමට වගකිවයුත්තන්ගේ් අවධානය යොමුවිය යුතුය. එසේ වුවහොත් වැවයි දාගැබයි ගමයි පන්සලයි ලෙස අතීතයේ සිට සුරැකුණු අපගේ් උරුමය ඉදිරියටත් පවතිනු ඇත.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.